කාලෙකින් පොතක් කියෙව්වා අත නොහැර. 

එක හුස්මට.  ඒ ප්‍රදීප් ඉඳුනිල් පියරත්නගෙ මතක මල් පැස.

මතක මල් පැස නවකතාවක් හෝ කෙටි කතා එකතුවක් නෙවෙයි.  ඉඳුනිල්ම කියන විදිහට පොත අයිති වෙන්නෙ විත්ති කතා ශානරයට. ඉඳුනිල් ඔහුගෙ ළමා කාලයෙ හෝ ගැටවර කාලයේ මතක නිදහසේ ලියනවා.  ඇතැම් තැන්වලදි ඉඳුනිල් කියන සරසවි ශිෂ්‍යයාවත් හමුවෙනවා.

හැබැයි පොත කියවන පාඨකයාට ඇත්තෙන්ම සම්මුඛ වෙන්නෙ ඉඳුනිල් බබාවත්, ඉඳුනිල් ගැටයාවත්, ඉඳුනිල් තරුණයාවත් නෙවෙයි.  තමන්වමයි.  මොකද ඉඳුනිල් ගේ ජීවිත විත්ති මේ කොදෙව්වේ කොහේ ජීවත් වුන කෙනෙකුට වුනත් සමීප නිසා.  ඉඳුනිල් ගේ සපත්තු කුට්ටම අපිටත් ගැලපෙන නිසා.  ඉඳුනිල්ගේ මතක අප පසු කරන් ආ ජීවිත පිළිබඳ අපේ මතක අවුළුවන නිසා.

අතීත කාමය තුළ ජීවත්වෙන අප බොහෝ දෙනා අපේ අතීත කතා අකුරු කරන්නට කැමතියි.  නමුත් ඒ කැමැත්ත විතරක් මදි.  ඒකට තව කොනදේසි දෙකක් අවශ්‍යයි.  එකක් අතීත කාමය අකුරු වලට හරවද්දි පාඨකයා ග්‍රහණය කරගත හැකි සුගම භාෂාවක් අවශ්‍යයි.  අනෙක, වඩාත් වැගත් කාරණය, විවෘත භාවය.  තමන්ග අතීත තතු නොසඟවා, විවෘතව එළිදරව් කරන්න මැළිවෙනවා නම් ඒ ලියවිල්ලෙන් වැඩක් නැහැ. ඉඳුනිල්ට ඒ කොන්දේසි දෙකම නොඅඩුව තියනවා.  ඔහුගේ සරල සුගම භාෂාව තමයි පොතේ ආත්මය.

මතක මල් පැස මට සිහි ගැන්වූවේ  Kumudu Kumarasinghaගෙ කොළඹ මතක පොත.  තමන්ගෙ ජීවිතයම කොළඹ නගර සභා සීමාවට අයිති වුනු කුමුදු ඇගේ නාගරික මතක ඒ පොතේ කදිමට චිත්‍රණය කරනවා.  එක අතකින් මතක මල් පැස කොළඹ කතාවේ ග්‍රාමීය අනුවාදයක් වගේ.  ඉඳුනිල් දිගහරින්නෙ ඔහුගේ ගැමි ජීවිත මතක.

එක අතකින් කොළඹ මතකත්, මතක මල් පැසත් හුදු මතක සටහන් නෙවෙයි.  ඒවා දේශපාලනික කියවීම්.  නිදහසෙන් පස්සෙ ජන ජීවිතය වෙනස් වූ අයුරු සමාජ ආර්ථික දත්ත වලට ගිහින් බලන්න කම්මැලි අයට ජන ජීවිතය වෙනස් වුන ආකාරය ගැන මේ පොත්වලින් කිසියම් අදහසක් ගන්න පුළුවන්.

More From Author

විනාශයට පෙර-පසු  බලාපොරොත්තුවේ රාජ්‍යය- උදය ආර්. තෙන්නකෝන්

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු – මාධ්‍ය ඉස්සරහ ගෝඨාභයව විහිළුකාරයෙක් කිරීම

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348