හිත්තැටියගේ සමන්ත:
Object-Oriented Ontology අදහස් යටතේ සිතා බැලීමක්
” යුක්තිය ” යනු අසාධාරණයකට පත්වූ මනුෂ්‍යයෙකුට යහපත් පරිදි පිළිතුරු දීමක් ලෙස බහුතරයකුගේ අදහසකි. නමුත්, කිසිවෙකු වගකිවයුතු නොවූ, නීතියෙන් හෝ ආගම් වලින් පිළිතුරු ලබා දිය නොහැකි සිදුවීම්වලදී යුක්තිය පිළිබඳ මෙම අදහස පැහැදිලි කිරීම අපහසුය. බොහෝවිට ආගම් පිළිබඳවවූ සිතීම් ආරම්භ වන්නේම දාර්ශනිකව විශ්වීයවූ යුක්තියක් පිළිබඳව අදහස ඉවත ලීමෙනි. අනාගමික සිතීම් වුවද මෙයින් වෙනස් නොවේ. මෙම සටහනේදී, ග්‍රැහැම් හාර්මන් (Graham Harman ) ගේ Object–Oriented Ontology (OOO) සහ ඇඩ්රියානා ඔස්පිනා (Adriana Ospina) ගේ “Art Confusions” සංකල්පයන් යොදාගෙන, යුක්තිය යන්න පිළිබඳව වඩා විවෘත හා ගැඹුරු විග්‍රහයක් ලබාදීමට උත්සාහ කරයි.

Object-Oriented Ontology (OOO) න්‍යායය අනුව, ලෝකය තුළ පවතින වස්තු (Objects) තමන්ගේම අභ්‍යන්තර අවකාශයක් සහිතය. ඒවා අපගේ භාවිතය, සංවේදන, හෝ දැනුම මගින් පූර්ණයෙන්ම අර්ථ දැක්විය නොහැක. අපට පෙනෙන අංගයට වඩා, වස්තුවක් තුළ නොපෙනෙන ගැඹුරු සන්ධිභාවයක් පවතී. මේ අදහස යටතේ, “යුක්තිය” යන්නද ඒවාට සමාන වස්තුවක් ලෙස දැකිය හැක. අපට එය අර්ථ දැක්විය නොහැකි වුවද, එය වස්තුවක් ලෙස පවතින සත්‍යයකි.
විශේෂ සිදුවීමකින් “යුක්තිය” පිළිබඳ සිතිවිල්ලක් ඇතිවීම සලකා බලමු. මෑතකදී සිදුවූ ඉන්දීය ගුවන් යානා අනතුරේ සිදුවීම සලකමු. එහිදී, එංගලන්තයේ නව ජීවිතයක් ආරම්භ කිරීමට ගොස්, කෙටි මොහොතකින් ජීවිතය අහිමිවූ පවුලක කතාව හරහා “යුක්තිය’ පිළිබඳ දැඩි කණගාටුවක් හා කම්පනයක් අප තුළ ඇතිවේ. නමුත් මෙය කිසිවෙකුත් වගකිවයුතු නැති අසාධාරණයකි.මෙහිදී පෙනෙන්නේ, නීතිය හෝ ආගම් මගින් එම පවුලට “යුක්තියක්” ලබා දිය නොහැකි බවය. ඒවා තාවකාලික සෙවීම් පමණක් වන අතර, සත්‍යය වසා ඇති වස්තුවක් ලෙස යුක්තිය දැනෙයි.
ඇඩ්රියානා ඔස්පිනා OOO ඇසුරින් පෙන්වන්නේ, කලාකෘතියක් යනු විවෘත අර්ථයක් සහිත වස්තුවක් බවයි. එය විවිධ පුද්ගලයන්ට විවිධ අර්ථයන් ලැබිය හැකි එකක් වන අතර, කිසිදා සම්පූර්ණයෙන්ම විවෘත නොවන්නේය. මේ අදහස යටතේ “යුක්තිය ” යන්නත් දැකිය හැක. අපගේ කණගාටුව, කෝපය, සහ ආදරය යන මේ දේ “යුක්තිය” යන වස්තුව අවට ඇති හැඳිනීමට උත්සාහ කරන හැඩ රූ පමණි.

ආගමික සහ නිරාගමික විමසුම්වල සීමාව මේ ඇසුරෙන් අපට සාකච්ඡා කල හැක. ආගමික සිතීමකදී, දුක සහ අසාධාරණය පිළිබඳව අවසානයේ සසරෙන් මිදීම, නිවන් සුව, හෝ දෙවියන්ගේ තෘප්තිමත් කිරීමක් ලෙස බලාපොරොත්තුවක් පවතී. නමුත් ඒවා සැබෑ ලෝකයක “යුක්තියක්” ලබාදීමක් නොවේ. නිරාගමික සිතීමකදී, ජීවිතයේ අර්ථ විරහිතභාවය පිළිගෙන නිහතමානීව කණගාටුවීම පමණක් ඉතිරිවේ. මේ දෙආකාරයටම, “යුක්තිය” වෙත ළඟා විය නොහැකි බව ඒ අනුව පෙනේ. මේ අනුව, Object-Oriented Justice යන්න අලුත් අදහසක් ලෙස අපට සිතිය හැක. OOO යටතේ සිතන විට, “යුක්තිය” යන්න තීරණාත්මක වශයෙන් වස්තුවක්වේ. එය නීතියක් නොවේ, එය දෙවියන්ගෙන් ලැබෙන පිළිතුරක් නොවේ, එය අපේ හැඟීම්වලින් සම්පූර්ණයෙන්ම අර්ථ දැක්විය නොහැක. “යුක්තිය” යනු වඩාත්ම ගැඹුරු හා සංකීර්ණ වස්තූවකි. අප ඒ වටා නිරීක්ෂණය කරන්නෙමු, හැඳිනීමට උත්සාහ කරමු, නමුත් පූර්ණයෙන්ම විවෘත කළ නොහැක. මේ මගින් අපට කලහැකි නිගමනය නම්, ඇඩ්රියානා ඔස්පිනාගේ “Art Confusions” සහ ග්‍රැහැම් හාර්මන්ගේ OOO යටතේ, “යුක්තිය” යන්න යම් අර්ථවත් වස්තුවක් ලෙස පැවතේ යන්නයි. එය නොපෙනෙන නමුත් පවතින, නොදන්නා නමුත් හැඟෙන වස්තුවකි. අපට කළ හැක්කේ එය සෙවීම පමණි. විවෘතව හා ගැඹුරින්, “යුක්තිය” යනු අඳුරු වස්තුව වටහා ගැනීමේ උත්සාහයකි. මෙම ගැඹුරු සහ මනුෂ්‍යභාවය අභියෝගයට ලක්කරන ප්‍රශ්නය, නව දාර්ශනික පරිකල්පනාවක් මගින් විවෙචනය කිරීමෙන් අපට නව ආකාරයකට “යුක්තිය” යන සංකල්පය අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබේ. මේ ඉදිරිපත් කළ පසුබිම් කතාව තුළින් යුක්තිය පිළිබඳව අපට පැමිණෙන ප්‍රශ්නය වන්නේ,
” මිනිසාගෙන් ස්වාධීනව, සර්ව භෞතික ලෝකයක පැවතෙන ‘විශ්වීය යුක්තියක්’ කියා දෙයක් හැඳින්විය හැකිද ? ” යන්නයි.
එයින් ඇඟවෙන්නේ “යුක්තිය” මිනිසාගේ සමාජ සන්ධිභාවය පසුකරමින් ඇතිවිය හැකිද යන ගැටලුවයි.
යුක්තියක් නොවූ යුක්තිය !
මේ නව සිතීම, අපගේ සමාජමය සංකල්පයන්ට අදාළ නොවූ, අපගේ විවිධ වගකීම්, නීති, ආගමික විශ්වාස නිසා අතුරුදන්වූ, ඇත්තටම ලෝකයේ ඛේදජනක සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන නව මගක් ලෙස දැක්විය හැක. උදාහරණයක් ලෙස, මෙම පවුලෙහි වියෝගය සඳහා කිසිදු වගකීමක් ලබා නොදිය හැකි වුවත්, ලෝකය තමන්ගේම කාර්යයන් වලින් මිනිස් ජීවිත වලට වගකිව යුතුය යන්නක් මේ ඔස්සේ සිතා බැලිය හැක. (මෙය “Object-Oriented Justice” ලෙස හැඳින්විය හැක. ) මිනිසා පමනක් නොව, අභිජනන පද්ධති, තාක්ෂණික පද්ධති, වාණිජ සන්ධිභාව, නීති පද්ධති වැනි මානව නොවන නියෝජිතායතනයන් (Non-Human Agencies ) යුක්තියට සම්බන්ධයෙහි කොටසක්වේ. එය ලෝකයේ අරුත් විරහිත බවට ප්‍රතිචාරයකි. මෙම සිදුවීමෙන් අපට පෙන්වන්නේ, ලෝකය අරුත් නැති බවෙන් ක්‍රියාත්මක වනවා යන්නයි. අප මේ ඔස්සේ සිතිය යුත්තේ, මේ අරුත් විරහිත ලෝකය භුක්ති විඳිනවා පමණක් නොව, එම අරුත් විරහිත භෞතික ලෝකය තුළ, යම් මිනිස්මය උත්සාහයකින් ” යුක්තියක ” අවකාශයක් මිනිසාගේ අවබෝධය පසුකරමින් සිතීමට හැකිද ? ” යන ප්‍රශ්නය විවෘත කර ගැනීමයි. මෙම පවුලේ සිදුවීම, සරලව අසාධාරණයක් නොව, වස්තු මූලික ලෝකයක මිනිස්මය අරුත් වෑයමකට මුවහත් නොවූ ඛේදජනක අවස්ථාවක් ලෙස දැකිය යුතුය. මෙහිදී “යුක්තියක් පිළිබඳව සිතීම” , විශ්වාසයකට හෝ දඬුවමකට පමණක් යටත් නොව, අභිමත රටාවකට පමණක් නොව, මිනිස් නොවන ආයතනවල සහභාගිත්වයෙන් යුක්ත යම් භෞතික අවබෝධයක් යටතේ යළි සකස් විය යුතු මගකි.
පසු සටහනක් :
මෙය ඩෙඊඩාගේ “justice is always to come” යන්නට ආසන්න නමුත්, OOO යටතේ ඩෙඊඩාගේ භාෂාමය අවශ්‍යතාවය පසුකරමින්, “යුක්තිය” වස්තුවක් ලෙසම නිශ්චිත කළ හැකි සාකච්ඡාවක් ඉදිරිපත් කරයි.

හිත්තැටියගේ සමන්ත – Hiththatiyage Samantha






One thought on “යුක්තිය” පිළිබඳව විවරණයක් (පළමු කොටස)”