2025.03.05 ට යෙදුන රෝසා ලක්සමිබර්ග්ගේ 154 වන ජන්ම දිනය වෙනුවෙන් දයාපාල තිරාණගම සැකසු ලිපියක් …………

හැදින්වීම

රෝසා ලක්සමිබර්ග් උපත ලැබුවේ රුසියානු අධිරාජ්‍යයේ දැන් පෝලන්තය ලෙස හඳුන්වන රටෙහිය. ඇය එඩිතර පෝලන්ත විප්ලවාදිනියක් සහ වෙහෙස නොබලා ජනතාව වෙනුවෙන් කැප වූ උද්ඝෝශිකාවකි. පෝලන්ත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ පසුව ජර්මානු කොමියුනිස්ට් පක්ෂය බවට පත්වූ ස්පාර්ටකස් ලීගය ගොඩ නැගීමට ඇය කටයුතු කළාය. ඇය දේශපාලන න්‍යායවාදිනියකු ලෙස මාක්ස්වාදයට මානවවාදී න්‍යායක් සංවර්ධනයට කටයුතු කලාය. රෝසා ලක්සේම්බර්ග් කල මෙහෙය සමාජවාදී ව්‍යාපාරය තුල හඳුනානොගත් බවට මැසිවිලි නගන යුරෝපිය සුප්‍රසිද්ධ දේශපාලන දර්ශන වේදිනියක් වූ හැනා අරන්ට් සිය ‘අඳුරු යුගයක මිනිසුන්” යන ග්‍රන්ථයේ ඇයගේ ජිවිතයේ, මරණයේදී සහ මරණයෙන් පසුව පවා රෝසා ලක්සේම්බර්ග් උදාකරගත් මස්තකප්‍රාප්තිය ඇයට අහිමි කල බව කියා සිටී (Men in Dark Times, 34 ). මේ සටහන කිසිසේත් රෝසා ලක්සෙම්බර්ග් ට සාධාරණය ඉටු කල නොහැකි වුවද ඇය සමාජවාදයේ ඉදිරිගමන ඉදරිපත් කල න්‍යායික සහ දේශපාලන කතිකාවත පිලිබදව කරන සුළු සහ කෙටි ඇගයීමක් වෙයි.

රෝසා ඝාතනය කිරීම:
තරුණ කාලයේදීම පෝලන්ත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ධ වූ රෝසා පෝලන්ත සහ ජර්මානු සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රගතිය සඳහාත් කල මෙහෙය සහ ඇයගේ සුවිසල් අධිෂ්ඨානය ධනපති පන්තියේ කෝපයට සහ වෛරයට හේතුවිය. මේ නිසා ඔවුන්ගේ දක්ෂිණාංශික හමුදාවන් විසින් රෝසා, 1919 ජනවාරි 15 දින රාත්‍රී 9 ට පමණ ඝාතනය කරනු ලැබිණ.
ඇය සමග අත් අඩංගුවට ගත් ජර්මානු සමාජවාදී ව්‍යාපාරයේ නායකයෙකු වූ කාල් ලිබ්නෙක්ට් ද වෙඩි තබා මරා දමනු ලැබිය. දෙදෙනාම එකට අත් අඩංගුවට ගෙන එඩ්නා හෝටලයට ගෙන විත් වධ හිංසා පමුණුවා, පසුව රෝසා හෝටලයෙන් පිටතට ගෙන ගොස් රයිෆල් බට වලින් මැරෙන තුරු පහර දී ඉතා වේදනාකාර මරණයකට ගොදුරු කොට ඇය ගේ දේහය ඒ අසල ඇලකට විසි කර දමනු ලැබිය. ධනේශ්වර පන්තිය නිර්ධන පන්ති නායකයන්ට දක්වන ක්‍රෝධය සහ වෛරය රෝසා ඝාතනය කල ආකාරයෙන්ද මැනවින් පැහැදිලි වෙයි. ඇයගේ මරණය පිළිබද ආරංචිය ලද වහාම ලෙනින් කෙටි පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේ. ‘අද කාල් ලිබ්නෙක්ට් සහ රෝස ලක්සේම්බර්ග් ඝාතනය කිරීමට පුළුවන් වීමෙන් ධනේශ්වර පන්තිය සහ සමාජ දෝහීන් අමන්දානන්දයට පත්වෙමින් සිටිති. කොල්ලකෑම උදෙසා වසර හතරක් ම කම්කරුවන් ඝාතනය කිරීමට නායකත්වය දුන් ඊබට් සහ ෂෙයිඩමාන් නිර්ධන පාන්තික නායකයන් ඝාතනය කිරීමේ කාර්යභාරය පටන් ගෙන ඇත. ජර්මානු විප්ලවය ඔප්පු කරන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යනු ධනේශ්වර මංකොල්ලය සහ තිරශ්චින ප්‍රචණ්ඩත්වය සඳහා වෙස්වලා ගැනීමක් පමණක් බවය. ලෙනින් එම ප්‍රකාශය අවසන් කලේ ‘ඝාතකයන්ට මරණය’ ප්‍රකාශයට පත් කරමිනි. ලෙනින්ගේ මේ ප්‍රකාශය වැදගත්වන්නේ රෝසා සහ ලෙනින් අතර රුසියානු විප්ලවයේ සහ යුරෝපිය සමාජවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් පැවති ගැටුම් කාරී වූ නායිකා සහ දේශපාලන වෙනස් කම් පවතිත් දී පෙන් වූ සහෝදරත්වය කරන කොට ගෙනය. එය අද පවා න්‍යායක සහ දේශපාලන වෙනස්කම් මුල්කරගෙන අපරිණත ලෙස හැසිරෙන පුද්ගලයන් සහ කල්ලිවලට වටිනා පාඩමකි. මෙහිදී මා මුලික වශයෙන් අවධානය යොමු කරන්නේ ලෙනින් සහ රෝසා ලක්සේම්බර්ග් අතර පැවති විවාදයටයි. එසේම ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුල බර්න්ස්ට්යින්වාදී ප්‍රතිසංස්කරණවාදයට එරෙහිව ඇය න්‍යායික විවාදයද මෙහිදී වැදගත්කමක් දරයි. ඉන් රොාගේ දේශපාලන සහ න්‍යායයික ස්ථාවරයන් සහ ඒවායින් සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසයට ආලෝකයක් යොමු කොට සත්‍යට යම්කිසි ආකාරයකට අවතීරණය විය හැකිදැයි සොයා ගැනීමටයි.
ප්‍රතිසංස්කරණවාදයට එරෙහි වීම
ජර්මානු සමාජ ප්‍රජාතනත්‍රවාදී පක්ෂය තුල එඩ්වර්ඩ් බර්න්ස්ටින් විසින් ඉදිරිපත් කල ප්‍රතිසංස්කරණවාදී මතවාදයට එරෙහිව රෝසා ලක්සේම්බර්ග් දැඩි න්‍යායක අරගලයක නියුක්ත විය. ඔහු ඉදිරි පත්කළ මතවාදය වුයේ සමාජවාදය දිනා ගැනීම සඳහා ප්‍රචන්ඩත්වය පාවිච්චි නොකළ යුතු බවය. ධනපති ක්‍රමය ඉක්මනින් බිද නොවැටෙන බවත් පාර්ලිමේන්තු ක්‍රමය තුල බලය අල්ලා ගැනීම සඳහා සමාජවාදීන් සිය උපාය උපක්‍රම පාවිචිචි කිරීම යොග්‍ය වන කාල පරිඡේදයකට ධනපති ක්‍රමය වෙනස් වී ඇති බවට ඔහු තර්ක කළේය. වැදගත් වන්නේ වර්තමානය පමණක් බවත් අවසාන ඉලක්කය වැදගැම්මකට නැති බවත් ඔහු කියා සිටියේය. රෝසා ඇයගේ(Reforms or Revolution 1899 ) හි පෙන්වා දෙන පරිදි බර්න්ස්ටින් ප්‍රකාශ කරන්නේ ‘ප්‍රතිසංස්කරණ ප්‍රගතියේ හෙමිහිට සිදුවන ඓතිහාසික ප්‍රගතියක් වන අතර විප්ලවය ප්‍රගතියේ වේගවත් ක්‍රමයකි. බලය පිලිබඳ ක්‍රමය ඔහු දකින්නේ අණ පනත්වලය. විප්ලවයේ සිදුවන්නේ ඉබේම සිදුවන බලයකි. ‘ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට යොමුවීම ඔහු අනුමත කලේ නැත. බලය ඇල්ලීම ඒ සදහා ‘නොමේරු අවධියක සිදුවීමේ අනතුර ගැන ඔහු බිය පල කළේය. බර්න්ස්ටින්ගේ න්‍යාය රෝසා මුළුමනින්ම පාහේ ප්‍රතික්ෂේප කරමින් සමාජ සංවර්ධනය පිළිබද දයලේක්තික භෞතිකවාදය මත විශ්වාසය තැබිය. ඇය කියා සිටියේ ධනපති සමාජයේ සිට සමාජවාදී සමාජය කරා යන ගමන දැඩි පරිවර්තනයක් බවත් එය එක් ප්‍රීතිදායක ක්‍රියාවකින් මුදුන් පමුනුවගත නොහැකි නොහැකිවන්න සේම එය අවශ්ථා ගණනකින් සමන්විත වන බවත් එවැනි අවශ්ථාවන් අවශ්‍ය වන්නේ නිර්ධන පන්තියට අවශ්‍ය පරිනත භාවය ලබා ගැනීමට මෙන්ම එය අවසාන ජයග්‍රහණය‍ සඳහා අවශ්‍යවන විෂය මුලික තත්වයන් නිර්මාණය කිරීමට හැකිවන් බවත් ඇය කියා සිටියේය. නිසිකලට පෙර බලය අල්වා ගැනීමේ අනතුර මෙවැනි අරගල මාලාවක් ඔස්සේ ගමන් කිරීමෙන් වැළකෙන බවත් අවසාන ජයග්‍රහණය එමගින් සුරක්ෂිත කිරීමට ඉඩ ලබා දෙන බවත් රෝසා පෙන්වා දුන්නාය. එසේම යෝගය මොහොත එන තෙක් බලා සිටිය නොහැකි බවත් අපට යෝගය මොහොත නිකන් බලා සිටියොත් මග හරි යන බවත් ඇය පෙන්වා දුන්නාය. රෝසාගේ මේ ප්‍රතිචාරය ගැන නිරීක්ෂණය කරන ජිජැක් පෙන්වාදෙන්නේ ‘විප්ලවාදී ක්‍රිරියාවලියේදී අධිභාෂාවක් නිශ්චිත ලෙසම යොදාගැනීමේ නොහැකියාව රෝස ලක්සේම්බර්ග් ගේ මුලික තර්කය වන බවය ‘( Slavoj Zizek, Interrogating the Real,p 42 ).රෝසා බර්න්ස්ටින්ගේ මතයන්ට එරහිව කල විවාදයේදී කාල් කෞට්ස්කිගේ සහයෝගය ඇයට ලැබිණ .
රෝසා සහ ජාතික ප්‍රශ්නය
රෝසා ලක්සේම්බර්ග් තම රටේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දරූ දේශපාලන ස්ථාවරය අතිශයින්ම ප්‍රශ්න කාරී විය. පෝලන්තයට ස්වයංතීරණ පිළිබද අයිතිය ප්‍රදානය කිරීමට ඇති බෝල්ෂෙවික් ප්‍රතිපත්තියට ඇය එරෙහිවිය. එය එහි ධනපති පන්තියට කරන අනුග්‍රහයක් ලෙස ඇය සලකු අතර ජාතික සිමාවන් නොසලකා කරන ජත්‍යන්තරවාදයක් ගැන ඇය විශ්වාස කාලය. මේ ගැන විවේචනය කරමින් ලෙනින් පෙන්වාදුන්නේ ‘අපේ දේශපාලන උද්ඝෝෂනයන්හිදී අප වෙන්වීමේ අයිතිය පිලිබඳ සටන් පාඨය ඉදිරිපත් කිරීමට සහ උපදෙස්දීමට අසමත්වන්නේ නම් අප ධනපති පන්තියේ පමණක්නොව පිඩක ජාතියේ ඉඩම්හිමි වැඩවසම් ඉඩම් හිමියන්ගේ සහ අත්තනොමතිකත්වයේ සහ අධිපතිවාදයේ උවමනා එපාකම් ඉටු කරනු ලබයි.බොහෝ කලකට පෙර කෞට්ස්කි මේ තර්කය රෝසාට විරුධව පාවිචිචි කල අතර මේ තර්කය අවිවාදාත්මකය. පෝලන්තයේ ජාතික ධනපතිපන්තියට ‘ආධාර’ රෝසා ලක්සේම්බර්ග් ට ඇති උකටලිය නිසා රුසියානු මාක්ස්වාදීන්ගේ වෙන්වියමේ අයිතිය පිලිබඳ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කිරීම සත්තකින්ම මහා රුසියානු ධනපති පන්තියට උදව් කරයි. ඇය ඇත්තවශයෙන්ම මහ රුසියනුන්ගේ වරප්‍රධයන් පිළිබද අවස්ථාවාදී ඉවසා දරා සිටිමට (මෙය වරප්‍රසාධ වලටත් වඩා නරකය) උදව් කරයි…. ලෙනින් තව දුරටත් මෙසේ කියයි. ඕනෑම පිඩිත ජාතියකගේ ධනේශ්වර ජාතිකවාදයේ පිඩාවට එරෙහිව යොමු වූ පොදු ප්‍රරජාතන්ත්‍රවාදී අඩංගු වක් ඇති අතර අප කොන්දේසි විරහිතව සහයෝගය දෙන්නේ මේ අඩංගුවටයි. ඒ අතරම අපි දැඩිලෙස ජාතික සුවිශේෂතාවය පිලිබඳ ප්‍රවණතාවයට වෙනකොට හඳුනා ගන්නෙමු. පෝලන්ත ධනපති පන්තිය යුදෙව් ජාතිකයන් පිඩාවට පත් කිරීමේ ප්‍රවණතාවට අපි විරුද්ධ වෙමු. ජාතික ප්‍රශ්නය අරභයා රෝසා ගේ ස්ථාවරය දැඩි ලෙස විවේචනයට ලක් විය. ඇයගේ ප්‍රතිපත්තිය ස්වයං නිර්ණය උදෙසා ආසියා අප්‍රිකානු ජනතාවගේ අරගලවලට ආධාරයක් නොවිය. රෝසගේ පැවැත්ම මේ රටවල ප්‍රසිද්ධියට පත් නොවූ හේතුව මෙය විය හැකිය. රෝසාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩ නැගීමට වෙර දැරූ හැනා අරන්ට් පවා පෝලන්තයේ ජාතික ප්‍රශනය සම්බන්ධයෙන් ගත් ස්ථාවරය දැඩි විවේචනයට ලක් විය.
මුලික නිදහස සහ රුසියානු විප්ලවය
මුලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඔක්තෝබර් විප්ලවයෙන් පසුව අහෝසි වීම ගැන රෝසා ලක්සේම්බර්ග් ගෙන් ලෙනින්ට සහ බෝල්ෂෙවික් වරුන්ට එරෙහිව දැඩි විවේචනයන් ඉදිරි පත් කලාය. මේවා කම්කරු පන්තිය විසින් දිනාගත් අයිතිවාසිකම් බවත්, ඒවා අහෝසි කිරීම ජනතාවගේ නිදහස බුක්ති විඳීම කෙරෙහි දැඩි ලෙස බලපාන බවත් රෝසා විසින් පෙන්වා දුනි. ඇය පෙන්වා දුන් පරිදි නිදහස ආණ්ඩුවේ ආධාර කරුවන්ට පමණි. අනික් අය ප්‍රමාණයෙන් කොතෙක් වුවත් කිසිම නිදහසක් නැත. නිදහස යනු සුවිශේෂ වූ නිදහසක් වන්නේ වෙනස් ආකාරයන්ට සිතන්නන්ටය යයි ඇය තර්ක කලාය. මෙය යුක්තිය පිළබඳ කුමන හෝ උන්නතිකාමී වූ සංකල්පයක් නිසා නොව දේශපාලන නිදහසෙහි අංග සම්පුර්ණ පවිත්‍රකරණය රඳා පවතින්නේ මේ මුලික ලක්ෂණයේ වන අතර ම නිදහස සුවිශේෂවූ වරප්‍රසාදයක් වන විට එහි සපලදායකත්වය නැතිව යන බව රෝසා තව දුරටත් පෙන්වා දුන්නාය (Russian Revolution, 1918).
ඇය මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක් වූ අතර මෙය උපුටා දැක්වීම මෙහිදී ඵලදායක බව මම කලපන් කරමි. ‘ආඥාවන් ෆැක්ටරි ඕවර්සියවරුන්ගේ ආඥාදායක බලය, අමානුෂික දඩ, ත්‍රස්තවාදී ක්‍රම මගින් පාලනය කිරීම මේ සියල්ල සහනකයන් නොවේ. මහජන ජීවිතය පිලිබඳ පාසැල නැවත උත්පාදනය කිරීමේ එකම මග ඉතාමත් අසීමිත පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන මතය වෙයි. ත්‍රස්තය මගින් කරන පාලනයක් ආත්මවිශ්වාසය නැති බංග කරන බව රෝසා යලි යලිත් කියා සිටි. මහා මැතිවරණ නොමැතිව පුවත් පත් සහ රැස්වීමේ නිදහස නොමැතිව නිලධාරිවාදය, මතයන්ගේ නිදහස් අරගලයක් නොමැතිව සෑම මහජන ආයතනයකම ජීවිතය මරණයට පත් වෙයි. ජීවිතය හුදු ආකාරයක් පමණක් බවට පත්වෙයි. මහජන ජීවිතය ක්‍රමානුකුලව නින්දට වැටෙයි. පක්ෂයේ ශක්ති සම්පන්න නායකයන් දුසිම් ගණනක් විසින් සහ අසීමිත අත් දැකීම් ඇත්තන් විසින් පාලනයට මග පෙන්වයි. රෝසා ගේ මේ පැහැදිලි කිරීම් වල දීඝකාලින ප්‍රතිපලය මෙන්ම සෝවියට් සංගමයේ කඩා වැටීම කෙරෙහි එය ජනතාවට කොතරම් දුරට බලපාන්නට ඇත්දැයි අප සිතා බැලිය යුතුය.
මධ්‍යගතවාදයට එරෙහිවීම
රෝසා බෝල්ෂෙවික් පක්ෂයේ මධ්‍යගත භාවය කෙරෙහි දැක්වුයේ දැඩි විවේචනාත්මක ආකල්පයකි. මෙය විටෙක ජැකොබින්වාදයේ ආකෘතියක අනතුරක් ලෙසද තවත් විටෙක බ්ලැන්න්කුවාදී කුමන්ත්‍රනයක පිලිපැනීමක් වීමේ අනතුර ඇය විටින් විට ලෙනින්ට විරුද්ධ චෝදනාවක් ලෙස ඉදිරි පත් කලාය.ඇත්තටම ඇය විසින් මෙය යම්කිසි දිනක සර්වාධිකාරයක් දක්වා වවර්ධනය විය. හැකි බවට අනතුරු හැඟ වුයේ නැති වුවද සෝවියට් සංගමය බිඳ වැටීම කෙරෙහි ඓතිහාසික පරීක්ෂාවකදී ඇයගේ පල කල බිය සාධාරණය. මධ්‍යම කාරක සභාව පහල සාමාජිකයන් මෙන්ම ප්‍රාදේශීය පක්ෂ ශාඛා සමිති පිලිබදව හිමි කරගෙන සිටි ආඥා දායක ස්වරුපයේ බල පෑම රෝසගේ විවේචනයට ලක් විය. මෙයට පිලියමක් වශයෙන් රෝසා ඉදිරිපත් කල මුලෝපය වුයේ ‘සමස්ත වැඩවර්ජනය’ යි. විෂයමුලික තත්වයන්ගේ පහල වීම නිසා කම්කරු පන්තිය විප්ලවය නිරායාසයෙන් (spontaneous ) ඉදිරියට ගෙන යනු ඇති බව රෝසා ප්‍රකාශ කලේ 1905 රුසියානු විප්ලවය අධ්‍යනය කිරීමත් සමගිනි. ලෙනින්ට ප්‍රථිවිරුදධව ඇය ඉදිරිපත කල මුලෝපාය දැඩි පක්ෂ ව්‍යුහයක් පිලිබදව රෝසා අඩු අවධාරණයක් දෙමින් අරගලය තුලින් නායකත්වය බිහිවෙනු ඇති බව ප්‍රකාශ කලේය.

අවසානය
රෝසා ලක්සේම්බර්ග් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට වටිනා සම්පතකි.ඇය සමාජවාදී ව්‍යාපාරයේ වීරවරියකට වඩා එහා ගිය චරිතයකි. ලෙනින්ගේ පහත සඳහන් ප්‍රකාශයත් සමග මේ සටහන් අවසන් කිරීමෙන් ඇයට සාධාරණත්වය හිමි වෙතැයි මම විශ්වාස කරමි. ලෙනින් ඇගේ වැරදි මේ සටහනත් සමග ලැයිස්තු ගත කොට තිබුනද, සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව එම වැරදි එසේම සඳහන් කරනු ඇතිදයි යමෙකු සිතන්නේ නම් නම් එය සාධාරණයයි විශ්වාස කරමි. ලෙනින් මෙසේ කියයි ‘සමහර විට රාජාලිය කිකිලියට වඩා පහතින් පියාසර කල හැකිය.නමුත් කිකිලියට කිසිදිනක රාජාලියන් ට වඩා ඉහලින් පියාසර කල නොහැකිය. ඇයගේ වැරදි තිබියදීත් අපට ඇය රාජාලියෙකි. ලෝකය පුරාම වැඩ කරන ජනතාව ඇගේ මතකය පෝෂණය කරනු ඇතිවා පමණක් නොව ඇයගේ ජිවිත කතාව සහ කෘතීන් ලෝකය පුරා කොමියුනිස්ට් වරුන්ගේ බොහෝ පරම්පරාවන් පුහුණු කිරීමට ප්‍රයෝජනවත් අත්පොත් වශයෙන් සේවය කරනු ඇත .

More From Author

ඔයා මට කැමති උනේ ඇයි ?

පුර්නිමාගෙ කේන්තිය,

Leave a Reply

Categories

LDM Columns