බුකර් තෑග්ග දිනූ ඩේවිඩ් සැලේගේ Flesh’ නවකතාව

කැනේඩියානු-හංගේරියානු-බ්‍රිතාන්‍ය ලේඛකයකු වන ඩේවිඩ් සැලේ මෙවර ‘ප්‍රබන්ධ සඳහා වන බුකර් ත්‍යාගය’ දිනා ගත්තේ ය. ඒ, දශක ගණනාවක් පුරා දිවෙන සාමාන්‍ය මිනිසකුගේ ජීවිත කතාව ඇතුළත් ඔහුගේ ‘Flesh’ (ෆ්ලෙෂ්) නවකතාව වෙනුවෙනි. ජයග්‍රාහී මෙම නවකතවේ විශේෂත්වය වෙන්නේ මෙහි ආඛානය මගින් පවසන දේට වඩා ඊට යටින් හුයක් මෙන් දිවෙන නොකියවෙන දේ ද ඒ හා සමානව ම වැදගත් වන හෙයිනි.

මේ වනවිට 51ක් හැවිරිදි වියේ පසුවන ඩේවිඩ් සැලේ මෙම කීර්තිමත් සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ, ඇමෙරිකානු ලේඛිකාවන් වන සුසන් චෝයි හා කැතී කිතමුරා, බ්‍රිතාන්‍ය ලේඛක ඇන්ඩෲ මිලර්, කැනේඩියානු ලේඛක බෙන්ජමින් මාර්කොවිට්ස් සහ ඉන්දීය ලේඛිකා කිරන් දේසායි යන අවසන් තරගකරුවන් පස් දෙනා පරාජයට පත් කරමිනි.

මෙවර බුකර් ත්‍යාගය සඳහා නවකතා 153ක් ඉදිරිපත්ව තිබූ අතර, ඒ අතරින් නවකතා 13ක් පළමු වටය සඳහා දිගු ලැයිස්තු ගත වී ය. ඉන් ඩේවිඩ් සැලේගේ ‘Flesh’(ෆ්ලෙෂ්), සුසන් චෝයිගේ ‘Flashlight’(ෆ්ලෑෂ්ලයිට්), කැතී කිතමුරාගේ ‘Audition’(ඔඩිෂන්), ඇන්ඩෲ මිලර්ගේ ‘The Land in Winter’(ද ලෑන්ඩ් ඉන් වින්ටර්), බෙන්ජමින් මාර්කොවිට්ස්ගේ ‘The Rest of Our Lives’(ද රෙස්ට් ඔෆ් ලයිව්ස්), සහ කිරන් දේසායිගේ ‘The Loneliness of Sonia and Sunny’(ද ලෝන්ලිනස් ඔෆ් සෝනියා ඇන්ඩ් සනී) යන නවකතා හය 2025 සැප්තැම්බර් 23 වන දා, ලන්ඩනයේ සවුත්බෑන්ක් සෙන්ටර් හි පිහිටි රෝයල් ෆෙස්ටිවල් හෝල් හි දී පැවැති ප්‍රසිද්ධ උත්සවයක දී අවසන් වටය සඳහා තෝරා ගනු ලැබී ය.

ඒ, පස් දෙනකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. බුකර් ත්‍යාග විනිසුරු කමිටු 1993 බුකර් ත්‍යාගය දිනාගත් රොඩී ඩොයිල් සභාපතිත්වය දැරූ එහි මීට පෙර බුකර් ත්‍යාගය සඳහා දිගු ලැයිස්තුගත වූ ලේඛකයකු සහ ලේඛිකාවක වන අයීබාමි අඩෙබයි හා කිලී රීඩ්, සම්මානනීය නිළියක, නිෂ්පාදකවරියක සහ ප්‍රකාශිකාවක වන සාරා ජෙසිකා පාකර් සහ ලේඛකයකු හා සාහිත්‍ය විචාරකයකු වන ක්‍රිස් පවර් සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කළ හ.

අවසන් වටය සඳහා තේරී පත් වූ කතුවරුන් හය දෙනාට ස්ටර්ලින් පවුම් 2,500 බැගින් හිමිවූ අතර, ජයග්‍රාහී නවකතාව වෙනුවෙන් ඩේවිඩ් සැලේට ස්ටර්ලින් පවුම් 50,000ක් හෙවත්, ඇ.ඩො. 60,000ක මුදල් ත්‍යාගයක් සහ බුකර් සම්මානය හිමි වී ය.
‘ජීවත්වීම සහ ජීවත්වීමේ අපූර්වත්වය’ පිළිබඳ ලියැවුන පොතක් වන ‘Flesh’ ජයග්‍රාහී නවකතාව ලෙස තෝරා ගත්තේ, පැය පහක සාකච්ඡාවකින් පසු එළඹි විනිසුරුවන්ගේ ඒකමතික තේරීමකින් බව රොඩී ඩොයිල් සභාපතිවරයා පැවසී ය.

ඩේවිඩ් සැලේගේ නවකතාව නිහඬ චරිතයක් වන ඉස්ට්වාන්ගේ ජීවිතය ගැන අපට කියයි. එය වැඩිහිටි කාන්තාවක සමග ඇති වූ නව යොවුන් සම්බන්ධයක සිට, බ්‍රිතාන්‍යයේ අරගල කරන සංක්‍රමණිකයකු ලෙස ගත කරන කාලය හරහා, ලන්ඩන් උසස් සමාජයේ වැසියකු බවට පත්වන තැන දක්වා විහිදේ. සිය නවකතාව අදහස් දක්වන කතුවරයා පවසා ඇත්තේ, තමාට හංගේරියානු සංක්‍රමණිකයකු ගැනත්, ලෝකය තුළ ජීවමාන චරිතයක් වීම යනු කුමක් ද සහ ජීවිතය යනු භෞතික අත්දැකීමක් වෙන්නේ කෙසේ ද යන්න ගැනත් ලිවීමට අවශ්‍ය වූ බව යි.

David Szalay

සභාපති රොඩී ඩොයිල් පැවසුවේ මෙම නවකතාවේ එන ‘ඉස්ට්වාන්’, නම් චරිතය ප්‍රබන්ධවල නොසලකා හරින ලද කණ්ඩායමකට අයත් වන චරිතයක් බව යි: ‘ඉස්ට්වාන්’ යනු වැඩකරන පන්තියේ මිනිසකුගේ චරිතයක් බවත්, මේ පොත කියවූ දා පටන් තමා එවැනි පීඩිත පන්තියේ මිනිසුන් දෙස වඩාත් සමීපව බලන්නට නිතැතින් ම පෙළඹුන බවත් ඔහු පැවසී ය.

කැනඩාවේ උපත ලැබූ, එක්සත් රාජධානියේ හැදී වැඩී, දැනට හංගේරියාවේ වියානා නුවර ජීවත් වන ඩේවිඩ් සැලේ මීට පෙර 2016 දී ‘All That Man Is’ නවකතාව සඳහා බුකර් සම්මාන අවසන් වටය නියෝජනය කළේ ය.

‘Flesh’ නවකතාව බොහෝ විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක් වූ නමුත්, ඉස්ට්වාන්ගේ කතාවේ හිඩැස් – එනම්, ඔහුගේ ජීවිතයේ විශාල කොටස් – පුරවා ලීම කතුවරයා ප්‍රතික්ෂේප කර තිබීම සමහර පාඨකයන් කලකිරීමට පත් කළේ ය. ඉස්ට්වාන් සිරගත වීම සහ ඉරාකයේ ඔහුගේ යුද සේවය ඇතුළු ජීවිතයේ විශාල කොටස් ප්‍රමාණයක් නවකතාවේ පිටුවලට ඇතුළත්ව නොතිබීම ඒ සඳහා හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් සභාපති රෙඩී ඩොයිල් දරන්නේ මෙවන් අදහසකි.

“අපි ලේඛනයේ සරල බවට ප්‍රිය කළා. මේ මිනිසා වැඩෙන ආකාරය, වයසට යන ආකාරය සහ ඔහු ගැන බොහෝ දේ ඉගෙන ගන්නා ආකාරය යන සියල්ල අපට දැනුම් දෙනවාට වඩා ඒවා හෙළිදරව් වන ආකාරයට අපි ප්‍රිය කළා. හිඩැස් පිරවූවා නම්, එය අඩු වටිනාකමක් ඇති පොතක් වීමට ඉඩ තිබුණා”

මේ වසරේ ත්‍යාගය ලැබීමේ සම්භාවිතාව අතින් ඩේවිඩ් සැලේ මුලින් අඩු මට්ටමක සිටිය ද, සඳුදා පැවැති උත්සවයට දින කිහිපයකට පෙර ඔට්ටු අල්ලන්නන්ගේ අනුපාත විශාල ලෙස ඉහළ යමින් තිබිණි.

ඔට්ටු ඇල්ලීමේ වෙලඳපොලවල්වලට අනුව, පෙරමුණේ සිටියේ ‘The Land in Winter’ සඳහා බ්‍රිතාන්‍ය ලේඛක ඇන්ඩෲ මිලර්, ‘The Loneliness of Sonia and Sunny’ සඳහා කිරන් දේසායි ය.

බුකර් ත්‍යාගය 1969 දී ආරම්භ කරන ලද අතර, එහි පෙර ජයග්‍රාහකයන් අතරට සල්මන් රුෂ්ඩි, ඉයන් මැක්ඊවන්, අරුන්දතී රෝයි, මාග්‍රට් ඇට්වුඩ් යන කීර්තිමත් ලේඛක ලේඛිකාවන් මෙන් ම, 2024 වසරේ ‘Orbital’ නවකතාව සඳහා ත්‍යාගය ලබාගත් බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වන සමන්තා හාවි ද ඇතුළත්ව සිටිති..

More From Author

නිසි තැන ද සම තැනද

ආලන්දරිකා: මමත් සෙසු ගැහැනුන් සේ අතීත වනිතාවන්ගේම දිගුවකි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348