මාක්ස්වාදයේ හා ස්ත්‍රීවාදයේ මානව කේන්ද්‍රීය සීමාවන් පිළිබඳව කෙටි සාකච්ඡාවක් (2 කොටස)

මේක කලින් ලිපියට කරන Cover Version එකක්. මේක තරමක් නුහුරු දෙයක් වගේ පෙනුනට, සරල ප්‍රායෝගික උදාහරණ කිහිපයකුත් අරගෙන කලින් තරමක් න්‍යාත්මක පැත්තට බර කරල ලියපු සටහන වෙනත් විදියකට නැවත ලිවීමක්.

මාක්ස්වාදී හා ස්ත්‍රීවාදී විමුක්ති ව්‍යාපෘතියන්ගේ සන්දර්භය තුළ මා ඉදිරිපත් කරන මූලික ප්‍රශ්නය වන්නේ, “මානව කේන්ද්‍රීයත්වයේ” සීමාවන් හා “ද්‍රව්‍යමය යථාර්ථයේ ස්වාධීනත්වය” යන ද්විත්වයයි .

මාක්ස්වාදය ධනවාදී සමාජ-ආර්ථික ව්‍යුහයන්ගේ මානව අන්තර්ක්‍රියා (වැඩ සබඳතා, පංති ගැටුම් වැනිදෑ ) මතද, ස්ත්‍රීවාදය පීතෘමූලික ව්‍යුහයන්ගේ ලිංගික අසමානතා මතද අවධානය යොමු කරයි. කෙසේ වෙතත්, මෙම විශ්ලේෂණයන් මිනිසා සහ සමාජය අතර සම්බන්ධතාවලට සීමාවන අතර, සියලු පීඩනයන් මිනිසුන් විසින් සාදන ලද ව්‍යුහයන්ගේ ප්‍රතිඵල ලෙස පමණක් විග්‍රහ කිරීම කරයි. අනෙක, මානව නොවන වස්තූන් (ස්වාභාවික සම්පත්, සතුන්, යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණය වැනිදෑ), “නිෂ්පාදන සාධක” හෝ “පීඩනයේ මාධ්‍ය” ලෙස පමණක් සලකා ඒවායේ ස්වාධීන ද්‍රව්‍යමය කාරකත්වය නොසලකා හැරීමද සිදු කරයි.

මෙහිදී මා නව භෞතිකවාදී සහ පශ්චාත්-මානවවාදී දාර්ශනික අදහස්වලට යොමු වෙයි. මෙම චින්තන රාමු අනුව, ඉතා සංක්ෂිප්තව සටහන් කලහොත්,
වස්තූන් (objects) මානවයන් විසින් අර්ථ දෙන ලද සංකල්ප නොව, ස්වාධීන ගතිකතා සහිත යථාර්ථයන් ලෙස පවතී යැයි සැලකේ. පරිසර පද්ධති, දේශගුණික විපර්යාස, සතුන්ගේ හැසිරීම් වැනි ද්‍රව්‍යමය තත්වයන් මානව ක්‍රියාකාරීත්වයට ප්‍රතිචාර දක්වයි. උදාහරණයක් ලෙස, පාරිසරික විනාශයක් මිනිසුන් විසින් ඇතිකරන සමාජ අස්ථාවරත්වයක් නිසා ඇති විය හැක. මානව නොවන වස්තූන්ගේ ප්‍රතිරෝධය (resistance) යනු නිර්මාණශීලී විනාශයකි. උදාහරණයක් ලෙස ප්ලාස්ටික් විනාශ කිරීම මානව සෞඛ්‍යයට තර්ජනයක්වේ.

මෙයින් අදහස් කරන්නේ පීඩනයේ ව්‍යුහයන් (ධනවාදය, පීතෘමූලිකත්වය) මිනිසුන් අතර පමණක් නොව, මිනිස් නොවන වස්තූන් සමඟ ඇති සම්බන්ධතාවලටද ව්‍යාප්ත වන බවයි.

මේ තර්කය අනුව, ස්ත්‍රීවාදී හා මාක්ස්වාදී විමුක්තිය යනු සමස්ත ද්‍රව්‍යමය යථාර්ථයේ පරිවර්තනයක් ලෙස නව අර්ථයක් ලබා දිය යුතුය. මෙයට අවශ්‍ය වන්නේ පීඩනයේ ව්‍යුහයන් යනු මිනිස් සමාජය තුළ පමණක් නොව, මිනිසා-පරිසරය-තාක්ෂණය අතර ඇති සම්බන්ධතාවල ගතිකතා ලෙස සැලකීමයි.

මෙහිදී ප්‍රතිරෝධයන්ගේ බහුකේන්ද්‍රීය ආකෘති, එනම් කම්කරුවන්ගේ විප්ලවීය ක්‍රියාකාරිත්වයන් හා ස්ත්‍රීන්ගේ අරගලයන් සමග පරිසරයේ ප්‍රතිචාර (උදා: දේශගුණික විප්ලව) හා සතුන්ගේ අයිතීන් එක්සත් කිරීම වැනිදෑ සලකා බැලිය යුතුය. අනෙක් අතට, ප්‍රතිසංස්කරණවාදී කෘෂිකර්මයක් පිළිබඳවවූ ව්‍යාපාරයක් පිළිබඳව සංවාදයක් මේ තුලට ගෙන ඒම, වස්තූන්ගේ ස්වාධීන පැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඒවායේ යථාර්ථයන් සමඟ සහයෝගීතාවයක් ගොඩනැගීමේ උදාහරණයක් ලෙස පෙන්වාදිය හැක.

ස්ත්‍රීවාදය සහ මාක්ස්වාදය අතර විරුද්ධත්වයක් නොව, “අතික්‍රමණයක්” මේ නිසා යෝජනා කල හැක. මෙම දර්ශන දෙකෙහි සාම්ප්‍රදායික “විරුද්ධත්වය” යනු මානව කේන්ද්‍රීය ආකල්පවල අඩුපාඩුවකි. එම නිසා ඒවායේ සම්භාව්‍ය අර්ථකථනයන් පහත පරිදි පුළුල් කළ හැකිය.

මාක්ස්වාදය + පරිසර විද්‍යාව ධනවාදයේ සූරාකෑම් යනු ශ්‍රම අසාධාරණය පමණක් නොව, ස්වාභාවික සම්පත්වල විදේශීකරණයද (ecological imperialism) වේ.

ස්ත්‍රීවාදය + පශ්චාත්-මානවවාදය පීතෘමූලිකත්වය යනු කාන්තාවන්ට පමණක් නොව, ස්ත්‍රී-සතුන් (female animals), එනම් පරිසරයේ “මාතෘකාරක” සංකල්ප යටත් කිරීමද අයත්වේ.

මෙවැනි සංශ්ලේෂණයක් “සමස්ථානික විමුක්තියක්” (Holistic Liberation)ලෙස හැඳින්විය හැකිය. එනම්, සියලුම සූරාකෑම් (පංතිගත, ලිංගික, පාරිසරික) එකම ද්‍රව්‍යමය යථාර්ථයේ අන්තර්ක්‍රියා ලෙස දැකීමයි.

සාරාංශ ගතකලහොත්, මෙම තර්කයේ ඉදිරිපත් කරන කාරනය නම්, විමුක්තිය යනු මිනිසුන්ගේ සම්බන්ධතා පමණක් නොව, ද්‍රව්‍යමය ලෝකය සමඟ ඇති සම්බන්ධතාවල නව ගතිකතා ගොඩනැගීමේ යන්නයි. මෙය අනුව “සමාජ පරිවර්තනයක්” යනු ආර්ථික හෝ ලිංගික පද්ධති පමණක් නොව, මිනිසා සහ මානව නොවන වස්තූන් අතර සාධාරණත්වයේ නිර්මාණයක්දවේ. මෙහි තේරුම නම්, ප්‍රතිරෝධයන්ගේ නව ආකාරයන් (සතුන්ගේ අයිතීන්, යන්ත්‍රවල නිදහස් කේත, පරිසර නීති) විමුක්ති ව්‍යාපෘතියට අනුකලනය කළ යුතුය යන්නයි.

මෙම දර්ශනය, මාක්ස්වාදය සහ ස්ත්‍රීවාදය අතර “විරුද්ධත්වය” ඉක්මවා, ද්‍රව්‍යමය ලෝකයේ ගැඹුරු සම්බන්ධතාවලට අවධානය යොමු කරයි. එය මානව විෂයයේ පමනක් නොව, “ලෝකයේ සමස්ථ ජීවන ගතිකතාවල” විමුක්තිය අරමුණු කරයි.

පෙර කොටස:

More From Author

කියෝෂි කුරොසාවාගේ ක්ලවුඩ් : “අයුතු ලාභ ලැබීම සහ පළිගැනීම අතිච්ඡාදනය වී විස්තාරණය වේ…”

“චෙම්මිනි” කෘතිය එළිදැක්වීම අගොස්තු 14..

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348