නිසි තැන ද සම තැනද

ගැහැණුන්ට අවශ්‍ය නිසි තැන යැයි ගැහැණු ද පිරිමි ද කියනු මා ඇත. මේ නිසි තැනන යනු කුමක්ද ? එය නිසි තැන යැයි තීරණය කරන්නේ කව්ද? නිසි තැන යන්නෙන්ම කියවෙන්නේ ගැහැණියට ඇති සීමාවන් නොවේද? එසේ සීමාවන් ඇතැයි සිතන පිරිමින් පමණක් නොව ගැහැණුන්ද සම්බාධක තමා විසින්ම පමුණුවා ගෙන ඇත. නිසි තැන යන්නට ඇති අර්ථකථන මොනවාද? එසේ අර්ථකථකයක් නැත. එය සැමියාට අනුව, පියාට අනුව වෙනස් වනන දෙයකි. සමාජයට අනුව වෙනස් වන දෙයකි.

මේ නිසි තැන යනු කුමක්ද? ඇඳුම පැළඳුම ගැනද? තමා ඇඳිය යුත්තේ අන් අයට අවශ්‍ය ආකාරයටද? රැකියාව ගැනද? ගැහැණිය රැකියා තෝරා ගත යුත්තේ අන් අයට අවශ්‍ය ඒවා ද? ජීවත් විය යුතු විදිහ ගැනද? ගැහැණිය ජීවත් වෙන විදිහ තීරණය කරන්නේ සමාජය ද? ගෙදර දොර වැඩ ගැන ද? උයන පිහන වැඩ කළ යුත්තේ ගැහැණිය පමණ ද? මේ නිසි තැන තීරණය කර දෙන්නේ කව්ද? බොහෝ විට පිරිමියා හෝ පුරුෂ මූලික ආකල්ප පද්ධතියයි.
සම තැන ඉල්ලීම වරදක් බවට මතයක් පනවා ඇත. එය නොහොඹිනා ඉල්ලීමක් බඳුය. සම තැන ඉල්ලීම කෙසේවත් උචිත නැත. මේ ආකල්පය හදන්නේ කව්ද? පුරුෂ මූලික ආකල්ප පද්ධතියයි. අප රටවල පවතින පසුගාමී චින්තනයයි. ගැහැණුන් ස්ව කැමැත්තෙන් පහළට වැටීමට සාදා ඇති ආසාවයි.

මනුෂ්‍යයින් වශයෙන් ඉපදෙන සියල්ලෝ සමානය. ගැහැණු පිරිමි යනු ලිංගික වශයෙන් ජීව විද්‍යාත්මක විභේදනයක් පමණි. ඒ හා බැඳුණු අනෙක් සියල්ල මිථ්‍යාවන්ය. සංස්කෘතික රාමුන්ය.
ගැහැනියට අවශ්‍ය කරන්නේ නිසි තැන නොව සම තැනය.

මනුෂ්‍යයින් වශයෙන් සමාන අයිතිවාසිකම්ය. සමාන වැටුප්, සමාන රැකියා අවස්ථා, සමාන අධ්‍යාපනන අවස්ථා සමාන මානව හිමිකම්ය. ඔවුන් සමාජයේ සමාන මනුෂ්‍ය ජීවීන් ලෙස පැවැත්ම තහවුරු කරන කොන් නොකරන, පහත් නොකරන, පීඩනයට පත් නොකරන සමාජ ආකල්පයන්ය. තීරණ ගැනීමේ සමාන අවස්ථාය. නායකත්වයේ සමාන අවස්ථාය.
හිංසනයෙන් තොරව ජීවත් විය හැකි වටපිටාවකි. ගෘහස්ථ හිංසනය නැති නිවෙස්ය. වැඩ බෙදා ගන්නා පරිසරයන්ය. ගරුත්වයෙන් ජීවත් විය හැකි වටපිටාවය. මේ සඳහා ගැහැණියට අවශ්‍ය සම තැන මිස අනෙකා තීරණය කරන නිසි තැන නොවේ.

සම තැන යන්ට අර්ථකථනයක් ඇත. එසේ ඉල්ලීම පාපායක් යැයි සිතන්නේ ස්ව කැමැත්තෙන්ම ස්ත්‍රිය සමාජයේ දෙවනි තැන බාරගෙනන ඇති නිසාය. මෙම ආකල්ප දැන් වෙනනස් විය යුතු කාලය පැමිණ තිබේ.

ගැහැණියට අවශ්‍ය සියලු තැන්හි සමාන අවස්ථා සහ සමාන ඉඩ ප්‍රස්ථාය. මනුෂ්‍යත්වයේ අගය ගැහැණියට හිමි වන්නේ සමාන අවස්ථා ලැබීමෙන් පමණි. නිසි තැන යන්නම ගැහැණිය පහත් කරන තවත් එක් මෙවලමක් පමණි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

More From Author

පච්චා වලින් හැඩවුණු වෛද්‍යවරිය

බුකර් තෑග්ග දිනූ ඩේවිඩ් සැලේගේ Flesh’ නවකතාව

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348