රුවිනි මේනකා:
වචනයක් කීවම
කවියක් මතක් කරන
කතාවක් ඇහුවම
බයිලා ගායනය
“මම්මා නෝ ……පප්පා නෝ…..
ආප්ප කන්න තුට්ටු නෝ..
දෙයියෝ දුන්නු සල්ලි කෝ….
ආලේ බැන්ද නෝනා නෝ…”
වොලී බැස්ටීයන්ට නෑකම් කීව
මල් මල් දිග ගවුම් ඇන්ද
රොස්මිඩ් ප්ලෙස් මං ඉපදුණ
කියමින් උජාරුවට
එංගලන්තේ බැරීස්ටස්
එග්සෑම් පාස් කෙරුව
අපේ ආච්චි අම්මා
ගෙරි මස් කන කාපිරින්ට
උදේ හවස දෙස් තියාන
රැජිණගේ සුදු මහත්වරුනට
ගෞරවයෙන් ආවඩාන
මහත්තයා චාල්ස් හින්දම
ඩයනා නමින් ඈ ඇමතුව
හිතවතුන් අතර හිටියා
කැමිලා පාකර් වරිග කතක්
ඩයනගේ තරහ ඇවිස්සුව

අමනාප වී චාල්ස් සමඟ
චුට්ටක් හිත රිදුනු කලට
ලොකු ආයුධ නැත හටනට
හැට්ට කට්ට තිබුණා රෙඩිපිට
ගවුමේ කොනක හැම තිස්සෙම
ගමනට බිමනට සුබ වැඩකට
උළුවස්ස පහුවෙනකොට
චික් චික් හඬ ඇහුන කලට
අඩියක් ආපස්සට තියන පුරුද්ද
හූනූ සාස්තරයට නෙව බය
ආච්චි මතකෙට එන දුකම මිසක
පරසතු මදාරා මල් ගොඩක් මැද
මී පැණී බඳුන් පුරවාගෙන
රත්මල් වෙනිවැල් බේසමක
ඇල්මැරුණු උණු වතුර වක්කරාන
බලාන ඉන්වද ආච්චි අම්මා

කොන්ඩය රිදී පාට වුණු දවසක
හෝ යම් දිනයක ඊටත් පෙර
මමත් එනව ආච්චි ඉන්න දිහාව
පරසතු මදාරා මල් වුවත්
පුසුඹ නැතිවේය මට
ආච්චි අම්මගෙ මල් මල්
චීත්ත ගවුමෙහි රැඳි
තෙල් බෙහෙත් ගුණ සුවඳ තරමට
රුවිනි මේනකා-Ruwani Menaka





