ලාංකීය ජන රාජ්‍යය සඳහා පාර නූතන ඥාණවේදය
හැඳින්වීම

විසි එක් වැනි සියවසේ පළමු කාර්තුව පසුකරමින් ලෝකය ගමන් කරමින් සිටී. එය ගමන් කරන්නේ ඉදිරියට ද පිටුපසට ද යන්න තීරණය වන්නේ ගමන් කිරීමේ දිශාව තුළ අප සිට ගන්නා කෝණය අනුව ය. ලෝකය ගෝලාකාර වන්නාක් මෙන්ම චලනය ද භ්‍රමණය ද වෘතාකාර බැවින් මිනිසා ගමන් කරමින් සිටින්නේ චක්‍රයක ය. මෙම චක්‍රයෙන් පිට පැන වෙනත් පිටත ලෝකයන් සොයා ගමන් කරනුයේ ද විශ්වයට අයත් සක්වල තුළ වූ චක්‍රාකාර චලනයක ය.
ලෝකය පිළිබඳව හා විශ්වය පිළිබඳ මේ පොදු ධර්මතාවයට පිටු පාමින් ගමන් කිරීමට ඇති වෙනත් මාර්ගයක් මිනිසාට ඇතැයි කියා සිතිය නො හැකි ය. මේ නිසා අපට විසි එක් වැනි සියවස යනු කුමක්ද යන්න තේරුම් ගැනීමත්, ඒ අනුව මිනිසා යන්නත්, ලෝකය යන්නත්, ලෝකය සහ මිනිසාට අනුව ලංකාව යන්නත් තේරුම් ගත් යුත්තේ ප්‍රධාන පරමාර්තයන් කිහිපයක් මත පිහිටාය.
විශ්වීය පරමාර්ථ
1. මිනිස් අර්ථය යනු කුමක් ද සහ එය කුමක් පිණිස ද යන්න
2. මිනිසාගේ ලෝකය ද නැතිනම් ලෝකය තුළ මිනිසා ද යන්න
3. ප්‍රගතිය සහ පැවැත්ම
4. මිනිසාට උවමනා කරන තිරසාරත්වය කුමක්ද යන්න
ලාංකීය පරමාර්ථ
1. ලාංකීය මිනිසාගේ අනන්‍යතාව
2. ජාතිය ගොඩ නැංවීම
3. ලෝකය තුල ලංකාව සහ ලංකාව තුල ලෝකය
සාරය පිණිස දැක්ම
මෙම දාර්ශනික දැක්ම ඔස්සේ ලෝකය තුළ අන්තර්ගත ලංකාව සහ එහි පිටත වෙසෙන ජනයා පිළිබඳ තිරසාර සාරයක් හිමි සමාජයක් සහිත රටක් අපට අවශ්‍ය වන්නේ ද යන ප්‍රශ්නයට කිසිවකු “එපා” යන පිළිතුරු නො දෙනු ඇත. ඔව් කියා කියන්නේ නම්, එය කෙසේ විය යුතු ද, එය කෙසේ කළ යුතු ද යන පැනයන් දෙකක් අපට ලබා දී ඇත. කාල නිර්ණයක් අවැසි නම් කවදා ද යන්නත් එකතු කර ගත හැකි වනු ඇත.
මෙම ප්‍රශ්න ඉතිහාසය පුරා වාර විභාග ප්‍රශ්න පත්‍රයක් ලෙස පරම්පරා ගණනකට පිළිතුරු දීමට සිදු විය. එයට අප ඉතිහාසය යැයි කියමු. ඒ සියල්ල යටගියාව නිසා ය. ආසන්තම ඉතිහාසය ලෙස යටත් විජිත කාලයත්, ඉන් අනතුරුව පශ්චාත් යටත් විජිත ඉතිහාසයත් යන මේ කාලයන් කිසියම් ආකෘතියක් තුළට බහා ලමින් ඉහත ප්‍රශ්න දෙකට පිළිතුරු සෙවීමට ගත් උත්සාහයන්, ක්‍රමවේදයන්, මෙවළම්, කැපකිරීම් සහ ඇපවීම් සියල්ලේ අඩු වැඩි දේවල් සමග වන චලනය අද අප අත් දකිමින් සිටී.

ලංකාව ගොඩ ගැනීමටත්, ගොඩ නැගීමටත් ගන්නා සකල ව්‍යායාමයන් භ්‍රමනයේ දිශාවන් පෙන්නුම් කරනු ලබයි. එහෙත් හැකියාව නො හැකියාව, උචිත අනුචිත, ගැලපීම නො ගැලපීම යන බොහෝ ද්වීඝඨන, බහු ඝඨන ප්‍රතිවිරෝධයන් තුළින් ප්‍රශ්න කරන මූලික ප්‍රශ්න දෙක වන්නේ “මිනිසා” යන ජීවියාගේ පැවැත්ම කෙසේ විය යුතු ද යන්න දෙයාකරය යි. පුද්ගල බද්ධව කෙසේ විය යුතු ද හා සමාජ බද්ධව කෙසේ විය යුතු ද යනුවෙනි. එනම් ආධ්‍යාත්මිකවත්, භෞතිකවත් කෙසේ විය යුතු ද යනුවෙනි. තවත් විදිහකට ආත්ම මූලික සහ විෂය මූලිකව කෙසේ පැවැතිය යුතු ද යන ලෝක දැක්ම තුල ය. මේ පැනය ලංකවට පමණක් නොව මුළු මහත් ලෝකයටම පොදු කාරණයක් වී ඇත.
එසේ කෙරෙන ප්‍රශ්න කිරීම විසින් පොදුවේ මතුව එන්නේ “ප්‍රගතිය” යනු කුමක්ද කියා ය. මානවයා මෙතෙක් පැමිණ ඇති දුර මානවයා විසින්ම අර්ථකතනය කරගනිමින් ප්‍රගතිය පිළිබඳ විවිධ තක්සේරු තුල බහාලා ඇත. මේ බහාලුම් තුල ඇති තක්සේරු කිරීම්වලින් මිනිසාට සෑහීමකට පත් විය හැකි ප්‍රගතියක් පවතී ද යන කාරණය, ප්‍රගතිය යන්න මනින මිණුම් දඬු විසින්ම ප්‍රශ්න කිරීම හමුවේ විද්‍යාව දර්ශනය, දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය යනා දී සංකල්ප එලියට පැමිණ ඇත. මේ නිසා මිනිසාගේ ප්‍රගතිය ගැන නව සැකැස්මක් සකසා ගැනීමට මානව පැවැත්ම පිළිබඳ ගැටලුව විසින්ම පැන නගින බොහෝ දේවල් ප්‍රගතිය පිළිබඳව ඇති බහාලුම් විසින් පෙන්නුම් කරමින් ඇත.
සංවර්ධනය යනු
සංවර්ධනය යන ඊනියා යෙදුම තුළ දෙවන ලෝක යුද්ධයෙන් පසුව කරන ලද වර්ගීකරණයට හසු වූ යටත් විජිතයන්ට හසු වූ රාජ්‍යයන් දියුණු සහ නො දියුණු බෙදීම තුළට කොටු කිරීමෙන් ලංකාව ද “සංවර්ධනය වෙමින් පවතින” යන බෙදීම තුල සූත්‍රගත කරමින් තවමත් එම රාමුව තුළ කොටු වී ඇත්තේ බටහිර දෘෂ්ටිකෝණයට අනුවය. එම නිර්ණායකයන්ට අනුව ලාංකේය රාජ්‍යය සිය ආණ්ඩුකරණයන් යොදාගෙන ගෙන ගිය පාලන ප්‍රතිපත්තිවලට අනුව එකී වර්ගීකරණයෙන් මිදීමට නො හැකි විය. බටහිර මොඩලයන්ගේ ඇති හැකියාව හා නො හැකියාව කෙසේ වුව ද, දියුණු යැයි සැලකිය හැකි මාර්ගයකට පිවිසීමට දේශීය පාලකයන්ට නො හැකි විය. එහෙත් තවමත් නො ගැලවිය හැකි ලෙස හසු වී ඇති උගුලක හිර වී සිටින රාජ්‍යයට මිදීමට නො හැකි ණය බර සහ ලෝක බලවතුන්ගේ ග්‍රහණයන් විසින් මෙම උගුලේ තව තවත් හිරකරමින් සිටින්නේ පශ්චාත් යටත් විජිත රාජ්‍යය, පශ්චාත් යටත් නව විජිතයක් ලෙස ය. පශ්චාත් යටත් විජිත න්‍යායයන් ලෙස ජාතිය ගොඩ නැංවීම හා සිය අනන්‍යතාව තහවුරු කර ගැනීමට සිය වසකට ආසන්න කාලයේ දී නො හැකි වීම මගින් නව යටත් විජිතවාදයන්ට ගොදුරු වී ආර්ථික ගැටලු පදනම් සාධක බවට පත්ව පවතී.
පාර යටත් විජිත සිර ගෙය
අධිරාජ්‍යවාදය, යටත් විජිතවාදය, ධනවාදය යන ලෝක බල ග්‍රහණයට නතු වී එහිම වූ නව ස්වරූප කරා ගමන් කරමින් ඇත්තේ ගැටලුවේ ආකෘතිය පමණක් වෙනස් කරමිනි. ධනවාදය, නව ධනවාදයක් ලෙස තාක්ෂණික ධනවාදය ලෙසත්, යටත් විජිතවාදය නව යටත් විජිතවාදයක් ලෙසත්, අධිරාජ්‍යවාදය නව අධිරාජ්‍යවාදයක් බවට විපරිවර්තනය වී පවතින්නේ පශ්චාත් යටත් විජිත නම් වන ආකෘතිය තුළ ය. මෙම ආකෘතිය තව දුරටත් යෝග්‍ය නො වන අතර අන්තර්ගත න්‍යායන් ද යල් පැන යමින් ඇත්තේ නූතනවාදය යනු කුමක්ද, පශ්චාත් නූතනවාදය යනු කුමක්ද යන්න ද ගැටලු බවට පත්රමිනි. මෙම සියලු වාදයට තිඹිරි ගෙය වූ බටහිරටද නැවත හැරීමට මගක් නැති නමුත් නව මගක් වෙත යොමු වීමට බලකකරනු ලබන්නේ ලෝකය එක් පසෙකින් අනතුරකට ගොදුරු කරමින් බලය ධනය හා තරඟය තුල මිනිසා නන්නත්තාර වී ඇති සියවසක දෙවන කාර්තුවට ඇතුළු වීමෙන් ය. කලින් ලෝකය බෙදා වර්ගීකරණය කරන ලද මේ ලෝකයම දැන් ගෝලිය උතුර ලෙසත්, ගෝලීය දකුණ ලෙසත් බෙදාගෙන පරණ වයින් අලුත් බෝතලයකට දමා රස බැලීමෙනි.

ඉදිරි දශකය තුළදී ලෝක බලය බටහිරින් පෙරදිගට මාරු වෙමින් මහා ප්‍රාකාරයෙන් වට කරන ලද චීනය වෙතට විතැන් වීම ගැන පුරෝකතනය කරන ආර්ථික දත්ත සත්‍යයක් වීමේ හැකියාවක් පැවැතිය ද, එම බලය ලෝකයේ යහපැවැත්මට කොතරම් සුවදායකදැයි සිතිය නො හැකි තරමට චීන ආර්ථික මාදිලිය විසින් මිනිසාගේ සහ ලෝකයේ තිරසාරත්ව සාරය උල්ලංඝණය කරනු ලබන්නේ මිනිසා සහ සොභාදහම නොසලකා හැරීමෙනි.
ශිෂ්ටාචාරය කෲරත්වයට
චීන ඉතිහාසයට, සංස්කෘතියට හා දර්ශනයට නෑකම් කියන්නා වූ විශ්වීය පවැත්මක් පෙන්නවන්වු ශ්‍රෙෂ්ඨ දාර්ශනික මූලයන් ඇති තාවෝවාදය, (Taoism)කොන්ෆියුසියක්වාදය (confucianism) මෙන්ම බුදු දහම ද (Buddhism) විශ්වය ශිෂ්ටාචාරයක් කිරීමට දැක්මක් ලබා දී ඇතත් චීනය ගමන් කරමින් සිටිනුයේ ධනවාදයේ කෲරත්වය වෙතය. එය කෲර වන්නේ ධනවාදය තුළ පවා ඇති ප්‍රගතිශීලී ධනේශ්වර සංස්කෘතියක ඇති අගයන් හා ධර්මතා පිළිබඳ නො තැකීමෙනි. ආර්ථික බලය බටහිරින් පෙරදිගට ගෙවැදීමට බ්‍රික්ස් (BRICS) වැනි සංවිධාන ගොඩ නැගී පවතින බලයට රතු එලි නිකුත් කරනු ලැබුවත් අලුතින් ගොඩ නගන්නට කැස කවන බලය, බලයේ කාලපය වෙනස් වීමක් මිස බලයේ ගුණාත්මක වෙනසකට වන විපරිවර්තනයක් දැයි විශ්වාස කිරීමට නො හැකි තරමට ඔවුන් ගේ භාවිතාවන් විසින් දිනෙන් දින තහවුර කරනු ලබන්නේ පශ්චාත් කෲරත්වයක් ය.
මිනිසාටත් සොභාදහමටත් ඇති එකම ක්‍රමයක් ලෙස ලෝකයට පෙන්වා දුන් සමාජවාදී හා කොමියනිස්වාදයන් උරුමකර ගත් චීනය වෙනස් කළ ගමන් මාර්ගයේ සිදු වූ විපරිවර්තනය සේම මහා සෝවියට් දේශය සතු සමාජවාදය බිඳවැටී ගොඩනගා ඇති රුසියවට ද යා යුතු ගමන වී ඇත්තේ එක්සත් ජනපද දෘෂ්ටිවාදයට එරෙහි තරඟකාරිත්වයක් මිසක නව මාර්ගයකට බල කරන ලෝකයක් වෙත නොවන බව තහවුරු කරනු ලැබුවේ ද සමාජවාදී භාවිතාවෙමිනි. මේ නිසා මුලු මහත් ලෝකයටම විශ්වයට අනුව ඊට නිසි රිසි රිද්මයක් සොයා ගත යුතුව ඇත. එහෙත් මිනිසාට මිනිසා ගොඩනගාගත් දේ අතහැර ආපසු පල්ලම් බැසීමට නො හැකි වුවත්, මිනිසා සතු නූතනත්ව සකලත්වය දෙස සාලක්‍ය දෘෂ්ටියක් හෙලීමට බල කරමින් සිටී.එය ස්වකීය පැවැත්ම පමණක් නොව මානව පැවත්ම පිළිබඳ සංඥා කරන සොබාදහමේ සංඥාවන් විසිනි.
ලංකාවට දර්ශනයක්
මෙවන් පසුබිමකට මාර්ගය සලකා ඇති ලෝක යථාර්ථයක් තුල ලංකාවේ ජනයාට රටක් රාජ්‍යයක් ලෙස ස්වකීය අනන්‍යතාව හිමිකර ගැනීමට නො හැකි විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදුව ඇත. පශ්චාත් යටත් විජිත ඉතිහාසය එක් සුවිශේෂී කඩ ඉමකට ගෙනැවිත් ලංකාවට සිතන්නට අවස්ථාව ලබා දී ඇත. මෙතෙක් පැවැති දේශපාලන ආකෘතිය පොළවේ ගසා කුඩු පට්ටම් කර දැමා ඇත. ආකෘතිය කැඩී වැටුණ ද අන්තර්ගතයට යලි ආකෘතියක් සකස් කරනවා ද නැතිනම් ඇතුළත ද වෙනස් කරමින් ඊට ආවේනික ආකෘතියක් ගොඩ නගනවා ද යන මහා නැණවත් මොහොත ලබා දී ඇත. එහෙත් නතරවීමට අවස්ථාවක් නැත. භ්‍රමණයත් පරිභ්‍රමණයක් නො නැවතී සිදු වන්නේය. ඒ් තුළම මැටි වළඳක් නිර්මාණය කරන්නාක් මෙන් නව නිර්මාණයකට මුලු මහත් ලංකාව විපරිවර්තනය කිරීමේ බාරදූර වගීකීම අප සියලු දෙනා සතු ය. මෙම කාර්යයේ දී ලාංකීය ඇතුළත සහ ඉන් පිටත ලෝකය අනාගතයට ගමන් කිරීමේ බල දේශපාලනයන් සහ ආර්ථිකයන් මෙන්ම තාක්ෂණික වර්ධනයන් වෙත නව මානයන්ගෙන් යුතු අවධානයක් ලබගෛන ලාංකීය නව මිනිසා සහ නව අනන්‍යතාව ගොඩ නැංවීමට අවැසි දැක්ම හා භාවිතය අපට සොයා ගත යුතුව ඇත.
ඡන්ද බලයකින් පැවති ආකෘතිය බිඳ වට්ටනු ලැබුව ද පැරණි මූලයන්ගේ නෂ්ටාවන් සමාජය තුල එලෙසම පවතී. ඉහත සඳහන් සකල වාදයන්ගේ චින්තනයන් සහ දෘෂ්ටිවාදයන් භාවිතාවන් වී ඇත. මේ සියල්ල ගුණාත්මක විපරිවර්තනයක් දෙසට නිර්මාණය කරනු ලබන්නේ කෙසේද යන්නට ප්‍රමාද නැතැත්, දී ඇති මොහොත විසින් ප්‍රමාදයට වඩා නොසලකා හැරීමත්, මඟහැරී යෑමත්, ඕනවට වඩා උදම් ඇනීමේ ආඩම්බරකාරී මෝහය විසින් ලැබී ඇති අවස්ථාව අහිමි විය හැකි ය.
දේශපාලන හෙය්යම්මාරුවෙන් හොඳටම තෙහෙට්ටු ජනතාවට වෙනත් විසඳුමක් නැති තැනට ඇද වැටුණු රටේ ජීවත් වීම ගැන බලාපොරොත්තු තබා සිටී. අනාගතය ගැන පරිකල්පනය කරනවාට වඩා මේ මොහොත තුළ ජීවත් වීම ලොකුම බලාපොරොත්තුව වී ඇත. එහෙත් එය ඒ මොහොත තුළම පරවී මැල වී යන තත්ත්වයක දවල් සිහිනයක් වෙමින් පවතින විට “ජනතාව” යැයි පොදුවේ ආමන්ත්‍රණය කළ හැකි මිනිසුන්ට අනාගතය නිර්මාණය කර ගැනීමට කිසිවක් කළ නො හැකි වී ඇති අතර එසේ වෙනස් කළ යුතු යැයි සිතිය හැකි නව පරම්පාරවන්ද පවත්නා සංකීර්ණතා තුළ ඛාදනයට ලක් වෙමින් පවතින ක්‍රමයට දිය වී යමින් සිටී.

පශ්චාත් යටත් විජිත දේශපාලන ඉතිහාසය තුල මිනිසා දරුණු හා භයානක කඩා වැටීමකට ලක්ව ඇතැත්, ඉන් මිදීමට නො හැකි කෙමනක් ලෙස ලංකාව හිර වී ඇති අවස්ථාවක ඉන් මුදවා ගැනීමට තෝරා පත් කර ගත් අලුත් ආණ්ඩුව “ජනතාව” යැයි පොදුවේ ආමණ්ත්‍රණය කළ හැකි මිනිසුන්ගේ අභිලාෂයන් සන්තෘප්ත කිරීමට පවා දුෂ්කර අවස්ථාවක සෙක්කුව පදවමින් සිටී.
අනාගතයට ඥාණය අඳ කරන මේ මොහොත
මේ මොහොත අනාගතය තිරසාර යහ පැවැත්ම වෙත ඥාණය හෙලිය යුතු හා හැකි තත්ත්වයක පසු නො වන බව දිනෙන් දින පෙන්නුම් කරනු ලැබීම විසින්, ලෝකය තුළ ලංකාවත්, ලංකාව තුළ ලෝකයත් යන අනාගතවාදී චින්තනයක් හෝ ඥාණයක් පිළිබඳ බලාපොරොත්තු තැබිය නො හැකි වී ඇත. වසර පහක් හෝ වසර දහයක් හෝ විය හැකි වුවත්, ඉන් පසුව සියල්ල අහවර වන්නේ නැති බැවින් අද ජීවත් වන මිනිසාට පමණක් නොව මතු උපදින පරම්පරාවන්ට නිදහසේ හුස්ම ගත හැකි පරිසරයක්, රටක් ඉතිරි කර ගැනීම සවිඥ්ඥාණක හැමගේ වගකීම වී ඇත.
එබැවින් අප හැමටම ලංකාව ගොඩ නැගීමේ වගකීමත් උවමනාවත් හැකියාවත් පිළිබඳ ප්‍රමාද විය යුතු නැත. එබැවින් මෙම ලියැවිල්ල හුදෙක් ලිපියක් නොව අනාගතවාදී වැඩ පිළිවෙළක් පිණිස පදනම් සටහනකි. මෙය රාජ්‍ය ගොඩ නැගීමේ සාකල්‍ය වැඩ පිළිවෙළක එක ගල් කැටයකි. රාජ්‍ය නවාකාරයකට ගොඩ නැගීමේ දී එයට ශක්තිය වනු වස් කෙරෙන වැඩ පිළිවෙළකි. දර්ශනයකි. එම කාර්යය සිදු කිරීමේ දී යම් අනතුරකට ලක්වන්නේ නම් හෝ එසේ වීමට හෝ සිදු කිරීමට සැළසුම් ඇත්තේ නම්, ඒ්වා හඳුනා ගැනීමටත්, නපුර සහ විනාශය පරාජය කිරීමටත් ඇති වැඩ පිළිවෙළකි. යම් හෙයකින් අනතුරට පත්වන්නේ නම් රාජ්‍යය ආරක්ෂා කිරීමටත්, ආරක්ෂා කරවීමටත් හැකි හා ඇති වැඩ පිළිවෙළක් සහිත දර්ශනයකි. එය නම් පාරනූතන රාජ්‍යය පිළිබඳ වැඩ පිළිවෙළ වන්නේ ය. රටින් පිටත සිට රට තුළට ශක්තිය සපයන පාර ස්වෛරී රාජ්‍යය පිළිබඳ ක්‍රියාමාර්ගික දර්ශනයක් සහිත තිරසාර දැක්මකි.
ඇතුළත පිටත සාකල්‍ය ජන රාජ්‍යය
මෙය පාර නූතන අර්ථය, දැක්ම, දර්ශනය සහ භාවිතාව කර ගත් සාකල්‍යවාදී ප්‍රවේශයන් තුළින් ගමන් කරන වැඩ පිළිවෙළකට මාර්ග සිතියමකි. ඒ් සඳහා වන පුළුල් සැලැස්ම සකසමින් පවතින අතර මේ සඳහා සාකල්‍ය සහය රටටත් පාලනයටත් රට තුල වන ජනයාටත් මෙන්ම විශේෂයෙන්ම රටින් බැහැර ලෝකයේ කුමන හෝ රටක සිටින ජනයාගේ මැදිහත් වීම කළ යුතු ආකාරය කියැවෙන අදහසකි. නව ලංකාවක්, නව ජාතියක් , නව අනන්‍යතාවක් ගොඩ නැගීමට කරන දායකත්වයකි. එය සාකල්‍යයෙන්ම මානවවාදී විශ්වාසයකි. මේ තුළ වෙනත් කිසිදු න්‍යාය පත්‍රයන් නොමැති උතුම් පරමාර්ථ ඇති අපේක්ෂාවකි.
මේ නිසා අපි සැම සියලු දෙනාට පක්ෂ පාට වර්ගභේදයන්ගෙන් තොරව ඒක් විය හැකි, වැඩ කළ හැකි, සිතය හැකි ආත්ම මූලික හා විෂය මූලික පදනමකි. එබැවින් මෙය ඔබේ මගේ අපේම වූ චින්තනයකි. එවැන්නක් වහ වහා අත්කර ගත යුතු වන්නේ ඇයි ද යන පැනය අපට දැන් අසන්නට සිදු වන මොහොත දැනටමත් පසුකර හමාරය. නමුත් එම පැනය වෙනුවට රටක් ලෙස කරමින් සිටින්නේ මොකක් දැයි අපි අපි දෙස හැරී බැලීමටවත් නො හැකි වී ඇති තරමට රට හිර වී ඇත. ආර්ථිකය ද දේශපානය ද බලය ද ඇතුළු සකල මානාවම අන්ධකාර ස්ථානයේ ගාලක කොටු කර ඇත.
උදය ආර්. තෙන්නකෝන්
දෙවැනි කොටසට ඉඩ
One thought on “විනාශයට පෙර-පසු බලාපොරොත්තුවේ රාජ්‍යය- උදය ආර්. තෙන්නකෝන්”