ඉස්සර පූර්ණිමා කියන චරිතයට ටිකක් තදට කේන්ති යනවා. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ කියන තරමට නොවෙයි. හැබැයි, කේන්ති ගියොත් හිතේ තියාන පැහැවන්නෙත් නෑ. ඒ මොහොතේම කියලා දානවා. පූර්ණිමාට තරහා ගියාම මුහුණෙන් මනාව ප්‍රකට වෙනවා ඇගේ හිතේ වෙනස. ඒ නිසා මවාගත් ප්‍රතිරූප නඩත්තු කිරීමක් ඇගේ කොහෙත්ම නෑ. ඒ නිසා ම තරහා ගත්තට ඈ අශෝභන ලෙස හැසිරුනෙත් නෑ.
කාලයත් එක්ක අත්දැකීම් වලින් පොහොසත් වෙද්දී, කවුරු වුනත් සිදුවීම් එක්ක ගැටෙන එකත් අඩුවෙලා යනවා. විවෘත මනසකින් දේවල් දිහා බලන්න පුලුවන් වීමත්, ජීවිතය පහසු කරනවා. ගැටුම් අවම කරනවා. සිද්ධි වලට ප්‍රතිචාර දක්වන ක්‍රමවේදය පවා වෙනස් වෙනවා. ධනාත්මකව හිතන්න පුරුදු වුනාම, අමාරුම අවස්ථාවන් පවා පහසුවෙන් ගොඩදාගන්න පුලුවන් බව අත්දැකීමෙන්ම දැනෙනවා.
කේලම් ඇසීම අවම කර ගන්න ඕන. එහෙම එකක් ඇහුවම ඒ ගැන හිතෙන්ම එන හැඟීම් ලියලා තියලා පස්සේ බැලුවාම පුර්ණිට හිනාවක් එනවා මූණට.
පූර්ණිමා කියන්නේ ලස්සන පිරිසිදු දැක්කම සිත් ඇදගන්නා සුලු පෙනුමක් තියෙන කාන්තාවක්. ලස්සනට අඳින, පළඳින, මූණ පාට කරන, කොණ්ඩය පාට කරන, විලාසිතාවලට අතිශය ප්‍රිය කරන ලස්සන කාන්තාවක්.
කොයිදේත් වැරදි දකින මිනිස්සුන් පිරි ලෝකයක, පූර්ණි වගේ අයටත් ඉතින් කතා කියනවා මිනිස්සු.
ඔහොම කතාවක් ඇහුව දවසක පූර්ණි ලිව්වා හිතට එන වචන ටිකක්.
ඒ මෙහෙම ;
“වයසට යද්දී මතුවෙන එක දෙක සුදු කෙස් මුහුණට අවලස්සනක් වෙනකොට පාට කරලා හදා ගත්ත කොණ්ඩයට මං ආසයි.
වයසට යද්දී අවපැහැ වෙන සම, ඉරිතලන සම, වියැලෙන සමට, මතුපිටින් ඇතුලතින් අවශ්‍ය සත්කාර කරලා තරුණ පෙනුම රැක ගන්න මං ආසයි. සම මත ලස්සන පාට තවරා මලක් වගේ පිපෙන්න මං ආසයි. නිරන්තරයෙන් ජරාවට පත්වෙන, කිළිටි වෙන ශරීරය, සුවඳැති සේදුම් කාරක යොදා, සෝදා පිරිසිදු කර, සුවඳ ආලේප කරන්න මං හරි ආසයි. ලස්සන ලස්සන පාට, විවිධ විලාසිතා සහිත ඇඳුම් පැළඳුම් කරන්න මං හරි ආසයි.
මේ ඔක්කොටම යටින් තියෙන හිත, නිතර කිළිටි වෙන හිත, කිලිටි වෙන බව දැක්ක මොහොතේම පිරිසිදු කර ගන්න මං හරි ආසයි. පිටතින් ඇතුලතින් සෝදා පිරිසිදු කර, ලස්සන ලස්සන පාට තැවරූ මේ ආත්මය, සිනාවෙන් සරසන්න මං ආසයි. පාට කරපු මේ ගැහැණු රූපයට සහ හිතට මං හරි ආදරෙයි. ලිව්වේ ඔච්චරයි. ඊට එකඟ අයගේ හොඳම ප්‍රතිචාර දවස් ගානක්ම හම්බුනා. මගතොට හමුවෙන හිතමිතුරු බොහොම දෙනා ඒකහරි, එහෙම තමා ඉන්න ඕන, කියන්න තරම් අවංක වුණා. මූණ කොණ්ඩය පාට නොකරන නමුත්, හිතේ තියෙන ලස්සන පාට නිසාම, සර්වාංගය මෙන්ම වටාපිටාව පවා වර්ණවත් කරන අයත් හමුවෙලා කතා කලේ මේ ගැන.
පහුවදා කන්තෝරුවට එද්දී මුණ ගැහුණ අක්කා කෙනෙක් පූර්ණි පෙරදවසේ ලියූ ලියමන ගැන මතක් කරලා ඇයත් ආසම එහෙම ඉන්න කියලා කිව්වා. ඒක ඇහුවමත් පූර්ණිට හරි සතුටුයි. බාහිර වර්ණ සහ අභ්‍යන්තර වර්ණ සංකලනය ගැන විචාරයට වඩා තම ආත්මයේ වර්ණ ගැලපීම වඩා වටිනවා කියලා පූර්ණිට ආපහු ලියන්න හිතුනා.
අන්තිමේදී ද්වේෂ සහගත සිදුවීම් එක්ක එල්ලි එල්ලී දවස නාස්ති කරගත්තේ නැති එක කොච්චර වටිනවද කියලා පූර්ණිට හිතුනා. තව මනුස්සයෙකුට දැක්කම කැතට පේනවා වඩා ලෝකය වර්ණවත් කරන පාට පාවිච්චි කරලා ලස්සනට ඉන්න එක කොච්චර අගේද? ලෝකය කොච්චර සුවඳවත්ද? පිපුන මල් වල සුවඳ, ඉදුන පලතුරු සුවඳ, ගස් වලින් හමන සුවඳ.. පොලවෙන් හමන සුවඳ, ලෝකය සුවඳවත් කරනවා. ඒ සුවඳ පොදක් ශරීරයේ තවරාගෙන සුවඳට ඉන්න එක කොච්චර සැපදායක ද?
කොහොම වුනත් ලස්සන කියන එක පුද්ගලානුබද්ධ සිතිවිල්ලක්.
ඇත්තටම ලස්සන සාපේක්ෂයි……
කෙනාගෙන් කෙනාට……..
වර්ණ ගැලපීමත් එසේමයි………
දර්ශනි අබේසිංහ