මධ්‍යස්ථ ආන්තිකයේ ලාංකේය රාජ්‍යය – උදය ආර්. තෙන්නකෝන්

1948 න් පසුව යටත් විජිත හිමිකාරිත්වයෙන් මිඳීම පිළිබඳ ඇති විවිධ පර්යාවලෝකයන්, කතිකාවන් හා දෘෂ්ටිවාදයන් සියල්ල සාකල්‍යව ගෙන බැලීමේ දී, ඇති ප්‍රමුක ගැටලුව වන්නේ රාජ්‍ය ගොඩනැගීම යන්න ය. ලංකා රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමට තිබුණු හැකියාව හැකිලී යාම හේතුවෙන් අඩසිය වසකට වඩා වැඩි කාලයක් දැනුම සොයා යන්නට වූයේ “පශ්චාත් යටත් විජිත” (Post colonial) යන සන්දර්භය තුල දී ය. මෙම සන්දර්භය පොදුවේ න්‍යාය ගත වූයේ පශ්චාත් යටත් විජිත න්‍යායය (post colonial theory)යනුවෙනි. මෙම න්‍යාය ලංකාවට පමණක් නොව යටත්විජිතවාදයට හසු වූ සියලුම රාජ්‍යයන් පාහේ සලකා බැලීමටත්, භාවිතයට නැගීමටත් ගත් න්‍යාය විදික්‍රමයක් ලෙස හැඳින්විය හැකි ය. එය ඇකඩමියානු ගුරුකුලයක් ලෙස 20 වැනි සියවස මැද භාගයේ සිට විශාල බුද්ධිමය දායකත්වයක් ගෙන ආ බවට පෙන්වන මූලාශ්‍ර ප්‍රමාණය විශාල ය. එහෙත් මෙම න්‍යායන්ගේ කේන්ද්‍රීය හරය වූ යටත් විජිත හරණයකිරීම (decolonization) යන්නත් ඊට අදාල රාජ්‍යයන්ගේ සමාජ සැකසුම අතර ගැලපීම සඳහා මෙම න්‍යායන් විසින් දැනුම සම්පාදනය කිරීම ය. නමුත් යටත්විජිතවාදය මතින් ගොඩ නැගුණු දේශීය සමාජය පැරණි ස්වරූපයෙන් නව ස්වභායවයක් ගනු ලැබුවේ නව ආර්ථික හා දේශපාලන ක්‍රමයන් බවට පත් කිරීමෙනි. මේ ඔස්සේ කාලාන්තරයක් තිස්සේ වර්ධනය වූ යටත් විජිත සංස්කෘතිය දේශීය සමාජ මාදිලයක් වීම පැවැතුණු දේශීයත්වය විපරිවර්තනය කිරීමකි. මේ නිසා යටත් විජිතහරණය යන්න න්‍යාය තරම් භාවිතාවට නැගීමට අපහසු වීම  පශ්චාත් යටත් විජිත න්‍යායික අසාර්ථකත්වයකි.

ලංකාව සම්බන්ධයෙන් බැලීමේ දී, මෙම න්‍යාය ඔස්සේ රාජ්‍ය යලි ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබුව ද, න්‍යාය භාවිතාවට නැගීමට නො හැකි පසුබිම ඉතිහාසය පුරා වර්ධනය විය. මේ නිසා පශ්චාත් යටත් විජිත න්‍යායට ඔරොත්තු නො දෙන තරමින් මතු වූ ගැටලු ඔඩු දුවන්නට වූයේ ආර්ථික නිදහස හා ජාතීන්ගේ ප්‍රශ්නය යන සාධක අධිනිෂ්චය වීම මගිනි. යටත් විජිත ආකෘතියෙන් මිදීම වෙනුවට ඒ මතම සැකසුණු රාජ්‍යය හා එහි ආණ්ඩුකරණයන් පශ්චාත් යටත් විජිත තත්ත්වය නඩත්තු කරන්නට වූයේ ඉන් නිදහස්ව වෙනත් විසඳුම් සොයා ගැනීමට අපොහොසත් වීමෙනි. එහෙත් රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආණ්ඩුකරණයන් සියල්ලම පාහේ වර නඟණු ලැබුවේ “නිදහස සහ ස්වෛරීබව” යන ජාතිය ගොඩ නැගීමේ මූලිකාංගයන් ය. එය එසේ වුවත්, එය එසේ සිදු නො වී ය. මේ සඳහා බල පාන ලද සාධක කිහිපයක් හඳුනා ගත හැකි වේ.

  1. ජාතික දෘෂ්ටිවාදයක් වෙනුවට වාර්ගික පසමිතුරුභාවයක් නිර්මාණය කර ගැනීම
  2. මාක්ස්වාදී න්‍යාය ලංකා සන්දර්භයට ගලපා ගත නො හැකි වීම
  3. නව යටත් විජිතවාදය ධනවාදය සමග නව ස්වරූපයෙන් ක්‍රියාත්මක වීම
  4. ‍දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ ලෝක තත්ත්වය

රාජ්‍ය ස්වාධීනත්වය සඳහා ජාතික විමුක්ති දේශපාලන දෘෂ්ටිවාදයක් පැවැතිය ද එය ලාංකීය ජාතිය වෙනුවට සිංහල දෙමළ වාර්ගීකත්වයක සිර වී රට අභ්‍යන්තරය තුළ පැවැති වාර්ගික වෙනස්කම් ගැටුම් බවට වැඩි වර්ධනය විය.  පශ්චාත් යටත් විජිත ඉතිහාසය පුරා අඛණ්ඩව වර්ධනය වූ වාර්ගික ගැටුම යුද්ධයක් දක්වා ගමන් කරන අවස්ථාව වන විට ගැටුමේ ස්වාභාවයන් ජාත්‍යන්තරකරණය වීම තුලින් මතු ව ආ නව තත්ත්වය ලංකා සමාජය තවත් සංකීරණ කරන්නට විය. දේශපාලනය ආර්ථිකය, සංස්කෘතිය ඇතුළු සමාජ විලාසය ගැටුම මුල්කරගත් නව  මනෝභාවයක් සහිත මානව සමාජයක් දක්වා විපරිවර්තනය වූයේ පශ්චාත් යටත් විජිත රාමුවෙන් නව රාමුවකටය. මෙම අවස්ථාව හැඳින්විය හැකි වන්නේ  පාර පශ්චාත් යටත් විජිත අවස්ථාවක් (Trans post colonial condition) ලෙස ය. එනිසා කලින් පැවැති තත්ත්වය විග්‍රහ කරගත් පශ්චාත් යටත් විජිත න්‍යාය තවදුරටත් වලංගු නො වීම සිදු වුවත්, ඒ ඔස්සේ විසඳුම් සෙවීම විසින් ප්‍රශ්නයට විසඳුම් වෙනුවට ප්‍රශ්නය තවත් සංකීරණ කරන්නට විය. සංකීණ වූ  දෙවැනි තත්ත්වය හරි හැටි අවබෝධ කර නො ගැනීම තුළ ලාංකීය ප්‍රශ්නය භූමිය තුළ සහ පිටත යන දෙක අතර අන්තර් ක්‍රියා කරන්නට වූයේ පාර රාජ්‍ය සංඝඨකයන් සහිතවය. මේ තුළ ස්වෛරීත්වය යන්න තුළ පැවැති පැරණි අර්ථයන් ප්‍රසාරණය වී අභ්‍යන්තිරික ශක්තීන් බෙලහීන කිරීමටත් අනන්‍යතාවන් බොඳ කර දමන්නටත් විය. 

මේ නිසා පශ්චාත් යටත් විජිත න්‍යාය යටතේ ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීම, ජාතික අනන්‍යතාවය ඇති කර ගැනීම, පාලනය සහ සමාජ-දේශපාලනය ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධ සංකීර්ණ ගැටළු හෙළි කිරීමට  මෙම න්‍යාය අපොහොසත් වුවත් ඒ ඔස්සේම රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුකරණයන් හිර විය. මේ අසාර්ථකත්වයට ඇති කේන්ද්‍රීය විවේචනය ධනවාදයයත්, නව ලිබරල්වාදයත් තුළ අඩංගු මෙවළම් තුළින් විග්‍රහවන්නට විය. ඒය ප්‍රශ්නයේ කොටසක් වුවත් විසඳුමට විකල්පයක් ඉදිරිපත් වී නොමැත. ඒ් වෙනුවට රාජ්‍ය ගොඩනැගීම පිළිබඳ දැක්ම කොටස් හතරක් යටතේ බෙදුණු දෘෂ්ටිවාදයන් තුළ බෙදී ඇත.

  1. ආන්තික ජාතිකවාදී කොටස
  2. ආන්තික බටහිරවාදී කොටස
  3. ආන්තික මධ්‍යස්ථ කොටස
  4. බටහිර මාක්ස්වාදී කොටස

රාජ්‍ය ගොඩ නැගීම හා ජාතික අනන්‍යතාව නිර්මාණය කිර ගැනීමේ ව්‍යාපෘතිය 1948 න් පසු කාලය තුළ බලයට පත්  ආණ්ඩුවල ආර්ථික පදනමත්, දේශපාලන දැක්මත් ප්‍රායෝගිකව ස්ථාන ගත වූයේ ආන්තික මධ්‍යස්ථ කොටස තුළය. සෙසු කොටස් තුනම දෘෂ්ටිවාදයන් පමණකි. ආන්තික මධ්‍යස්ථය යනු ආන්තික ජාතිකවාදයේ හා ආන්තික බටහිරවාදයේ තනුක  සංයුතියක් නිසා ගැටලුවට විසඳුම ලබා ගැනීමට අපොහොසත් වී ඇත.

මේ අපොහොසත්වීම අතරට විශේෂයෙන්ම ජන වාර්ගික අනන්‍යතාවය ගොඩනැගීම සහ වාර්ගික යුත්කිය යන ගැටලුව කේන්ද්‍රීය ගැටලුව අභිබවා පැමිණීමත්, ඒ් ඔස්සේ පාලන ව්‍යුහයන් සහ සංස්කෘතික බෙදීම් කෙරෙහි සාකල්‍ය අර්ථයෙන් යොමු වීමට අවබෝධයක් සහ අවශ්‍යතාවක් ඇති නොකිරීම සමාජ ඛේදවාචකයක් බවට පත් කර ඇත.

යටත් විජිත පාලනයේ බලපෑම විවේචනය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට දේශපාලන න්‍යායන් කොතෙක් පැවැතියත්, වෙනස්ව හා වෙනස්වීම වැළඳගෙන ඇති සමාජයට විපරිවර්තනීය විසඳුම් සොයා ගැනීමට හා ප්‍රතිපත්තිමය එකාග්‍රතාවයක් ඇති කර ගැනීමට නො හැකි විය. ඒ වෙනුවට කාලය යන පරාමිතිය තුල භාහිර හා අභ්‍යන්තරික ගතිකත්වයන් ඇති කිරීම හා ඒවා විසින් ගැටලුව තව තවත් සංකීර්ණ කර ඇත. සංකීර්ණත්වය විග්‍රහකර ගැනීමට හා ඒ ඔස්සේ ජාතිය ගොඩ නැගීමට පශ්චාත් යටත් විජිත ප්‍රවේශයන්ගෙන් පාර-පශ්චාත් යටත් විජිත ප්‍රවේශයන්ට විපරිවර්තනය කරගත යුතුව තිබුණු දැනුම පිළිබඳ ඥාණවිභාගයේ අඩුව හේතුවෙන් ප්‍රශ්නයේ හේතුවට විසඳුම් වෙනුවට සංකීරණ ඵලයන්ගේ හේතු කරා ගමන් කිරීම අද දක්වා සිදු වන්නකි.

යටත් විජිත පාලන සමයේ අවසාන දශකයන් තුල දී, ලංකාවේ වමේ ව්‍යාපාරය ශක්තිමත් මාර්ගයක ගමන් කරමින් මෙරටේ පාලන බලය ලබා ගැනීමට හැකි පරිසරයක් පැවැතිය ද එම අවස්ථාවන් ඇහිරී යාම ඉතිහාසයේ සළකුණක්ම පමණකි. සිදු වූයේ වමේ ව්‍යාපාරය කණ්ඩණයන්ට ලක්වීම ය. වමට පදනම් මාක්ස්වාදී න්‍යායට ද ලංකාවේ නිදහසින් පසුව පැවැති රාජ්‍ය ගොඩ නැගීම සඳහා වූ දැක්ම මාක්ස්වාදයේ න්‍යායික කණ්ඩණයන් විසින් විසිරුවා හරින ලදි. යටත් විජිත වාදයෙන් පසුව නිදහස් වූ රාජ්‍යයන් කෙරෙහි වූ බටහිර බලපෑම සහ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික උපාය උපක්‍රම විසින් අභියෝගයක් එල්ල කරන්නට වීමත්, ඒ තුල නව යටත් විජිතවාදයට එරෙහි අරගල ජාතික විමුක්ති පර්යාවලෝකයක් ඔස්සේ ගලපා ගැනීමට මාක්ස්වාදයේ න්‍යායික සීමාවට වඩා භාවිතාව සාකල්‍යවාදී ආර්ථයෙන් යොදා ගැනීමට නො හැකි විය. ලොව පුරා පැවැති වාම හා මාකස්වාදී ව්‍යාපාර තුළින් පෙන්නුම් කරන මූලික ගැටලුව වී ඇත්තේ වාස්තවික යථාර්ථයට (Objective reality) වඩා ආත්මීය යථාර්ථය (Subjective reality) විශාල වීම ය. මෙය පුද්ගල සාධකයේ සිට කණ්ඩායම් අනන්‍යතාව දක්වා වෙන වෙනම වර්ධනය වීම නිසා, තනි ක්‍රමයක සියල්ල පාලනය වන ධනේශ්වරයට අභියෝග කිරීමට ඇති නො හැකියාව ලංකා සමාජයට ද එක හා සමානය.

අනෙක් අතට 21 වැනි සියවස තුළ දී ඇති වන තාක්ෂණික හා සංනිවේදනයේ නොසිතූ විරූ වර්ධනය විසින් නූතන හා පශ්චාත් නූතන තත්ත්වයන් සහිත ලෝක ප්‍රවණතා හේතුවෙන් රාජ්‍ය ආකෘතිය විනිවිද යන්නට විය. මේ නිසා ජාතික රාජ්‍යය යන්න අතාර්කිකත්වයේ අභියෝගයන්ට ලක් වූයේ ආර්ථිකය, සංස්කෘතිය හා දේශපාලනය ද ඇතුළත් සමාජ දේහය බහුමානීය දයලෙක්තිකයන්ට ( Plural diamensioned  dialectics) ලක්වීම මගිනි. මේ තුළින් කලාපීය හා ලෝක බලයන්ගේ උපාය උපක්‍රම විසින් ආණ්ඩුකරණයන් සංකීරණත්වයට පත් කළ අතර ලාංකීය රාජ්‍යයේ අභ්‍යන්තරය ව්‍යාකූල කිරීමට ද භාහිර බැලපෑම් සමත් විය.

අද වන විට මේ සඳහා බලපෑම් කරන ප්‍රමුඛ නිදසුනක් වන්නේ ජනමාධ්‍යයන්ගේ  හා තොරතුරුවල භූමිකාවන් ය. තොරතුරු සහ සත්‍යයත්  නිරවද්‍යතාවත්  මෙන්ම අචාර ධාර්මික පරාමිතීන් සියල්ල අභිභවා මාධ්‍ය පාලනයට යොමුවීම තුල රාජ්‍යය සහ ආණ්ඩුකරණය අතර ආතතිය නිර්මාණය කිරීමේ ගැටලු  තොරතුරු මෙහෙයවන අධිකාරී බලයන්ගේ අණසක අතට පත්ව ඇත. මෙම තත්ත්වය ලෝක ක්‍රමයේ නව තත්ත්වයක් උදාකරනු ලබන්නේ සියලු වාදයන් පාරවාදයන් බවට පත් කිරීමෙනි. ධනවාදය ලෙස තේරුම් ගන්නා සම්භාව්‍ය ලෝක ක්‍රමය අධිරාජ්‍යවාදයෙන් ඔබ්බට ගොස් ලෙනිනියානු තේරුම් ගැනීම විපරිවර්තනය කරන්නට වන්නේ පාර ධනවාදය, පාර අධිරාජ්‍යවාදය බවටත් නව යටත් විජිතවාදය පාර නව යටත් විජිතවාදය බවටත් වෙනස් වීම විසිනි. ඒ අනුව ලිබරල්වාදය, නව ලිබරල්වාදයේ සිට පාර නව ලිබරල්වාදය දක්වාත් විහිදෙන්නේ, නවතම තත්ත්යන් ලෙස ය. විනි විදින ලෝකය සම්මත ආකෘතීන් කඩා දැමීමටත්, වෙනස් කිරීමටත් හැකි මෙම නව තත්ත්වය විනාශයට ලක් කිරීමෙන් වෙනස් කිරීමක් වෙනුවට විපරිවරතනයෙන් තත්ත්වය පවත්වාගෙන යාම ධනවාදය තුළින් සිදු වෙමින් තිබේ.

මේ සියලු සිදුවීම් වසර 75 ක පමණ කාලයක් තුල රාජ්‍ය ගොඩ නැගීම හා ජාතික අනන්‍යතාව යන ගැටලුව තුල වටේ කැරකෙමින් විවිධ වූ ආණ්ඩුකරණයන් තුල පරීක්ෂා වුවත්, අර්බුදයේ අර්බුදයට රටක් ලෙස ගොදුරු වී ආර්ථික බංකොලොත් වීමකින් පෙන්නුම් කරනු ලැබුවේ ද පශ්චාත් යටත් විජිත හෝ පාර පශ්චාත් යටත් විජිත තත්ත්වයට තවදුරටත් ගමන් කළ නො හැකි බවය. ආර්ථිකය කඩා වැටීමත් සමග ආ ජන අරගලය විසින් පෙන්නුම් කරනු ලැබුවේ ද රාජ්‍යයේ ගැටලුක් ලෙස ය. මෙම ජනතා නැගී සිටීම නව සමාජයක ඇති අවශ්‍යතාවයය ද යන ගැටලුව අරගලයේ පසු ප්‍රතිඵල දෙස බැලීමෙන් ඇසිය හැකි ප්‍රශ්නයක් වුවත් ජනතා නැගිටීම සමාජ අසහනය කුළු ගැන්වීමකි. ඒහෙත් ඒම නැගී සිටීම සහ ඉන් පසු ප්‍රථිඵල විසින් අද අපට ලැබී ඇති ලංකාව වෙනස් වීමක් පෙන්නුම් කරන්නේ නැත. සිතාගෙන සිටීම සහ සිදුවන දෙයෙහි ඇති පරතරය සහ නව සංකීර්ණත්වයක් ගොඩ නැගෙනවා හැර වෙනත් මගකට යොවීමට උවමනාව පැවැතියත් ඒය නොහැකි වන්නේ ලාංකීය ජාතිය යන ආත්මීය ගැටලුවට ඇති විසඳුමකට  ඇති දැක්ම නිසාය.

පළමු ලිපියට සැබැඳියපියට සැබැඳිය- විනාශයට පෙර-පසු  බලාපොරොත්තුවේ රාජ්‍යය

තවත් කොටසක් පසුවට

More From Author

අන්තර් සමාජ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ මහනුවර පිළට තවත් ජයක්……

කම්පුචියා හෙවත් කාම්බෝජ සංචාරය (21/02/2025 සිට 01/03/2025 දක්වා)

Leave a Reply

Categories

LDM Columns