ආණ්ඩුව දැනට ඉන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමවක් ඇතුළේ

(කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ
සම්මානිත මහාචාර්ය)

ලංකාවේ සමාජ දේශපාලන න්‍යාය ගැඹුරු කියවීමකට ලක්කළ ශාස්ත්‍රඥයන් අතර ජයදේව උයන්ගොඩ පෙරමුණේ පසුවේ. දේශපාලනය හා දේශපාලන විද්‍යාව පිළිබඳ අඛණ්ඩ හැදෑරීම් හා ශාස්ත්‍රීය රචනා ඔස්සේ ඔහු මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය තර්කණ මෙන් ම තේමාත්මක වශයෙන් වැදගත් ගැටලු අධ්‍යයනය කළේ ය. සිය අදහස් සමාජගත කළේ ය. මෙවර ඉරිදා ලංකාදීප පුවත්පත සඳහා විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කාලීන දේශපාලන මාතෘකා රාශියක් සම්බන්ධයෙන් ඔහු සිය නිරීක්ෂණ ඉදිරිපත් කළේ ය. මේ එම සාකච්ඡාවේ සටහන යි.

නිදහසින් පසු දේශපාලන බලය ප්‍රභූ පන්තියෙන් නිර්ප්‍රභූ සමාජ පන්ති නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයකට මාරුවීම හැඳින්වීමට තමයි මම ඒ සංකල්පය ඉදිරිපත් කළේ. ඒක හුදෙක් මීට පෙර සිදු වුණු ආකාරයේ මැතිවරණයකින් පසු ආණ්ඩුවක් මාරුවීමක් පමණක් නෙවෙයි. දේශපාලන බලය දරන්නේ කවර සමාජ පන්තියද කියන කාරණය ප්‍රභූ පන්තියේ සිට නිර්ප්‍රභූ පන්තියකට දේශපාලන බලය හුවමාරු වීමෙන් මෙවර ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඒක ලංකාවෙ ඉතිහාසයේ පළමුවරට සිදුවී තිබෙන්නේ නිදහසින් පසුව. ඒ අර්ථයෙන් තමයි මම කිව්වෙ ඒක හුදු ආණ්ඩු මාරුවකින් එහාට ගිය පරිවර්තනය වීමක් කියලා. දෙවැනි කාරණය තමයි ලංකාවේ දේශපාලනයේ විශාල පරිවර්තන කිරීම සඳහා දැන් අවකාශයක් තියෙනවා. ඒ අවකාශය මොන විදියට පාවිච්චි කරනවද කියලා තවම කියන්න අමාරුයි.

ජාතික ජන බලවේගය තමයි ඒ කර්තෘකයා විදියට මතු වුණේ. ඒ මතු වීමට ක්ෂණික හේතුව වුණේ 2022 දී ඇති වුණු අරගලය. ඒ අරගලයෙන් ලංකාවේ සාම්ප්‍රදායික පාලක පන්තිය දේශපාලන පක්ෂ සහ නායකත්වය පරාජයට පත් වුණා. ඔවුන්ට මහජන සහයෝගය පමණක් නොව මහජන සුජාතභාවයත් අහිමි වුණා. සමාජය නව නායකත්වයක් සොයමින් හිටියා.

ලංකාවේ දේශපාලනය අලුත් කළ යුතුයි කියන සටන් පාඨය අරගලය ඇතුළෙ තිබුණා. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ නායකත්වයෙ ඒ සඳහා සූදානමක් තිබුණෙ නෑ. ඔවුන්ට ඒ බව වැටහුණෙත් නෑ. ලංකාවේ සාම්ප්‍රදායික බල ව්‍යුහය අති තීරණාත්මක අර්බුදයකට ගිහින් තියෙනවා. ඒ අර්බුදය විසඳන්න තියෙන එකම මාර්ගය පැරණි දේශපාලන නායකත්වය වෙනුවට අලුත් දේශපාලන නායකත්වයකට දේශපාලන බලය මාරුවීම. කාටවත් ඒක වැටහී ඇති බවක් පේන්න නෑ. නමුත් ජාතික ජන බලවේගයට ඒක වැටහුණා. ඒ පක්ෂය මුලදි අරගලයට එතරම් සහයෝගයක් දැක්වුවෙ නෑ. නමුත් අගරලය වර්ධනය වෙද්දි ඒ අයට වැටහුණා ඒක ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක මොහොතක් කියලා.

එහෙම දකින්න පුළුවන්. ක්‍රම වෙනසක් කියන එකේ අර්ථ ගණනාවක් තියෙනවා. සිස්ටම් චෙන්ජ් කියන වචනය ගෝඨාභය රාජපක්ෂ පාවිච්චි කළේ පටු අර්ථයෙන්. නමුත් අරගලයෙදි ඒක ඊට වඩා පුළුල් අර්ථයෙන් පාවිච්චි වුණා. දේශපාලන බලය හිමි සමාජ පන්තිය වෙනස් විය යුතුයි සහ ඔවුන් පවත්වා ගෙන ගිය දේශපාලන ක්‍රමයෙ ව්‍යුහය වෙනස්විය යුතුයි කියන අවධාරණ ඒ ප්‍රකාශයෙ තිබුණා. ජාතික ජන බලවේගයට තිබුණු වාසිය තමයි ඒ සටන් පාඨය දක්ෂ සහ විචක්ෂණ ලෙස ඉදිරියට ගෙන යෑමට තිබුණු හැකියාව.

ක්‍රම වෙනසකට කැමති නැති ආණ්ඩුවේ විවේචකයො තවම මතු කරන කාරණයක් තමයි කෝ වෙනස කියලා. හුඟක් අය ක්‍රමවෙනස කියන එක අඩුවෙන් තක්සේරු කරනවා. ඒක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 2024 ලංකාවෙ වුණේ විප්ලවයක් නෙවෙයි. එතන වුණේ ඡන්දයක් මගින් පාර්ලිමේන්තුවෙ බලය මාරු වුණු එක. කෙටි කාලයකදි වෙනසක් ඇති කරන්න නම් විප්ලවයක් අවශ්‍ය වෙනවා. ආණ්ඩුව බලයට පත් වුණේ විප්ලවයකින් නෙවෙයි. දෙවැනි එක මේ ආණ්ඩුව මාක්ස්වාදී විප්ලවවාදී ආණ්ඩුවක් නෙවෙයි. මේ යථාර්ථය තේරුම් නොගත් ආණ්ඩුවේ විවේචකයො කියන්නෙ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඒකාධිපති වෙන්න කියලා. ඔවුන් කියන දේවල්වල තියෙන බරපතළ දේශපාලන ඇඟවුම ගැන ඒ විවේචකයන්ට තේරෙන්නෙ නෑ. මේ විවේචනය කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරනවා. පළමු කණ්ඩායම තමයි ජාතික ජන බලවේගයට සහාය දුන් සහ නොදුන් වාමාංශික කණ්ඩායම්. ඒ අය බලාපොරොත්තු වුණා ජාතික ජන බලවේගය බලයට පත්වෙලා හදන්නෙ පරණ ජවිපෙ ආණ්ඩුවක් කියලා. නමුත් ඒ අය තේරුම් නොගත් දෙයක් තමයි එන්පීපී කියන්නෙ රැඩිකල් විප්ලවවාදී දේශපාලන බලවේගයක් නොවෙයි කියන එක. ඔවුන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක්.

ඒගොල්ලන්ගෙ විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස කොතරම් විශාලද කියනවා නම් ජවිපෙ විවේචකයන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා මේ වෙනස යථාර්ථයක් කියලා. මේ ආණ්ඩුව බලයට පත් වූ පසු මා සමග සම්මුඛ සාකච්ඡා පවත්වන්න පැමිණි බෙහෝ විදේශ මාධ්‍යවේදීන් මාගෙන් ඇසූ ප්‍රශ්නයක් නම් දැන් බලයට පත්වී සිටින්නේ මාක්ස්වාදී පක්ෂයක් නේද කියලා. මම ඒ අයගෙන් විහිළුවට ඇහුවෙ ඔබලා ජාතික ජන බලවේගයේ ඉතිහාසය ඉගෙන ගෙන තියෙනවාද කියලා. කොළඹ සිටින ඇතැම් පුවත්පත් කලාවේදීනුත් හිතුවෙ ලංකාවේ මාක්ස්වාදී පක්ෂයක් බලයට පත්වෙලා තියෙන්නෙ කියලා. ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් හැටියට හිටියා. නමුත් ඒක පසුව වෙනස් වුණා.

පැරණි විදියෙ වමේ දේශපාලනය දැන් කරන්න බෑ. කුඩා කණ්ඩායම් හැටියට තියෙනවා. නමුත් වම කියන්නෙ කුමක් ද කියන එකත් දැන් ලෝක මට්ටමින් වෙනස් වෙමින් තියෙනවා.

ලංකාවේ විරුද්ධ පක්ෂ සහ සිවිල් කණ්ඩායම් හිතන දෙයක් තමයි මේ ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග ආරම්භ කරපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම ඉදිරියට ගෙන යා යුතුයි කියලා. ඒක වැරදියි. ජාතික ජන බලවේගයට අවශ්‍ය වුණා හැම දේකදිම නව ආරම්භයක් ගන්න. ඒක කරන්න අමාරු වෙයි. නමුත් මගේ තේරුම් ගැනීමේ හැටියට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන කතිකාවෙදි පරණ ව්‍යවස්ථා සංශෝධන කතිකාවම ඉදිරියට ගෙනියයි කියලා මම හිතන්නෙ නෑ. ඒක බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. ජාතික ජන බලවේගය කියන්නෙ අලුත් දේශපාලන සත්වයෙක්. මේතාක් ගෙනාපු ව්‍යවස්ථා සංශෝධන බලයේ සිටි පුද්ගලයෙක් වටා තමයි පෙළ ගැහුණෙ. ඒ අනුව යමින් අනුරත් කළ යුත්තෙ චන්ද්‍රිකා රනිල් කරපු දේමයි කියලා ඒ අය හිතනවා. ඒක යථාර්ථවාදී නොවන අපේක්ෂාවක්. මට පෙනෙන හැටියට ජනාධිපතිවරයාට අවශ්‍ය නෑ ඒක තමන්ගෙ ව්‍යවස්ථාව කියලා කියවා ගන්න.

දේශපාලන නිරීක්ෂකයෙක් හැටියට මට පෙනෙන දේ තමයි ආණ්ඩුවට අවශ්‍ය කරලා තියෙනවා ලංකාවේ ආණ්ඩුක්‍රම කතිකාව අලුත් කරන්න. පැරණි දේශපාලන භාෂාවම ඉදිරියට ගෙන යන්න නෙවෙයි ආණ්ඩුවට අවශ්‍ය. සිස්ටම් චේන්ජ් කියන එකේ ඔය අර්ථයත් තියෙනවා. ඒක අපි තේරුම් ගත යුතුයි.

මගේ පෞද්ගලික මතය තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන එක. නමුත් නැවතත් පාර්ලිමේන්තු ක්‍රමයක් ගේන එකත් පිළියමක් නෙවෙයි. දෙවැනි එක තමයි ලංකාව බලය විමධ්‍යගත කිරීම ශක්තිමත් කළ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කතා කරන ඕනෑම ආණ්ඩුවකට අභියෝගයක් තියෙනවා. ආණ්ඩුව ක්‍රම වෙනසෙ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න ගියොත් සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයයි ආණ්ඩුවයි අතර තියෙන ප්‍රතිවිරෝධතා උත්සන්න වෙනවා. ඒක වළක්වන්න බෑ. සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයට එරෙහිව ආණ්ඩුව රාජ්‍ය බලය සහ නීතියේ ක්‍රියාවලිය පාවිච්චි කළොත් ඒ අය නිකන් ඉන්නෙ නෑ. ඒක යථාර්ථයක්. පසුගිය කාලයේ දී සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර ඇතුළු විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවට කළ චෝදනාවක් තමයි දූෂිතයන්ට දඬුවම් දුන්නද කියලා. නමුත් ආණ්ඩුව දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරද්දි මේ දෙපාර්ශ්වය අතර තියෙන සතුරු ප්‍රතිවිරෝධතාව උත්සන්න වෙනවා. ඒ උත්සන්නවීමේ සලකුණක් තමයි පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ වුණු සමහර සිදුවීම්. ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි අතර තියෙන බල සම්බන්ධතාව සාම්ප්‍රදායිකව ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි අතර තිබුණු බල සම්බන්ධතාවෙන් වෙනස් වෙමින් යනවා. ඒක බොහෝ අය තේරුම් නොගෙන තමයි ක්‍රම වෙනස කෝ යනුවෙන් ප්‍රශ්න කරන්නෙ.
ඕනෑම ආණ්ඩුවක් ක්‍රම වෙනසකට යනවා නම් දැනට බලයේ සිටින ව්‍යුහයන් නැති කරන්න සිදු වෙනවා. නැතිනම් ඒවා දුර්වල කළ යුතුයි. ඒක කළොත් සමාජයේ විශාල ගැටුමක් ඇති වෙනවා. ක්‍රම වෙනස කෝ යනුවෙන් ප්‍රශ්න කරන අය සමාජයේ තිබෙන සමාජ දේශපාලන ගැටුම ඉතාමත් තීක්ෂණ වීමේ අවධියකට යා යුතුයි කියන එක තමයි කියන්නෙ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙ බොහෝ පිරිස් ඉල්ලා සිටින ක්‍රම වෙනසක් ඇති කළ හැකි ද කියන එක ප්‍රශ්නාර්ථයක්. ඕකට ආණ්ඩුවට සහ විරුද්ධ පක්ෂයට පිළිතුරක් තියෙනවාද කියලා මම දන්නෙ නෑ. ක්‍රම වෙනසක් පිළිබඳ න්‍යායපත්‍රය ගැඹුරට ක්‍රියාත්මක කරන්න ගියොත් ලංකාවේ සමාජයේ දේශපාලන ප්‍රතිවිරෝධතා අලුත් අවධියකට යනවා. ලංකාවේ දේශපාලනය දැනටමත් ද්‍රැවීකරණයකට ලක්වෙලා තියෙනවා. ඒ කියන්නෙ ප්‍රභූ සහ නිර්ප්‍රභූ බලයේ සිටි සහ දැන් ඉන්න අය අතර ගැටුම අනිවාර්යයෙන් ම උත්සන්න වෙනවා.

ඔව්. නමුත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළෙ ඒක කිරීම පහසු නෑ. අපි ඒක තේරුම් ගත යුතුයි. ලංකාවේ දේශපාලන සාකච්ඡාවට මැදිහත් වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා මේ දේශපාලන මොහොතේ තියෙන සංකීර්ණතා පිළිබඳව ගැඹුරු විග්‍රහයක් කරන්නෙ නෑ. පත්තර කතුවැකි සමාජ මාධ්‍ය මේ හැම තැනකම මේක මතුපිටින් කතා කරන්නෙ. ආණ්ඩුව දැනට ඉන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළෙ. ජනාධිපතිවරයා පසුගිය දිනෙක පැහැදිලිව කිව්වෙ තමන් වැඩ කරන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සිමා ඇතුළෙ කියලා. නමුත් ක්‍රම වෙනසක් අවශ්‍යයි කියලා ඉල්ලන අය නොකියා ඉල්ලන්නෙ නීතියෙ සීමා නොතකා කටයුතු කරන්න කියලා. ලංකාවෙ සමාජයට දේශපාලන විචාරකයන්ට ඔය දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා. පළමු වැනි එක තමයි ක්‍රම වෙනසක් ඇති කළ හැකි ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් ඇතුළෙ කියන එක. දෙක ක්‍රම වෙනසක් සඳහා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා යෑම සුදුසුද කියන එක. ලංකාවේ දේශපාලන සාකච්ඡාවේ මේ දේවල් ගැනයි කතා කළ යුත්තෙ.

විවේචනය වෙනවා. විපක්ෂය දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කරනවා. ලංකාවේ සජීවි විපක්ෂයක් ඉන්නවා. ආණ්ඩුවේ කටයුතු විපක්ෂය, සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ප්‍රශ්න කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඒක ඉතා හොඳ තත්ත්වයක්. ආණ්ඩුව ඒකට බාධා කරන්න යන්නෙත් නෑ. නමුත් ඒ විවේචනය මතුපිට එකක්. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු ආර්ථිකය ගැන කරන විවේචන අහන කොට හිනා යනවා. මීට වඩා ගැඹුරට කියන්න දේවල් තියෙනවා. ඇයි කියන්නෙ නැත්තෙ? ඒකෙන් පේනවා සාම්ප්‍රදායික පක්ෂවල තියෙන දේශපාලන දරිද්‍රතාව. විපක්ෂයට තවම බැරි වෙලා තියෙවා ගුණාත්මක වශයෙන් වෙනස් වෙන්න. 2024 මැතිවරණවලදි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ජනතාව ඡන්දය නොදුන්නෙ ඇයිද කියන එක තේරුම් ගන්න මේ පක්ෂවලට බැරි වෙලා තියෙනවා. ඔය ප්‍රශ්නයට බොහෝ අය දෙන උත්තරේ තමයි ජාතික ජන බලවේගයේ බොරුවලට මිනිස්සු රැවටුණා කියන එක. ඒක අසත්‍යයක්. රටේ ඡන්දදායකයො දේශපාලනික වශයෙන් පරිණත වෙලා තියෙනවා. ඡන්දදායකයන් ලබපු පරිණතාභවය ලබා ගන්න දේශපාලන පක්ෂවලට බැරි වෙලා තියෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලංකාව හඳුන්වන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස. නමුත් කවුරුවත් ජනරජය කියන්නෙ මොකක්ද කියලා ප්‍රශ්න කරන්නෙ නෑ. ජනරජය කුමක්ද යන්නට දේශපාලන න්‍යායෙ අදහස් දෙකක් තියෙනවා. එකක් තමයි පුරවැසියන්ගේ රාජ්‍යයක් යන අදහස. පුරවැසියන් කියන්නෙ දේශපාලන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වෙන අයට. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙ පුරවැසි දේශපාලන සහභාගීත්වය අවම මට්ටමක තියෙන්නෙ. 2022 අරගලයෙදි මේ දුර්වලකම පුරවැසියන් ඡන්දදායකයන් දැක්කා. ඡන්දය දුන්නට පසු දේශපාලන නිද්‍රාශීලීත්වයට පත් වෙන පුරවැසියන් වෙනුවට අවදියෙන් ඉන්න දේශපාලන ක්‍රියාකාරීත්වයට සක්‍රීයව මැදිහත් වෙන පුරවැසි සමාජයක් ලංකාවේ බිහිවෙලා තියෙනවා. ඒක බංග්ලාදේශයෙත් වුණා. මම කියන්නෙ ලංකාවේ පුරවැසියො ජීවගුණයෙන් සමූහාණ්ඩුවාදී පුරවැසියො කියලා. නමුත් දේශපාලනඥයො මේක දන්නෙ නෑ. ලංකාවේ දැන් ඉන්නෙ සක්‍රීය දේශපාලන පුරවැසියො බව ආණ්ඩුවත් පිළිගත යුතුයි. දැන් ලංකාවේ ඡන්දදායකයො පුරවැසියො වෙලා තියෙනවා.

ඉන්දියාව සමග වන සම්බන්ධතා ගැන කතා කිරීමේදී තේරුම් ගත යුතුයි ඉස්සරට වඩා දැන් වෙනස් වෙන ලෝකයක් තියෙන්නෙ කියලා. ලංකාවේ ඕනෑම ආණ්ඩුවකට තෝරා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ තමයි ඉන්දියාව තරහ කරගෙන ඉන්න පුළුවන් ද කියන එක. මතවාදීමය වශයෙන් මග පෙන්වනු ලබන විදේශ ප්‍රතිපත්තියක් අපට අනුගමනය කරන්න බෑ. විදේශ ප්‍රතිපත්තියේ දී ලංකාව අනුගමනය කළ යුත්තෙ ප්‍රයෝජ්‍යතාවාදී විදේශ ප්‍රතිපත්තියක්. ඒක ක්‍රියාත්මක කිරීමේදී දෘෂ්ටිවාදයක් අවශ්‍ය නම් ඒ සඳහා ගැළපෙන්නෙ යාවත්කාලීන කරන ලද නොබැඳි ප්‍රතිපත්තිය. ඒ කියන්නෙ වෙනස් වෙන ලෝකයට අදාළ ලෙස සකස් කළ නොබැඳි ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ඒ පැත්තට ගමන් කරන එකක් බව මට පෙනෙනවා. ප්‍රයෝජ්‍යතාවාදී විදේශ ප්‍රතිපත්තිය කියන යෙදුම වෙනුවට ජනාධිපතිවරයා අවස්ථා කීපයකදි ව්‍යවහාරික බුද්ධිය යන යෙදුම පාවිච්චි කළා. මම දකින හැටියට ඒක ඉතාම වැදගත් ප්‍රකාශයක්. ඒ කියන්නෙ ප්‍රයෝජ්‍යතාවාදී ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියන එක. බොහෝ අයට ඒක තේරුම් ගන්න බැරි බවක් තමයි පෙනෙන්නෙ. ඒ වගේම ජවිපෙත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඇති බවක් පෙනෙනවා. ඒ කියන්නෙ පෙර වගේ අතිධාවනකාරී විදියට වැඩ නොකළ යුතුයි කියන පාඩම ඉගෙන ගෙන තියෙනවා.

මම හිතන්නෙ ඒක අවසන්. රාජපක්ෂවාදයේ මූලධර්ම කීපයක් තිබුණා. සිංහල බෞද්ධ ජාතිකවාදය එකක්. දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය. තව එකක් තමයි දේශපාලන අධිකාරවාදය. දූෂණය කියන්නෙ රාජපක්ෂවාදයේ තිබුණු තවත් එක මූලධර්මයක්. දූෂණය දේශපාලන අවියක් විදියට පාවිච්චි කිරීමක් සිදු වුණා. මහින්ද රාජපක්ෂ 2005 දී බලයට පත් වූ පසු තමන්ගේ බලය පවත්වා ගෙන යෑම සඳහා දේශපාලන බලය සහ දූෂණය පාවිච්චි කළා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩු ක්‍රමයක් ඇතුළෙ දූෂණය සම්බන්ධයෙන් යම් ලැජ්ජාවක් තියෙනවානෙ. නමුත් රාජපක්ෂවාදය ඇතුළෙ ඒ ලැජ්ජාව තිබුණෙ නෑ. මේ සියලු මූලිකාංගවල මිශ්‍රණයක් තමයි රාජපක්ෂවාදය කියන්නෙ. ඒක දැන් අවසානයකට ඇවිත් තියෙනවා. නාමල් රාජපක්ෂ දේශපාලනයෙ ඉඳියි. නමුත් දේශපාලන බලය ලබා ගැනීමට ශක්තිමත් මතවාදයක් විදියට රාජපක්ෂවාදය ඉදිරියට පැමිණීමට දැනට රටේ ඉඩක් නෑ.

ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඉදිරියේ දී තනි පක්ෂ ක්‍රමයක් සහිත දේශපාලනයකට රට යන්න ඉඩ තියෙනවා. ඒකෙ වැරැද්ද ජාතික ජන බලවේගය නිසා නෙවෙයි. ඒකෙ වැරැද්ද විරුද්ධ පක්ෂ නිසා. විරුද්ධ පක්ෂ මහජනතාව ඉදිරියට ඇවිත් මැතිවරණයක් දිනන්න නම් ඔවුන් අලුත් විය යුතුයි. ජනතාවට හිතවත් දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට කැපවෙන නව පන්නයේ දේශපාලන මතවාදයක් ඔවුන් ගොඩනැංවිය යුතුයි. ඒ මතවාදය ආණ්ඩුවේ මතවාදයම විය යුතු නැහැ. නමුත් විපක්ෂ කණ්ඩායම්වලට ඒ වෙනසට අවැසි බුද්ධිමය දේශපාලන ශක්තිය ඇති බවක් මට පේන්නෙ නෑ. ජාතික ජන බලවේගයට තරගකාරී ලෙස ඉදිරියට එන්න පුළුවන් විපක්ෂ බලවේගයක් ළඟදි මතුවෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා එන්පීපීයෙ තනි පක්ෂ ඒකාධිකාරයක් එන්න ඉඩ තියෙනවා. ඡන්දයෙන් දිනන තනි පක්ෂ ඒකාධිපතිවාදයක් ගොඩනැගීම රාජපක්ෂවාදයේ එක් මූලධර්මයක්. ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය වුණා ඒක ඇති කරන්න. නමුත් මේ රටේ පුරවැසියන් ඒක නැවැත්තුවා. විරුද්ධ පක්ෂය මේ යථාර්ථයවත් තේරුම් අරගෙන ඇති බවක් පේන්නෙ නෑ.

1980 ගණන්වලින් පස්සෙ ලංකාවේ ජාතිය ගොඩනැගීම හා රාජ්‍ය ගොඩනැගීම පිළිබඳව අලුත්ම කතිකාවක් ඇති වුණා. ලංකාවෙ වාර්ගික බහුත්වවාදය පිළිගත යුතුය එය ආණ්ඩුක්‍රම ව්‍යුහයන්ගෙන් ප්‍රකාශයට පත් කළ යුතුය බලය විමධ්‍යගත කළ යුතුය යනාදී ප්‍රකාශයන් ඒ කතිකාව ඇතුළෙ තිබුණා. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු බවත් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට අමතරව ආර්ථික ප්‍රජාතානත්‍රවාදයත් තිබිය යුතුය යනාදී අවධාරණ ද එහි තියෙනවා. ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයෙහි ඔය අදහස් සියල්ලම තියෙනවා. 1980 ගණන්වලින් පස්සෙ ලංකාවෙ රාජ්‍ය යළි නිර්මාණය කිරීම සඳහා ඇති වුණු ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී යැයි කිව හැකි කතිකාව එයාලගෙ මැතිවරණ ප්‍රකාශනයෙහි තියෙනවා. කනගාටුවට කරුණ තමයි බොහෝ දෙනා ඒ මැතිවරණ ප්‍රකාශනය කියවලා නෑ.
ජාතික ජන බලවේගය පාවිච්චි කරන දේශපාලන භාෂාව 1990 ගණන්වල පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පාවිච්චි කරපු භාෂාවෙන් වෙනස්. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන භාෂාවත් නෙවෙයි. ජවිපෙ මේ අදහස් තමන්ගේම දේශපාලන ශබ්දකෝෂයකින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක ඕනෑම දේශපාලන පක්ෂයක් කරන දෙයක්. ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නම් ඉන්දු ලංකා-ගිවිසුම ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවට දෙමළ දේශපාලන පක්ෂ අතර මතයක් තියෙනවා. ඉන්දියාවේ මැදිහත්වීම අනිවාර්යයි කියලා ඔවුන් හිතනවා. ඒක ටිකක් යල්පැන ගිය අදහසක්. ඔය මතය සමගි ජන බලවේගයත් දරනවා. ඒ නිසා ඒ දේශපාලන කතිකාවත් අලුත් කළ යුතුයි. ඒක කිරීමේ ආරම්භයක් ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයෙ තියෙනවා. රාජ්‍ය ගොඩනැගීම හා ජාතික ප්‍රශ්නයට අදාළව දේශපාලන කතිකාව අලුත් කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා. ජාතික සමගිය හා ප්‍රතිසංධානය ඇති කිරීමට ජනාධිපතිවරයා පාවිච්චි කරන වචනය හඳුන්වන්න පාවිච්චි කළ හැකි යෙදුමක් තමයි පුරවැසි ජාතිකවාදී විකල්පය (ජසඩසජ බ්එසදබ්කසිප ්කඑැරබ්එසඩැ). ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස හඳුන්වන ඇඟවුම ඒකෙ තියෙනවා. පුරවැසියන් හැටියට හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා. වෙන් වෙන් ජාතිකවාද තිබුණත් ජනාධිපතිතුමා අවධාරණය කරන්නෙ ඒ සියලු ඒවා එකතු කරන්න පුළුවන් ජාතිකවාදයක් ගැන. සිංහල දෙමළ මුස්ලිම් ජාතිකවාදවලට සම්මුඛ වෙන්න පුළුවන් තැනක් ගැන ඒ කතාවෙ තියෙනවා. ඒ තැන තමයි ප්‍රජාතන්ත්‍රවාදය හා පුරවැසිභාවය. මම හිතන්නෙ මේ පණිවුඩය දේශපාලනික වශයෙන් නිර්මාණාත්මක පණිවුඩයක්. අවාසනාවකට දෙමළ දේශපාලන පක්ෂත් මේ පණිවුඩයට අකැමැති වුණා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදීත් දෙමළ දේශපාලන පක්ෂ ඔවුන්ගෙ ඡන්දදායකයන්ට කිව්වෙ දකුණින් එන සිංහල දේශපාලන පක්ෂවලට ඡන්දෙ දෙන්න එපා කියලා. මම කියන්නෙ පුරවැසි ජාතිකවාදී දෘෂ්ටිකෝණයකින් බලනවා නම් විතරයි ලංකාව සමූහාණ්ඩුවක් වශයෙන් නැතිනම් ජනරජයක් වශයෙන් ගොඩනැගිය හැක්කෙ.
ලංකාවට අවශ්‍ය වෙලා තියෙන්නෙ පැරණි ජනරජ ව්‍යවස්ථාවට පැලැස්තර විසඳුමක් වෙනුවට තුන්වැනි ජනරජයක් සඳහා අරගල කිරීම. ඒ තුන්වැනි ජනරජයෙන් ජනරජවාදී මූලධර්ම ශක්තිමත් කරන්න ඕනැ. ඒ වගේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කරන්න ඕනැ. අපි ආණ්ඩුවට බල කරන්න ඕනැ ඒවා කරන්න කියලා. ඔය විදියට හිතන්න විරුද්ධ පක්ෂ තවම සූදානම් නෑ. ඒකට කොළඹ සිවිල් සමාජයත් ලෑස්ති නෑ.

සාකච්ඡා කළේ උපුල් වික්‍රමසිංහ

උපුටා ගැනීම:ඉරිදා ලංකාදීප

More From Author

“යුක්තිය” පිළිබඳව විවරණයක් (2 කොටස)

හඬ නළු රඟ මඬලේ චේ ගුවෙරාගේ සමු ගැනීම

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348