අරාගේ හබක්කොලම
මා උපන් දා සිට දිවි ගෙවන්නේ අනුරාධපුරයේ වුවත් සාහිත්‍ය කලාවල යෙදෙන සමකාලීන “අනුරාධපුර” කලාකාර මිතුරන් (භෞතිකව මුණගැසෙන) මට නැති තරම්ය. “මොකක්හරි හේතුවක් හින්දා” මට මේ “පුරේ” සාහිත්‍ය කලාවල යෙදෙන මිනිසුන් බොහොමයක් මගහැරී ඇත. සමහරවිට මා අනුරාධපුරයේ කීවාට දෙමටවැව මහ කැලය පැත්තට වෙන්නට ඇති “කැලෑ” ගමක දිවි ගෙවන නිසාද වන්නට පුළුවන. එක්වරම මට අනුරාධපුර කලා කව ගැන ඔළුවට ආවේ මේ පොතක සිද්ධියක් නිසාය.
මොහාන් රාජ් මඩවලගේ ‘නිල් කට්රොල්’ නවකතාව සමග පීටර් ජෙරෙම්,ටිම්රාන් කීර්ති, අජිත් සෙනෙවිරත්න ඇතුළු නඩය රට වටා යන ගමනේදී අනුරාධපුරයේ වැඩේට එන්නැයි පීටර් බ්‍රෝ මටද ආරාධනා කළේය. මේ වන විටත් මොහාන්ගේ පොත ගැන මට විශේෂ උනන්දුවක් ඇති වී නොතිබුණත් නිල් කට්රොල් ගමන ගියේ වෙනත් ගමනක් අතර මැද අර “කොළඹදී පමණක් හමු වෙන” සාහිත්‍ය නඩයෙන් පෙරාගත් සාරයක් බඳු සගයන් කිහිපදෙනෙකු සමග පොඩි සාජ්ජයක ආශාව මෝරා ආ නිසාය.
මොහාන් රාජ්ගේ පොතේ “රාජකාරියෙන්” පසු රෑ සාදයට අනුරාධපුරේ ගැවසෙන කලාකාමී – සාහිත්‍ය ප්‍රිය කිහිපදෙනෙක්ද පැමිණියෝය. අනුරාධපුරේ මිනිසුන්ට ප්‍රදේශයේ වැදගත් නිලධාරි මහත්වරු ලෙස තම තම දෛනික රාජකාරිවලදී හමු වන මේ “මහත්වරු” ගැන මට කිසි නිනව්වක් නොතිබුණත් ඒ අයට අපේ සාහිත්‍ය ලෝකය සමග ඇති අවබෝධය සාද කතා අතරේ එළියට එන විට අනුරාධපුරය ගැන මට තිබුණු වියළි අදහස් තෙත් වෙන ලකුණු පහළ විය. මේ ලියන්නට යන්නේ ඒ අයගේ තනතුරු තානාන්තර පළහිලව් මැද කෙරෙන සාහිත්‍ය කෙරුවාවල් ගැන හෝ එදා පීටර්, මොහාන් රාජ්, අජ්ජා, ටිමා ඇතුළු අපේ මධු සාදයේ සැඟවුණු දේවල් ඉස්මත්තට ගන්නා රචනයක් නොවේ.
එදා සාදය පටන්ගන්නට පෙරම මට ඒ ගමන පුරා හමු වූ වැදගත්ම දෙය හමු විය. එදා ගමන යළි සිහිගන්වන මේ රචනය ලියැවෙන්නේ ඒ නිමිත්තෙනි. අපේ රෑ සාදයට අරවින්ද හබක්කල නම් නීතිඥ මහත්මයෙකුද පැමිණියේය. ඔහු මට ඔහුගේ පොතක්ද තෑගි කළේය. එය බැලූ බැල්මටම අමුතු පොතක් බව මේ රචනය යට එන පොතේ ඡායාරූපයෙනුත් ඔබට පෙනේවි.
අරාගේ හබක්කොලම: ගල් කතන්දර
සාද මිතුරන් අතරේ මේ නීතිඥ මහතා ‘අරාය’. අරා කියන විට මට එක්වරම අප ගැටවර වියට එළඹෙන අවධියේ ගුවන්විදුලියේ එෆ්එම් කාපරයෙක් වූ ‘ඩීජේ අරා’ද සිහි විය. අරවින්ද හබක්කලගේ මේ ගල් කතන්දර රචනා ශෛලියෙහි ඒ ඩී ජේ අරාමය පශ්චාත් නූතන කොලාජ්කාර නිවේදක ශෛලියක්ද තිබේ.
බැලූ බැල්මට මේ පොතෙහි පෙනෙන අමුත්ත පොත පුරාම විවිධ විධිවලින් මතුවෙයි. මෙය කෙටිකතා සංග්‍රහයක්, නවකතාවක්, චරිතාපදානයක් හෝ විවිධ විෂය ශාස්ත්‍රීය කෘතියක් හෝ නොවේ. එහෙත් මෙය ඒ සාහිත්‍යක ලක්ෂණ සියල්ල අඩුවැඩිය කරගත්, රසවත් නවකතාවක එන ප්‍රබන්ධානන්දය මුසු වූ කෘතියකි.
හබක්කොලමේ නිධාන කතාව ඔහු මෙසේ ලියයි :
“මම ලියන්නට පුළුවන් මිනිහෙක් නොවේය. ලියන්නට දන්නා මිනිහෙක් නොවන්නේය. පොත් කියවන්නෙක් නොවන්නේය. නිව්ස් බලන්නෙක් නොවන්නේය. එසේ නම් කෙසේද මා ලියන්නේ? දන්නේ නැත. ජීවිතය අහඹුවක්මය.
පාසල් කාලයේ පන්තියේ හොඳම රචනා ලියන්නා මාය. ඒ ඉතින් මේ ඉස්කෝලේය. ලූලා නැති වලට කණයා පණ්ඩිතයාය. පොලොන්නරුව දිස්ත්‍රිර්ක්කයෙන් රචනා ලියා තැනක්ද ලැබුණා මතකය. ඉන්පසු ලියුම් ලිව්වේ කෙල්ලන්ටය. ඒ දශක ගණනකට පෙරය. නීතිය හැදෑරීමත් සමග ලිවීමේ හැකියාව වල් වැදුණේය. දශක ගණනාවක් ගත වුවද පෙර තිබූ වචන ගැළපීම් අරුමය තවදුරටත් මා තුළ රැඳී පවතින බව මා දැනගත්තේ අහම්බෙන්ය. ඒ 2019 වර්ෂයේ අග භාගයේදීය. 88/89 වකවානුවේ මා මුහුණ දුන් කටුක අත්දැකීමක් වචන බවට පත්කර මාගේ අතිජාත මිතුරු ජගත් වික්‍රමනායකයන්ට වට්ස් ඇප් ඔස්සේ යැව්වේය. එය අපූරු ලියවිල්ලක් බව ඔහු කීවේය. ලියමන මූණු පොතේ මාගේ බිත්තියේ ඇලෙව්වේය. ලැබුණු පැසසුම්වලින් මා ෆෝම් වුණේය. ඒ අපේ හැටිය. පෝස්ටු තුන හතරකින් පසු අරාගේ හබක්කොලම බිහි වුණේය.” (13-14 පිටු)
මේ ෆේස්බුක් කොලම පසුව කතෘ ප්‍රකාශනයක් ලෙස පොතක් කොට ඇත. ඒ නිසා ඒ පොත නෛසර්ගිකවම “පොත් කියවීම” විෂයෙහි නැවුම් – අමුතු අත්දැකීමක් සදන පඨිතයකි. මා කියවූයේ ඔබ ඡායාරූපයෙහි දකින ඒ පොතයි. මෙහි පිටු දෙකුතුනක් දිග – කෙටි රචනා සියයක් එයි. ඒවා ඔහුගේ දෛනික ජීවිතය තුළින් උපන් ඒවාය. එදිනෙදා සංසිද්ධි අළලා ලියැවුණු නිර්ප්‍රභූමය රචනා විශේෂයකි. ව්‍යාකරණ රීති ගැන කිසිදු තැකීමක් නැත. ශාසත්‍රීය මිමි නොතකයි. ඒ නිසාම සාමාන්‍යයෙන් අප කියවන බොහෝ ගද්‍ය රචනාවලට “ශාස්ත්‍රීයමය බව” නිසාම අහිමි වන මිනිස් අව්‍යාජත්වයේ සුවඳ, අවිහිංසක බව, නොදැමුණු උත්ප්‍රසය, කටමැත හාස්‍යය ආදිය මෙහි ලුණු ඇඹුල් ඇතිවම පදම් වී ඇත. අප කියවන නවකතා බොහොමයක මුල් පිටුවක හමු වන සුපුරුදු වැකියක් මේ කෘතියේ එන්නේ මෙලෙසිනි;
“මෙහි එන කිසිදු චරිතයක් හෝ සිද්ධියක් මනඃකල්පිත නොවේ.”
අරවින්ද හබක්කල පොළොන්නරුවේ ග්‍රාමීය – දිළිඳු පරිසරයක අවප්‍රසාදිතයෙකු ලෙස 71 කැරැල්ලෙන් බැට කෑ තරුණයෙකුට දාව ඉපිද, නන්නත්තාර ජීවන ගමනක යෙදෙමින් 88/89 කාලයේ කල වයසට එළඹි, නිදහස් අධ්‍යාපනයෙන් හොඳට ඉගෙන ගෙන අද වන විට අනුරාධපුරයේ ගුවන් තොටුපළ පාර පෙදෙසෙහි වෙසෙන මධ්‍යමපාංතික මිනිසෙකි. ඔහුගේ අතීත දුක්ඛිත කතාවේත් වර්තමාන සැප පහසු ජීවන කලාපයේත් සංසිද්ධි ඇසුරින් ලියවෙන මේ රචනා අපේ සාමූහික ජීවිතයේ හරස්කඩක් බඳුය. 71 සහ 88/89 යුග නිමේෂ ගැන උනන්දු අයට යළි සිතා බැලීම පිණිස කමටහන් සපයන “බර” ලිපි මෙහි හමුවෙයි. හබක්කල අපේ ජීවිත හබකෙහි පැටලෙන හැමදේම ගැන ලියයි. කෑම බීම, ගෙදර දොර, පවුල් පන්සල්, රස්සාව, අධ්‍යාපනය, දේශපාලනය, ලිංගිකත්වය, විනෝදය, මතද්‍රව්‍යය ඇතුළු අපේ ජීවිතයේ මුණගැසෙන, අපේ ජීවිත පසුතලයෙහි ඇති බොහෝ දේ හබක්කලගේ ලියැවිලිවල පැටලෙයි. ඒ නිසා මෙහි ලියැවෙන්නේ තෝරාගත් කලාපයක් ගැන නොව අපේ සමකාලීන ජීවිතයම යැයි කියන්නට පුළුවන.
අපේ සමකාලීන ජීවිතයම අකුරු කෙරෙන මේ පොතේ කිසියම් ලේඛකයෙකු විසින් මෙහෙයවෙන අධිපති දෘෂ්ටිවාදයක් හෝ දෘෂිටිවාද ගොන්නක් ඉස්මතු නෙකෙරෙයි. (අප තුළම) අපේ ජීවිතවල විවිධ සන්දර්භවල ඉස්මත්තට එන විවිධ පරස්පරතා හබක්කලගේ අව්‍යාජ ලේඛනයෙන් පෙනේ.
මේ කෘතිය ගැන, කෘතියෙහි එන රචනා ගැන නිදර්ශන මෙහි විස්තර කරමින් නොලියන්නේ මගේ සටහන අනවශ්‍යය තරම් දික්ගැස්සෙනු වැළැක්විය යුතු නිසාය. මේ පොත කියවන්නට කරන ආරාධනයක් ලෙස පොත ගැන මගේ නිරීක්ෂණ ඇසුරින් නිගමනාත්මක අදහසක් දෙකක් පමණි ලියන්නට සිදු වන්නේ. මෙය සීමාන්තික එළඹුමක් බව දැන දැනම වුවත් මේ අවකාශයේ සැරිසරන්නට වන්නේ ඒ වවුල් තාලෙට නොවේද?
මේ කෘතියෙහි මා දුටු වැදගත්ම ලක්ෂණය නම් අපේම ජීවිත අප ලවාම ‘සොක්‍රටික පරීක්ෂාවකට’ ලක්කිරීමයි. (සොක්‍රටික පරීක්ෂාව නම් විධික්‍රමය පිළිබඳ සොයා බලන්නට අවශ්‍ය නම් ගූගල්හි ඕනෑ තරම් තොරතුරු ඇත. මහාචාර්ය ලියනගේ අමරකීර්ති පරිවර්තනය කළ ‘කලාව කුමකටද?’ කෘතියෙහි එන “සොක්‍රටික ශික්ෂණ ශාස්ත්‍රය: තර්ක කිරීමේ වැදගත්කම” නමින් එන රචනය කියවන්නේ නම් ඉතා වැදගත්ය.) තර්ක කිරීමේ සොක්‍රටික විධික්‍රමය දැන් ශාස්ත්‍රීය අධ්‍යයනවලද සිදුකෙරෙන මුත් හබක්කලගේ කෘතියෙහි පැනෙන සොක්‍රටික පරීක්ෂාව එවැනි ශාස්ත්‍රීය ප්‍රවේශයකින් කෙරෙන්නක් නොවේ. ඔහු දෛනික ජීවිතයේ සංසිද්ධි ලියන්නේ ආත්මගත සොක්‍රටික පරීක්ෂාවකිනි. සම්මත – හොඳ – නිවැරදි – රැල්ලේ යන – යහපත – විනයගරුක – ශික්ෂිත ‘අධිපති අදහස්’ ඔහු ව්‍යවච්ඡේදනය කරන්නේ උත්ප්‍රාසජනක ලෙසිනි. ඉතිං මට මේවා කියවන විට සොක්‍රටික විධික්‍රමය මතක් වෙයි.
අපේ ජීවිතවලට පොදු – මිනිස් ඛේදය උත්ප්‍රසජනකලෙසත්, ඩී ජේ අරාමය සැහැල්ලුවකිනුත්, විටෙක හාස්‍යමුසුවත් ඉදිරිපත් කෙරෙන අතර තව තැනෙක අපේ ඛේදජනක ඉරණම ඔහු අතින් ලියැවෙන්නේ ඛේදනීය ස්වරයෙන්මය. ඉතිහාසයේ බර වර්තමාන ලිබරල් ජීවිතය තුළ හෑල්ලු වී යන අයුරු කියැවෙන මෙවැනි කෘතියක් අපේ පරම්පරාවට මගහැරීම අපේ ජීවිත ඛේදය තව තවත් සුරක්ෂා කරයි. මේ කෘතියේ සමහර ලියැවිලිවල අතීත කාමය ගලයි. ඒ රචනය තුළම ඒ අතීතකාමයම සුණුවිසුණු කරන සොක්‍රටිකමය අදහස් පැනනගියි. මෙය අමුතු පොතක් වන්නට එයත් හේතුවකි. ඉතිං මේ ‘අරාගේ හබක්කොලම’ ගැන මගේ අදහස් මෙසේ නිදහසේ ලියන්නට ගියහොත් මේ රචනය තව පැය ගණනක් දිගෑදෙනු සිකුරුයි. ඒ නිසා මා දැන් ෆෙස්බුක් නීතිය අතට ගෙන මේ සටහන නිමා කරමි. මේ පොත වෙනුවෙන්ම අනුරාධපුරයේ සහිත්‍යකලංකාර මිතුරන්ට හමුවිය හැකි නම් එය කෙතරම් සුමිහිරි හමුවක් වෙනු ඇද්දැයි මට සිතේ. අපේ සංස්කෘතික ජීවිතය පෝෂණය කරන එවැනි සංවාද ගැන මේ ‘පුරේ’ මගේ බලාපොරොත්තු හබක්කලගේ කෘතිය මැද දැල්වෙන්නට පටන්ගෙන ඇත.
සුදර්ශන සමරවීර