ඔබ අසන්නේ මට යාබදව වැතිර හිඳ
මලානික කහ පෑ බල්බය
නිවී ගිහිනුත් පැය ගාණකට පස්සෙ,
තද අඳුරේ වුවද අතිශය සියුම් වෙනස්කම් පවා
හොඳින්ම පෙනෙමින් තිබූ වෙලාවක,
ජනේලෙන් එපිට විල ලෝකයකම පැවැත්ම
අවිනිශ්චිත වූත්
නොසලකා හැරිය හැකි වූත් වෙලාවක,
සිවිලිමේ ඩිම් වුනු සුද දැල්වෙමින් තිබූ වෙලාවක,
“ඒ වගේ දේවල්වලට හේතු තියෙනවද ?”
මම අසන්නේ ඔබට යාබදව වැතිර හිඳ
ඒකාකාරීව ඇසෙන
විදුලි පංකාවේ තටු, සුළඟ හා ගැටෙන හඬ පවා
නෑසෙමින් ගොස් රාත්‍රියටම එකතු වී තිබු වෙලාවක,
කේමදාසයන් මල පසුත්
ප්‍රේමදාසයන් මියගියේ නැති නිසා
අඳුරේම පමණක් විමුක්ති ගී ගයන
රැහැයි කැන්ටාටා කණ්ඩය
ප්‍රසංගය අරඹා තිබු වෙලාවක,
දුම් ගුලාවක් ඔබේ මුවින් නැගෙමින් තිබු වෙලාවක,
එතකොට
මිලි තත්ත්පර ගණනක හිනාවක්
අධි වේගවත් හුස්ම දහරක් සමග
දුම් ගුලාවට පසුපසින් ඔබෙ තොල’තරින්
එළියට පැන ගත්තා.
සිගරට්ටුව මගෙ අතට දෙනගමන් නැගිට
මට උඩින් පැන ඇවිද ගිය වෙලේ ඔබ
නානකාමරය දිහාවට
අඳුරේ වූ සියුම් වෙනස්කම් අතරින්
මම ඔබේ නග්න සිරුරේ හැඩය අනුමාන කළා.
මීට වසර පහ-හයකට උඩදි
අපි ආදරේ කරමින් උන්නු කාලේ
අඳුරේ සියුම් වෙනස්කම් අතරින් පෙනුන
ඔබේ සිරුරේ හැඩය මට මතක් උනා
ඔබ දැන් වෙනස්
“රූපාන්තරණය කරපු කැරපොත්තෙක්”
ෆ්‍රාන්ස් නම් අයෙක් පොත් රාක්කයෙන් එබී කිව්වා
ඔබ ඇවිත් මං ළඟින් ඉඳගත්තා මූණහෙම පිහදාගෙන
තව තවත් කිට්ටු වී
මගෙ ඉහ අතගාන්න පටන්ගත්තම
ඔබේ කුරුමිණි සන්දිපාදවල බූව ගෑවෙන්න උනා
මගෙ කන්පෙතිවලත්
මම එහෙමම ඔබට තුරුළු වෙද්දී
ඔබෙ නිරුවත් බඳ වටින් එලා දකුණත
මට දැනුනා ඔබේ හද ගැස්ම
ඉස්සරට වඩා වෙනස්ව
කුටීර දහතුනකින් නැගෙන ස්පන්දන හතාමාරක් ලෙස
ඔබෙ මුව පාත්වී සිපගනිද්දී මගෙ මුව
සරදමට මෙන් හපද්දී මගෙ උඩු තොල
සන්දිපාදික මුඛෝපාංග කට්ටලයක්
ඩැහැගත්තා මගෙ යටි තොල
“මගේ ලේ සුදු වෙන්න ගත්තේ
අපි වෙන් වුණ කාලෙමයි”
ඔබ කියන්නේ මට යාබදව වැතිර හිඳ
මලානික කහ පෑ බල්බය
නිවී ගිහිනුත් පැය ගාණකට පස්සෙ,
තද අඳුරේ වුවද අතිශය සියුම් වෙනස්කම් පවා
හොඳින්ම පෙනෙමින් තිබූ වෙලාවක.
ගගන වර්ණකුලසූරිය