(2 වන කොටස)
පළමු දින දිවා ආහාරයෙන් පසු අපි ගියේ රාජකීය මාලිගාව බලන්නයි. එය පිහිටා තිබෙන්නේ ටොන්ල් සැප් ගංගාව මීකොන් ගංගාවට වැටෙන මෝය අසල බටහිර ඉවුරේ ය.
රජ මාලිගය නොම් පෙන් හි ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක්.
නොම්පෙන් හි දැනට ඇති රජ මාලිගා සංකීර්ණය වර්ග අඩි මිලියන 1.9 පමණ වෙනවා. (402m x 435m)
නරඹන්නන්ට රිදී චෛත්‍ය පරිශ්‍රය සහ සිංහාසන ශාලාව සහ චාන් චායා මණ්ඩපය අඩංගු මධ්‍යම පරිශ්‍රය වටා සැරිසැරීමට හැකිය. රාජකීය උද සහ තවත් ගොඩනැගිලි සහ මණ්ඩප ගණනාවක් ඇතුළුව මුළු මාලිගා භූමි ප්‍රමාණයෙන් අඩක් ඇතුළත් රජුගේ වාසය කරන ප්‍රදේශය මහජනයාට ඇතුළු විය නොහැකිය.
රජ මාලිගය කම්පුචියානු වාස්තු කලාවට ඉතා හොඳ උදාහරණයක්. කාම්බෝජයේ ජනතාවගෙන් 97% ක් බෞද්ධාගමිකයන්. නමුත් එය හින්දු ආගම සමගත් තදින් බැඳී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ වාස්තු සම්ප්‍රධායට නාග රූප, ගරුඬ රූප, සිංහ රූප ආදිය ඇතුළත්.
කාම්බෝජයේ වත්මන් රජතුමා Norodom Sihamoni නම් වේ. ඔහු ලංකාවේ අප අතර සිහනුක් කුමරු නමින් ප්‍රසිද්ධව සිටි Norodom Sihanouk ගේ පුත්‍රරත්නයයි.
රාජකීය මාලිගාව නැරඹීමෙන් පසුව අපි ගියේ කඳු මුදුනක පිහිටි වට් නොම් (Wat Phonm) පන්සල බලන්නයි.
පුරාවෘත්තයට අනුව, 1372 දී, “පෙන්” නම් ධනවත් මහලු කාන්තාවක් ගංගා හතරේ හමුවන ස්ථානයේ ඉවුර අසල කුඩා කන්දක් මත ජීවත් විය. දිනක්, වැසි ඇද හැලෙන විට, පෙන් ස්නානය කිරීමට තොටුපළට ගිය විට ගඟේ පාවෙන ලී කොටයක් දැක ගම්වැසියන්ගේ සහයෙන් එය ගොඩට ගත්තා ය. එම ලී කොටයේ බෙනයක් තුළ ලෝකඩ, පිත්තල සහ කිරිගරුඬ වලින් සාදන ලද බුද්ධ ප්‍රතිමා තුනකුත් විෂ්ණු දෙවියන්, අත්වල සැරයටියක්, දම්වැලක්, ගොළුබෙල්ලෙකු සහ නෙළුම් මලක් දරා සිටින ප්‍රතිමාවක් තිබී ඇත. පසුව ගම්වැසියන් හා එක්ව ප්‍රතිමා තැන්පත් කිරීම සඳහා කෘතිම කන්දක් ඉදිකර කන්ද මුදුනේ කුඩා ලී දේවාලයක් ඉදි කරන ලදී. එම ආරාමය “වට් නොම්” ලෙස නම් කළ අතර අද දක්වාම එය එසේ හැඳින්වේ.
අප්‍රේල් මස පැවැත්වෙන ක්මර් අලුත් අවුරුද්දේ දී ජනතාව විශාල වශයෙන් වන්දනාමාන කිරීමට පැමිණෙන ස්ථානයකි.
ඉන්පසුව සවස් යාමයේ අපි මීකොන් ගඟේ බෝට්ටු සවාරියක් ගියා. අඳුරු වැටුණු පසු ගඟ දෙපස චමත්කාර ලෙස ආලෝකමත් කර තිබීම සොඳුරු දසුනක්. හමා එන සිසිල් සුළඟ විඳිමින් කළ සවාරිය ගමන් විඩාව නිවා දැමුවා.
මානෙල් විජිතා ප්‍රනාන්දු