දර්ශන මේදිස්:
[ජ්‍යෙශ්ඨ කථිකාචාරිනී සංජීවනී රූපසිංහගේ ආකාශ ගංගාවරෝහණ කෘතිය එලිදැක්වීම නිමිත්තෙන් 2025 ඔක්තෝබර් 13 දා කැලනිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා පීඨයේ දී පවත්වන ලද දේශනයේ සම්පූර්න පිටපත]
තෝමස් කොරියාට් හට නොදෙවෙනි හාස ගමිකයෙක් ඇමරිකාවෙන් බිහි වුනා. මිසිසිපි ගඟේ බෝට්ටු පැදලා, බටහිර ඇමරිකාවේ සහ යුරෝපයේ ඇවිදලා ලබාපු චමත්කාරජනක අත්දැකීම් ඔහු පල කෙරුවා [Roughing It; Old Times on the Mississippi; A Tramp Abroad; Life on the Mississippi]. කවුද ඒ? මාක් ට්වේන්. ඔබ දන්නවා ට්වේන් විශිශ්ට සාහිත්‍යධරයෙක්. කල් ඇවෑමෙන් ඔහු අධිරාජ්‍යවාදයේ, විජිතවාදයේ, වහල් වෙලෙඳාමේ සහ සංස්ථාපිත පල්ලියේ හතුරෙක් බවටත් පත් වුනා.

ආර්ථික වසයෙන් බංකොලොත් වෙලා ඉඳිද්දී, නයතුරුස් ගෙවන මාර්ගයක් හැටියට පිටරටවල දේශන පවත්වන්න ඔහුට අවස්ථාවක් ලැබුනා. සමකය ලුහුබැඳ [Following the Equator: A Journey Around the World, 1897] නමැති මනරම් සැරුම්ලකර මේ මහා මූදු සංචාරයේ අතුරු ඵලයක්. උතුරු බෙංගාලයේ ඩාර්ජිලිං වෙත යන කෞතුක දුම් කෝච්චියක් තියෙනවා. මූදු මට්ටමේ ඉඳලා මීටර් 2300ක්, ඒ කියන්නේ කිලෝමීටර් අනූවක් ඉහලට යන්න පැය හතක් ගත වෙන ලෝකයේ පලමුවෙනි පටු පීලී කඳුකර දුම්රිය මාර්ගය [cogwheel railway] ඒක. අද යුනෙස්කෝ ලෝක උරුමයක්. “මර බිය සහ අචින්ත්‍ය ප්‍රීතිය මුසු පරමානන්දයෙන් යුතුව මා මිහිපිට ගත කල සුන්දර ම දිනය” හැටියට ට්වේන් මේ පුංචි හිමාල රේල්ලුවේ ගමන සටහන් කරනවා. පුරාන කසී රට හෙවත් බරනැස් [වරනාසි] නුවර තමයි හින්දූන්ගේ ලිංග වන්දනාවේ තිඹිරිගේ. මේ නගරයේ කෝවිල් ගනන විසි දහසකට වැඩි යි! ට්වේන් කියනවා:

ඉඩක් පැවතුනි නම් සුලු
තැනී එතැනත් ශිව ලිඟු
වනු ඇති ද? පුර කෙබඳු
දිටී නම් දිවැසින විශ්නු
නමක් දෙනු ඇත මෙබඳු:
පිලිමවිල්ලු, ලිංගම්පත්තු
ගං ඉස්මත්තේ ගල් පඩි මත මිනිස්සු රෙදි අපුල්ලන හැටි බලාගෙන ඉඳලා ට්වේන් අහනවා රෙදිකඩින් ගහලා ගල බිඳින්න ද? හදන්නේ කියලා. මේ පොතේ පිටුවක් පිටුවක් පාසා හාස්‍යය, උත්ප්‍රාසය සහ උපහාසය වෑහෙනවා.
බැරෑරුම් පර්යටකයා සියුම් නිරීක්ශකයෙක් වගේ ම තියුනු සමාජ විවේචකයෙක්. හොඳ ම නිදසුන නොබෙල් ත්‍යාගලාභී වී. එස්. නායිපෝල්. ඔහුට ඉන්දියාව සමඟ ලේ නෑකමකුත් තිබුනා. ඒ හින්දා ඔහුගේ ඉන්දියානු ත්‍රිකය [An Area of Darkness,1964; India: A Wounded Civilization, 1977; India: A Million Mutinies Now,1990] අර්ධ වසයෙන් ස්වයංචරිතාපදාන ස්වභාවයක් උසුලනවා. නායිපෝල් සම්ප්‍රදායික සැරුම්ලකර ඉක්මවා යමින් ඉන්දියාවේ පන්ති විශමතාව, කුලභේදය, වර්ගවාදය, ගාන්ධිවාදය, නිලධාරිවාදය සහ නාගරික පාතාලය විවේචනය කෙරුවා. ඉන්දියාවේ ජාතිකවාදියෝ නොමනාපය පල කෙරුවත් පොදුවේ ඉන්දු උපමහාද්වීපයේ පශ්චාත් යටත් විජිත දේශපාලන පිලිසඳරේ දී මේ පොත් නොසලකා හරින්න බෑ.

ඇමරිකානු ලේඛක ජෝශෆ් කෑම්ප්බෙල් තමුන්ගේ ආසියානු සංචාරය ගැන ලියපු කෘතිය ආරම්භ කරන්නේ “ඉන්දියානුවෝ මහ කයිවාරුකාරයෝ” කියමින් [Sake and Satori: Asian Jourals -Japan, 2002]. කයිවාරුකාරයෝ නැත්තේ මොන රටේ ද? බහුවිධ ඉන්දියානු සමාජය සාමාන්‍යීකරනයට ලක් කිරීම අවදානම්සහගත වැඩක් බව එදිරිවීර සරච්චන්ද්‍ර පැවසුවා [Through the Eyes of Santiniketan, 1942]. ඉතා කාරුනික, ගුනයහපත්, නිරහංකාර මිනිස්සු ඉන්දියාවේ එමට යි. ඔවුන්ගේ ආගන්තුක සත්කාර පිලිබඳව සංජීවනීගේ පොතේ මැනවින් විස්තර කෙරෙනවා. මධ්‍යතන ඉන්දියාවේ අශ්ව තානායම්වල දී, මේ පරිත්‍යාගශීලී බව කොයි තරම් දුරදිග ගියා ද කිව්වොත් ඉන්දියාවට ආපු මුල් ම රුසියානු පර්යටකයා අෆනාසි නිකිතින් සටහන් කරනවා [The Journey Beyond Three Seas, 1466-72]:

බත බෙදා රසැති
යහන් පනවා සියතිනි
ලලනාවන් ගෙහිමි
ගත පවා පුදන රිසියෙනි!
පුදුම වෙන්න දෙයක් නෑ. මධ්‍යතන ලංකාව ගැනත් රොබට් නොක්ස් මේ කතාව ම කිව්වා [An Historical Relation of the Island Ceylon, 1681].
පර්යටන සාහිත්‍යය පාඨකයාගේ කුතුහලය අවුස්සනවා. විජිත යුගයේ පටන් පර්යටන සාහිත්‍යයට හොඳ ඉල්ලුමක් තියෙනවා. ලෝක සංග්‍රාම දෙක අතරතුර පසුබෑමට ලක් වුනත් පශ්චාත් යුදකාලීන සමථය තුල ඒක යලි පිබිදුනා. පෝල් තෙරොක්ස්ගේ මහා දුම්රිය මන්ඩිය [The Great Railway Bazaar: By Train Through Asia, 1975] පිටපත් මිලියන එකහමාරක් විකිනුනා. මොකද්ද මේකේ රහස? පීඩිත පංතිවලට සංචාරය අහිමි කෙරිලා තියෙන තතු යටතේ, ලෝක ජනගහනයෙන් අති බහුතරයට උරුම වෙලා තියෙන්නේ ලිංමැඬි ජීවිතයක්. සැරුම්ලකර රස විඳීමෙන් විතරක් සෑහීමට පත් වෙන්න ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒක හරියට, ක්‍රීඩා කරනවා වෙනුවට ක්‍රීඩාව නැරඹීමෙන් සතුටු වෙනවා වගේ! අනික් අතට, නොයෙක් හේතු නිසා සමහර රටවල්වලට ලේසියෙන් ඇතුලු වෙන්නත් බෑ. මම භූතානයේ ඇවිද්දේ වීසා නැතිව, හැංගි හොරා!
එක ම ගඟට දෙවරක් බහින්න බෑ කියලා ග්‍රීක දාර්ශනික හෙරක්ලීටස් පැවසුවා. එක ම ගඟට එක විට බහින දෙන්නෙක් දකින භූ දර්ශනය පවා එක ම නොවෙන්න පුලුවන්. පර්යටන සාහිත්‍යයේ පෝශනයට සහ විවිධත්වයට හේතු වෙන්නේ මේ ගතික බව. වර්තමානයේ, පර්යටකයන් උඩුගත කරන සංචාරක වීඩියෝ පට සයිබර් අවකාශයේ බහුල යි. බොහෝ රටවල්වල සජීවී දර්ශන අරගෙන එන සමාජ මාධ්‍ය නාලිකා එමට යි. නමුත්, මේකෙන් අදහස් වෙන්නෙ නෑ පර්යටන සාහිත්‍යය අභාවයට යන බවක්. යම්කිසි ස්ථානයක්, සිද්ධියක්, ස්වභාවික ප්‍රපංචයක් නැතිනම් පරිසර පද්ධතියක් ගැන වචනයෙන් චිත්ත රූප මවන එක ඉතා අසීරු කාරියක්. ඒකට කලාත්මක ප්‍රතිභාවක් වුවමනා යි. නිදසුනක් හැටියට, ආකාශ ගංගාවරෝහණ කෘතියේ එන පරිසර වැනුමකට සවන් දෙමු:
“දැන්දැන් රැහැයි හඬ පමණක් නො ව විවිධ කුරුල්ලන්ගේ හඬ ද ඇසේ. ගස් එක පෙළට සුළඟ සමඟ වැනෙන විට නැඟෙන සිහින් නාදයකි. එය ළයාන්විත ය. එහෙත් එය සුළං ඕඝයකි. කළුවර ගලන හඬ මේ යැයි මට හැඟේ. බටහිරින් ඉර බැස යද්දී පෙරදිගින් කළුවර ගලා හැලෙයි. මේ එන්නේ එසේ කළුවර ගලා හැලෙන හඬ යි. ගස් මුදුන් තාලයට පැද්දෙන මේ හඬ ආදරණීය මොහොතක නැඟෙන සුසුම් හඬක් බඳු ය. ගස් අපට කතා කරන්නේ එසේ ය. අසන්නට අප ඉගෙන ගත යුතු ය. මෙය ආනන්දනීය නිමේෂයකි. එය නිහඬතාවයේ හඬ අසන නිමේෂයකි. ප්‍රමෝදයෙන් මා හද උතුරා යයි.”
කර්නාටක ප්‍රාන්තයේ වරංගා වෙත යන ත්‍රාසජනක ගමන අතරමග ව්‍යාඝ්‍රයන් ගහන ඝන වනයේ ස්වභාව සෞන්දර්යය පිලිබඳ ඒ අපූරු වර්නනාව ජීනීවා විලබඩ සන්ධ්‍යා දසුන් පිලිබඳව ලියෝ තොල්ස්තෝයි මවන මනරම් චිත්ත රූපය [පෝල් බිර්යුකොව් හා ලියෝ තොල්ස්තෝයි, Leo Tolstoy: His Life and Work, වෙලුම 1, දින සටහන්: 1857 මැයි 15-16, 28] සමඟ සසඳන්න මම මොහොතක්වත් පැකිලෙන්නේ නෑ. කැමරාවකට ඒ වගේ වික්‍රමයක් පාන්න බෑ. අනික් අතට, පර්යටන සාහිත්‍යයේ නියැලෙන කෙනෙකුට ඇති ලොකු ම වාසිය විශය වස්තුවේ කඩයිම් පනින්න ලැබෙන අසීමිත නිදහස යි කියලා තාගෝර් පැවසුවා [The Nectar of Life]. ඒ හින්දා, පේන මානයක පර්යටන සාහිත්‍යයට අභියෝගයක් නෑ. ඉන්දියානු අත්දැකීම් අඩංගු එලිසබෙත් ගිල්බර්ට්ගේ පොතේ [Eat, Pray, Love: One Woman’s Search for Everything Across Italy, India and Indonesia, 2006] පිටපත් දැනට මත් මිලියන දහඅටක් විකිනිලා තියෙනවා.
සිංහලෙන් පල කෙරිලා තියෙන ඉන්දියානු සැරුම්ලකර අන්ධභක්තික වන්දනා චාරිකාවලින් ඔබ්බට ගියා නම් ඒ කලාතුරෙකින්. මාර්ටින් වික්‍රමසිංහගේ 1961 චාරිකා ලිපි අඩංගු කෘතිය [ඉන්දියාව, ලංකාව හා නිදහස් සම්ප්‍රදාය, 2018] සහ නීල් විජේරත්න ත්‍රිකය [මදුරාසි කොලුවා, 2004; බෙංගාලි යෙහෙළිය, 2005; කේරළ නළඟන, 2008] ඒ අතරින් වැදගත්. එරික් ඉලයප්ආරච්චිගේ ඉන්දියාව: ශුන්‍යය සෙවීම [2007] නූතන “නියාමන ඉන්දියාව” පිලිබඳ වඩා පුලුල් සමාජ-සංස්කෘතිකමය අනාවරනයක්.
ඉන්දියාව ඇසුරින් බිහි වුන පර්යටන සාහිත්‍යය නව ඉසව් කරා රැගෙන ගිය පිරිස අතරින් කැපිලා පේන අතලොස්සක් ගැන අපි සාකච්ඡා කෙරුවා. නමුත්, ඉන්දියානු සභ්‍යත්වය, විද්‍යා සහ ශිල්පකලා ඉහලින් අගය කරපු, ඉන්දියානු ජනතාවට ලෙන්ගතුකමේ හස්තය දිගු කරපු අල්-බිරූනි, කොරියාට්, හාෆ්නර්, සල්ටිකොව්, ට්වේන් සහ ඉන්දියාවේ ස්වෛරීයත්වය සඳහා සෘජුව පෙනී හිටපු අමෙරිකානු ඉතිහාසඥ විල් ඩුරන්ට් [The Case for India, 1930] වෙනුවෙන් අඩු තරමින් සමරු මුද්දරයක් නිකුත් කරන්නවත් ඉන්දියාවේ ධනේශ්වර ආන්ඩු කටයුතු කරලා නෑ. ලැජ්ජ යි!


අනාගත පර්යටන සාහිත්‍යය තුල ඉන්දියාව තවදුරටත් ඉහලින් වැජඹෙනවා ඇති! අර්ධ වැඩවසම් ඉන්දියාව පිලිබඳ මාර්ක් ට්වේන්ගේ ගුනාංගීකරනය දැනටත් වලංගු යි: “සුපිනයන්හි හා චමත්කාරයේ දේශය! අත්‍යධික ධනයේ හා අත්‍යධික ද්‍රරිද්‍රතාවයේ දේශය!!” [පෙර කී Following the Equator]. ඒත්, තමුන්ගේ මරනයෙන් අවුරුදු සීයක් ගත වුන තැන පල කරන මෙන් ඉල්ලා හිටපු ස්වයංචරිතාපදානයේ ට්වේන් ඉන්දියාවට චරිත සහතිකයක් දුන්නා: “නැවත වරක් දැකබලා ගන්න මම දවල් හීන දකිමින් සිටින, නැතිනම්, හද පත්ලෙන් ම ආශා කරන එක ම විදේශීය රට!” [අනුලේඛනය: 1906.08.13, Autobiography of Mark Twain, දෙවැනි වෙලුම, 2010]. මතක තියා ගන්න, එහෙම කිව්වේ ලෝකේ වටේ සවාරි ගහපු මිනිහෙක්. මාර්ක් ට්වේන්ගේ ඉටු නොවුන සිහිනය, ප්‍රගාඪ පංති පරතරය සහ පසුගාමී සංස්කෘතික ලක්ශන තව මත් රජයන තතු යටතේ පවා මගේ ද පැතුම බවට පත් කර ගනිමින් මම නිහඬ වෙනවා.

දර්ශන මේදිස්-Darshana Medis
පෙර කොටස්:
- පර්යටන සාහිත්‍යයේ නොසිඳෙන උල්පත: ඉන්දියාව- (පළමු කොටස)
- පර්යටන සාහිත්‍යයේ නොසිඳෙන උල්පත: ඉන්දියාව- (දෙවැනි කොටස)
(අක්ශර වින්‍යාසය දේශකයාගේ අභිමතය පරිදි ය.)





