හඬ නළු රඟ මඬලේ චේ ගුවෙරාගේ සමු ගැනීම

දැන් ඉතිං අහන්න වෙන්නේ අපේ සහ අපිට කලින් පරම්මරාවල මිනනිසදුන්ගේ සමුගැන්මයි

වජිර, වජිර ඉන්දික කරුණාසේන සමුගෙන ගොස් ඇති බව දැන ගන්නට ලැබුණේ මුහුණු පොතෙනි. ඒත් සමඟ වජිර හා සම්බන්ධ මතක ආවර්ජනයන් සහිත අතීත රූපාවලීන් ඒ මොහොතේ දිග හැරුණේ වසර දහයක පමණ කාලයක් ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍යය පිටපත් සිය ගණනකට වඩා රචනය කර වජිරගේ නිෂ්පානයන් වීමෙන් අප අතර පැවැති සම්බන්ධයත්, ඉන් පරිබාහිරවත් පැවැති සිද්ධීන් හේතුකොට ගෙන ය.
වජිර දැන් ඔබ මිය ගොස් ය. මා ගුවන් විදුලියේ පිටපත් රචකයෙකු බවට පත්වන්නේ ද ඔබ නිසා ය. එය මට අනුව ලොකු අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීමට වගේම, එකල මා දැරූ සමාජ දේශපාලන සංස්කෘතික ආස්ථානයන්ගේ අදහස් නිර්මාණ ලෙස ගුවන් විදුලි හඬ මාර්ගයෙන් එලියට දැමීමට හැකි වූයේ ද ඔබ නිසා ය. ඒ අනුව වජිර සහ ගුවන් විදුලි මාධ්‍යය, විශේෂයෙන් නාට්‍යය හා සම්බන්ධ ඉතිහාසයේ දී, එක් කාල පරිච්ඡේදයක දී සුවිශේෂී අවකාශයක් ඇතිකර ගත් බව කිව යුතු ය. වජිරට නිතරම අලුත් යමක් කිරීමේ ඇති උවමනාව නිසා අප වැනි අයටත් එම අවස්ථාව ලැබුණේ, දෙවියන්ගේ අඩවිය සේ පැවැති ගුවන් විදුලි ආධිපත්‍යය තුළ දී ය. මා විසින් රචනා කරන ලද යම් යම් නාට්‍ය විකාශය කිරීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල දී ප්‍රශ්න පවා ඇති වූ බව මතක් කරනු ලබන්නේ එවැනි ගැටලුවල දී, ඔහු එය අභියෝගයක් ලෙස බාර ගැනීම නිසා ය.

ඒ අතරට චේ ගුවෙරාගේ චරිතය සහ කියුබානු විප්ලවය පිළිබඳ මා විසින් ලියනු ලැබූ මාලා හඬ නළුව වජිරගේ ගුවන් විදුලි නාට්‍යය ජීවිතයට නව පනක් එකතු කරන්න හේතු වූවා යැයි කීම අසාධරණ නොවේ යැයි කල්පනා කරමි. අප ගුවන් විදුලියේ ඇසුරු කළ කාලය තුළ දී, වජිර තුළ නිෂ්පාදකවරයෙක්, නිර්මාණකරුවෙකු සහ සංගීතවේදියෙකු ලෙස ප්‍රකට කළ ගුණාංගයන් පිළිබඳ සඳහන් කළ යුතු වන්නේ, ඔහුට කරන ගෞරවයක් ලෙස ය. තම වෘත්තියට නිසි සාධාරණයක් කළ සේවකයෙකු ලෙස කැපවීමෙන් සහ උනන්දුවෙන් වැඩ කිරීම ඔහුට තිබුණු අඟේ මාරුවක් වැනි ය.

චේ ගුවෙරා-Che Guevara


ගුවන් විදුලි පුස්තකාලයෙන් තොරා ගත් තැටි ගොන්නක් අතැතිව කොරිඩෝව දිගේ ඇවිද එන කෙසඟ කඩිසර, මහ හඬින් හිනාවෙන, බොකුටු කොණ්ඩ ඉලන්දාරියා
වජිර නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙස පටිගත කරන ස්ටුඩියෝව සිය රඟමඩල බවට පත් කරගෙන එහි අඥ්ඥාදායකයා බවට පත් වන්නේ අවේශගත වූ යක් ඇදුරෙකු පරිදි ය. ඔහු නිර්මාණය තුළ මනසින් සහ කයෙන් ජීවත් විය. බොහෝ අවස්ථාවල ගෙදරින් ගෙන එන දවල් කෑම එක කන්නේ හවස හතරට පමණ ය. එය කන්නේ ද තනිවම නොවේ. ගෙන එන්නෙත් පොඩි පහේ බත් එකක් නොවේ.

වජිර ඉන්දික

කැන්ටිමේ තරුණ කොල්ලෝ කෙල්ලෝ වටකරගෙන, ඔවුන්ට තමන්ගේ අතින් සල්ලි දී, කන්න අරගෙන, වැඩ අරින වෙලාවෙත් වැඩේ ඉන්න. අත්සන් කරලා එනකං ඉන්න කියලා සංස්ථෘවෙන් එලියට යන කාලය.
හඬ නළුව ඔහුගේ මාධ්‍යය වුව ද, ඒ ඔස්සේ ඔහු වේදිකා නාට්‍යයත්, සිනමාවත්, සංගීතයක් උපද්දවන්නට වෙහෙසී ය. ඒ වෙනුවෙන්, හඬ කවන ශිල්පීන් හෙම්බත් කරවන්නට විය. ආධුනිකයකු නම්, එතැන හමුදා පුහුණුවක් වැනි ය. ඔහු දරදඬු අධිපතියෙක් ලෙස ඒ මොහොත තුළ හැසිරෙන්නේ ය. නමුත් වැඩ සටහන අවසන් වූ පසු ඔහු තුළ ඒ කිසිවක් නැත.
එයින් බැට කෑව බොහෝ දෙනා බොහෝ තැන්වල.
ලංකාව තුළ ඇති ගුවන් විදුලි සහ රූපවාහිනී ආයතනවල නිවේදකයන් බවට පත්ව ඇති ප්‍රකට පුද්ගලයන්ගේ මුල් පාසැලේ දුයිෂෙන් වජිර ය.
අවසන් වරට මා සමග කතා කරනු ලැබුවේ බොහෝ කලක නිහැඬියාවකින් පසු ය. ඒ වන විට ඔහු විශ්‍රාම ගොස් ය.

ගුවන් විදුලියෙන් ගිය දාට වජිර පිස්සු හැදෙනවා බොහෝ අය කියන්නට ඇත.
ඔහුට තිබුණු ඇම්ම ගුවන් විදුලියට නැත. කාලයත් සමාජයත් තාක්ෂණයක් වෙනස් විය. පිස්සු හැදෙන්න තරමට ගුවන් විදුලියකුත් ඉතිරි වූයේ නැත.
විශ්‍රාමයෙන් පසුව, ඔහුගේ ගුරුවරයෙකු වූ කේමදාස මාස්ටර්ගේ පදනමට සම්බන්ධය මාස්ටර්ගේ දියණිය සමග යම් වැඩක් කිරීමට සූදානම් වූ අවස්ථාවක සිටි බව දැන ගන්නට ලැබිණි.

පශ්චාත් සමයේ දී, ඔහුගේ හඬ තුළ, කනගාටුවක් සටහන් වී තිබිණි. අපි බොහෝ දේවල් ගැන කතා කරමින් සිටියේ අතීතයේ ශතවර්ෂයක මඟහැරී ගිය දෙයක් මෙනි.
ඒ කතාව තුළ මෙතැනට අදාල කරුණක් පමණක් කීමට අවශ්‍යය වන්නේ ය.
2007 වර්ෂයේ දී, මා අත්අඩංගුවට පත්වීමෙන් පසු, එලියේ සිදු වූ දෑ එදා දැන ගන්නට නො ලැබුණත්, ඔහුව සොයා සීඅයිඩී මහත්වරු පැමිණි බව එදා මා දැන ගන්නට විය. ඒ මා ගුවන් විදුලියේ කළ අනෙක් නාට්‍යය නිසා නොව “චේ ගුවෙරා නාට්‍යය” නිසා ය. පොලීසියට අවශ්‍ය වූ විමර්ශනයන් සඳහා වජිර ද මූලාශ්‍රයක් වූයේ ඉහත චේ වීම වන්නට ඇත.
බොහෝ දේවල් සිදු වී ඇත. එදා ඔබ මට ඔක්කොම නො කියන්නටත් ඇත. නමුත් ඔබත් නොදත් දෙයක් ඇත.
මේ කාලයේ දී මා රඳාවා සිටියේ නව මැගසින් බන්ධනාගාරයේ පී වාට්ටුවේ ය. ඒ සිටින කාලයේ එක්තාරා දිනක උදෑසන හිරගෙදර කොරිඩෝවේ තබා ඇති රූපවාහියේ ජාතික රූපවාහියේ වැඩ සටහනක දී වජිර ඉන්දික සහ චේ ගුවෙරාට හඬ කැවූ සුදර්ශන පෙනී සිටිනු දකින්නට ලැබිණි.

අම්මට සිරි මේ මොකක් ද. චැනල් එක මාරු කරන්න නොදී ඒ කාලය ඉල්ලා ගත්තා අනිත් හිරකාරයින්ගෙන්. උන් දන්නෑ. උන්ට වැඩකතු නෑ.
මම එම වැඩ සටහන උවමනාවෙන් බලා සිටියෙමි. එය චේ ගුවෙරා පිළිබඳව ය. නිෂ්පාදකයාත්, නළුවාත් එතැන ඇත. රචකයා සිර ගෙදර ය.
මා මුළු වැඩ සටහන පුරා බලා සිටියේ නිවේදකයා හෝ නිෂ්පාදකයා හෝ නළුවා හෝ මේ නාට්‍යයේ රචකයා ගැන සඳහන් කරන වෙලාවක් එනු ඇත කියා ය. වැඩ සටහන නිමා විය. රචකයෙකු පිළිබඳ සළකුණක් නො මැතිතිව වැඩ සටහන නිමා විය.
මිනිහෙකුට ආත්ම අනුකම්පාවක් එන අවස්ථාවක් ඇත්නම්, ඒ මොහොත මට උදා විය.
එහෙම වෙන්න පුළුවන්. කවුරුවත් වැරදි නෑ. නමුත් එදා මට ඒ හැඟීම ආවේ නෑ. මම හිරගෙදරට සාමන්‍ය වෙලා නිසා.
වෙන විදියකට මා තුළම සාධාරණීයකරණය කර ගැනීමට එදා උත්සාහ ගන්න ඇති. එදා පැවැති තත්ත්වය අනුව ඔවුන්ට එසේ කිරීමට නො හැකි වූ හේතුව හිතා ගත හැකි වූයේ වජිර අවසන් වරට මා සමඟ කාතා කිරීමෙනි. ඒ එම වැඩ සටහන ගැන නොවේ. එම වැඩ සටහන ආරක්ෂාවට ආරක්ෂාවක් පතාගෙන කළ වැඩ සටහනක් වන්නට ඇත.
එවැනි දේවල් එදාත් අදත් එහෙම ය.
සිංහල කොටියෙකුගේ රචනා ගුවන් විදුලියේ නො පැවතිය යුතු ය. ඒ අනුව චේ ගුවෙරාගේ හඬ පට පවා නිරුපද්‍රතව ඇති දැනි නො දනමි.
නමුත් කට කතාවල සත්‍යයක් නැතිවාම නොවේ යන්න සිතිය යුතු වේ
වජිරට මා නිසා කරදර විඳින්නට, බියට පත් වීමට සිදු වන්නට වූ කාලයක් තිබුණේ නම් එයට සොරි කිව යුතු ය. නමුත් එසේ කිව යුතු නැත. මොකද වජිර ගුවන් විදුලියේ විප්ලවයක් කළ නිසාවෙනි. විප්ලවයක්, ක්‍රමයට එරෙහි ආඛ්‍යානයක් රහස් පරීක්ෂක මාදිලියෙන් කරපු නිසා නෙවෙයි. ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසය තුළ වජිර ඔබේ සේවය විප්ලවීය නිසා ය.
එහෙම නැතුව ඒ කාලය. මහ ලොකු දෙයක් නෙවෙයි. ඕක ඇහුවේ කීයෙන් කී දෙනෙක් ද කියලා කී දෙනෙක් කියයි ද. වමේ කටිටිය. අද බලයේ ඉන්න කට්ටිය එදා මගෙත් එක්ක කිව්වේ, “ අපි හිතුවේ කොමිනිස්ට් පක්ෂේ කවුරු හරි කරන දෙයක් කියලලු. සන්ධාන අණ්ඩුවක්නේ තිබුණේ.
ඒත් අතීතයේ කොටසක්. ශුද්‍ර වංශයක කොටසක්.

ඉතින් හිතවතාණෙනි, ඔබට ඉක්මනින්ම යන්න වීම ගැන හේතුව නො දනිමි. ඔබ බුලත්වික් සිගරට් එකක්, රහමෙර පානයක්වත් නො කළ තැනැත්තෙකි. අපට බොන්නට අරන් දී මේසේ ලඟ ඉඳගෙන හිනා වෙවී හටිය මිනිහට මොකද මේ වුණේ කියන හේතුව මට සිතට ආවේ, මිනිස් ජීවිතයේ ස්වභාවය නොදැන ඉන්න නිසාම නොවේ. නමුත් වජිරට ගුවන් විදුලිය තුළ කරන්නට නොහැකි වූ සිහින තිබුණි. ඒ සඳහා තවමත් වජිර තරණ යැයි සිතූ නිසාය. ඒත් අපට යා යුතුව ඇත. වජිර, ඒ නිසා පටන් ගත් තැනින්ම අවසන් කරන්නම්.

දැන් ඉතිං අහන්න වෙන්නේ අපේ සහ අපිට කලින් පරම්මරාවල මිනිසුන්ගේ සමුගැන්මයි”

ඉතින් මිත්‍රයා ඔබට සුභගමන්!!

අලුයම රාත්‍රී 02. 45
සූරිච්හි දී ය.

18.08.2025

More From Author

ආණ්ඩුව දැනට ඉන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමවක් ඇතුළේ

බේබී නෝනා ඒ අපේ ආච්චි අම්මා

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348