රංජනී දැරණියගල:
ඇයගේ නම යශ්වානි දේවනාරායන. ඇයගේ ඇත්තම නම යශ්වානි දේවනාරායන නෙවෙයි. ලියන්න හින්දම ඇය ආරූඪ කරගත් නමක්. ඇයගේ ඇත්තම නම සුගන්ධි ගනේගොඩ. ඇය ෆේස්බුක් ලේඛිකාවක් විදිහට තමයි 2018 දී පාඨකයින් අතරට ආවේ.
ඇයගේ මුල්ම පොත 2022 වර්ෂයේ, නිසා පබ්ලිෂර් ආයතනයෙන් ප්‍රකාශයට පත් කළා. ඒ නවකතාව තමයි ඩබල් ගේම්.
ඩබල් ගේම් නවකතාව ඇයට ඉතාමත් සුවිශේෂි නිර්මාණයක්. ඩබල් ගේම් නවකතාව ලියන්න ආරම්භ කරනකොට, ඊට කලින් ඇය ලියපු සෑම නවකතාවක්ම ආදර කතා. ඩබල් ගේම් කියන්නේ රහස් පරීක්ෂක ශානරය යටතේ ලියවෙච්ච නවකතාවක්. වයස අවුරුදු දාහතක ගැහුනු ළමයෙක්ගේ අභිරහස් මරණයක් සමඟින් තමයි කතාව ආරම්භ වෙන්නේ. ඇය මහල් හතරක ඉහළක සිට බිමට ඇද වැටී මිය යනවා. එය මිනීමැරුමක් ද, සියදිවි නසා ගැනීමක් ද යන සැක සහිත තැනින් කතාව ආරම්භ වෙනවා.
ඇයගේ දෙවන කෘතිය, පෙනී නොපෙනී. එය නවකථාවක්. තමන් ආදරය කල පුද්ගලයාගෙන් ප්‍රතික්ෂේප වී, ඒ වේදනාව දරාගන්න අමාරුවුනු ඇය, ජීවිතයේ ඉහළටම යනවා. ඉගෙනීමට ආශාවක් නොවුනු, නිවසට වී සිටි ඇය අවසානයේ ජීවිතය දිනනවා.


ඇයගේ තුන්වන කෘතිය තමයි අනෝරාවක. මෙයත් නවකථාවක්. යශ්වානි පලමු වතාවට කෙනෙක්ගේ ජීවිත අත්දැකීමක් ඇසුරෙන් ලියනු ලැබූ නවකථාව. විශ්වාසය බිඳීගිය ගැහැනු ළමයෙකුගේ වේදනාබර අත්දැකීමක් ඒක.
සිව්වන නවකථාව, අසම්මතයේ උමතුවක්. මෙය ඉතා සුවිශේෂී නිර්මාණයක්. ගැහැනියක් කිසිදාක මද පවනට නොසෙල්වී සිටිය යුතුය. ටොනේඩෝවක් පැමිණිය ද, රූස්ස ගසක් සේ නොසැලී සිටිය යුතුය, යන්න පහදමින් ඇය ලිව්ව විශේෂ නවකථාවක් මෙය.


ඇයගේ පස්වන නවකථාව තමයි සංස්පර්ශ. එය රහස් පරීක්ෂක ශානරයෙන් ඇය ලියූ දෙවන නිර්මාණය. ඩබල් ගේම් කෘතියෙහි දෙවන අනුවාදය. සංස්පර්ශ යනු යමක් සියුම්ව අල්ලා ගැනීමයි. අපරාධ දාමයක නිමාව සටහන් කල කතාංගයක් මෙහි ලියවී තිබෙනවා.
සයවන නවකථාව තමයි, කටු අතරින් මල් වෙත. මෙය යශ්වානි මුහුණු පොතට 2018 වර්ෂයේදී ලියන ලද ප්‍රථම නවකතාවයි. සූපවේදය අලළා ලියූ රසබර නිර්මාණයක්. පාඨකයින් ඇයව හඳුනාගත් නවකථාව මෙයයි.


යශ්වානිගේ සත්වන නවකථාව තමයි, ශේෂ මාත්‍ර. මෙය ඇය විසින් මුහුණු පොතට පලනොකල නවකථාවක්. ගුවන් නියමුවෙකු සහ කෝපිහලක සේවයකල, කුඩා කලසිට හොඳම මිතුරන් වූ දෙදෙනෙකුගේ ආදර කතාවක්. එය සරල නිර්මාණයක්.
අටවන නවකථාව තමයි, සීමාවෙන් එහා. මෙය ඉතාම සුවිශේෂ නවකථාවක්. කුඩා කලසිටම පවුල තුලින් බිඳී ගිය ගැහැනු ළමයෙක්, තමන්ට දැනුණු ප්‍රථම ප්‍රේමනීය හැඟීමෙන් ද ප්‍රතික්ෂේප වී අවසානයේ යෝජනාවක් මගින් විවාහ වනවා. ඇය සමාජ සම්මතයන්ට ඔබ්බෙන් පියවර තබා ජීවිතයේ බොහෝ දේ දිනාගත් යුවතියක්. ඇයට හිමිවූ පුද්ගලයා, ඇයට රැජිනක් වන්නට තම සහය උපරිම දුන් අයෙක්. සාම්ප්‍රදායික සීමාවෙන් එපිටට පියවර තබන්නට අතදුන් කෙනෙක්.


යශ්වානිගේ නවවන නවකථාව තමයි, එකම එක මොහොතක. මෙය ඉතාම සරල බසින් මෙන්ම, සරලව ගලාගෙන යන ආදර කතාවක්. කෙදිනක හෝ තම ප්‍රේමය ජය ගන්නාතෙක් සටන්කල ගැහැනු ළමයෙකුගේ කතාවක්.
දසවන නවකථාව තමයි, අලු පැහැති දවසක. මිනිසුන්ට කලු පැහැති දවස් මෙන්ම සුදු පැහැති දවස් ද උදා නොවන බවත්, මිනිසුන්ට උදා වන්නේ කලු සහ සුදු මිශ්‍ර වූ අලු පැහැති දිනයන් වග තේරුම් ගත් ගැහැනු ළමයෙකුගේ කතාවක්. ජීවිතයේ පැමිණි සෑම දුෂ්කර අවස්තාවක් ම, ඉතා ඉවසීමෙන්, සංයමයෙන් ජයගත් ආදර කතාවක් සහිත නිර්මාණයක්.
ඇයගේ එකොළොස්වන නවකථාව, නැවතුමක අබියස. අලුතින්ම ප්‍රකාශයට පත්වුන නවකථාව. මෙය යශ්වානිගේ තුන්වන, රහස් පරීක්ෂක ශානරය යටතේ ලියවුන නිර්මාණයක්. ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් විග්‍රහ කල, එවන් අපරාධයක් සිදුවීම වළක්වා ගැනීම, එම අපරාධය සඳහා ඇති දඬුවම්, එහි ඇති බරපතළකම පිලිබඳව විග්‍රහකර තිබේ.


ඩබල් game,
පෙනී නොපෙනී,
අනෝරාවක,
අසම්මතයේ උමතුවක්,
සංස්පර්ශ,
කටු අතරින් මල් වෙත,
ශේෂ මාත්‍ර,
සීමාවෙන් එහා,
එකම එක මොහොතක,
අළු පැහැති දවසක,
නැවතුමක අබියස
මේ තමයි ඇයගේ මුද්‍රණය වුනු නවකතා. මෙම පොත් එකොළහ අතුරින් ශේෂ මාත්‍ර හැරුණු විට, අනිත් සියලුම නවකතා ඇය මුහුණු පොතට පළකල නවකතා. ඒ නවකතා දහයම පාඨකයින් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත්ත නිර්මාණ.
යශ්වානිගේ පොත් එකොළහ අතුරින්, නිර්මාණ ත්‍රිත්වයක්ම රහස් පරීක්ෂක ශානරයෙන් ලියැවුණු කතා. ඒ නිර්මාණ ත්‍රිත්වයම ඇයව වෙනස්ම තැනකට ඔසවා තැබුවා.
ඇය ප්‍රකාශනයට 2022 දී අත්පොත් තැබුවට පස්සේ ඇයට ලැබුණු අවස්ථා අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. ජනප්‍රියම ප්‍රකාශන ආයතන හතරක් සමඟ ඇයට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. නිසා ප්‍රකාශන, අහස් ප්‍රකාශන ආයතනය, නොහඳුනන්නී ප්‍රකාශන ආයතනය සහ ආශිර්වාද ප්‍රකාශන ආයතනය සමඟ වැඩ කරන්න ලැබීම ඇයට හිමිවුනු විශාල භාග්‍යයක්.
යශ්වානි වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියක් විදිහට වැඩ කරපු කෙනෙක්. වසර කිහිපයක සිට ඇය රැකියාවෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒ වගේම මේ දිනවල ඇය නීතිය හදාරන්න ආරම්භ කරලා තියෙනවා. නීතිවේදී පළවෙනි පාඨමාලාව මේ වනවිට ඇය අවසන් කර, නීති විද්‍යාලයට පිවිසීමේ විභාගයට මුහුන දෙන්න බලාගෙන ඉන්නවා.

ඇය මානසික සන්තෘප්තිය වෙනුවෙන් කරන්නේ ක්‍රියාවන් දෙකයි. එකක් කැමති පොත් කියවීම සහ කෝපි. ඇයගේ නිවසේ කුඩා පුස්තකාලයක් තියෙනවා. පොත් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් එහි තියෙනවා. යශ්වානි, ඇයගේ එකතුවට ඇය ආදරේ කරන ලේඛක ලේඛිකාවන්ගේ, ඇය ආසම ආදරය කරන පොත් බොහෝ ප්‍රමාණයක් එකතු කරගෙන තියෙනවා. ඒක ඇත්තටම හරිම සන්තෘප්තියක් ගෙන දෙන වැඩක්.
යශ්වානි 2018 ඉඳලා මේ මොහොත වෙනකම්ම ආව ගමන, ඉතාමත් නිහඬව සහ සංයමයෙන් ආපු ගමනක්. ඇය හැම වෙලාවෙම උත්සහ කලේ, පාඨකයින්ට ඉතාමත් රසවත් දේ ලබාදෙන්න. අලුත් දේවල් හඳුන්වා දෙන්න. ඒක කතාව තුළ තියෙන මලක් පිළිබඳවද, එහෙමත් නැත්නම් යම්කිසි ක්ෂේත්‍රයක් පිළිබඳවද, කුමක් හෝ වර්ණයක් පිළිබඳවද, එය පාඨකයාට උපරිමයෙන් දෙන්න ඇය උත්සාහ කළා. සහ ඉදිරියටත් කරාවි.
ඉතාමත් අහම්බයෙන් ලියන්න ඕනි කියලා ඇයට හිතුණා. සහ ඇය ආරූඪ නමකින් ලියන්න පටන් ගත්තා. එහෙම ලියන්න හිතුණු එක පිළිබඳව අද ඇයට, ඇය පිලිබඳව ම ලොකු සතුටක් මේ වෙනවිට තියෙනවා. සමහර අවස්ථාවලදී පාඨකයින්ගෙන් ලැබෙන අසීමිත ආදරය, ඒ ලෙන්ගතුකම දැක්කම ඇය, ඇට ම ස්තුති කරනවා. ඇයගේ සැඟවී තිබුන මෙම දක්ෂතාවය ඉස්මතු කරගෙන, මෙහෙම ලියන්න හිතුණු එක පිළිබඳව.
යශ්වානි, මුලින්ම සත් වසරක ලේඛනයේ ඇයත් එක්කම ඉන්න සහ අලුතින් එකතුවෙන සෑම පාඨකයෙක්ටම හදවතින්ම ස්තූතිවන්ත වුනා. ඇය ඉතාමත් නිහඬව වගේම සංයමයෙන් ලියන කෙනෙක්. එක අවස්ථාවකට ඇය තබන්නේ, එක පියවරක් පමණයි.
අලුතින් සයිබරයට කතාවක් මුදා හරින්න ප්‍රථමව ඇය, ඒ කතාවේ සමස්තය පිළිබඳව අධ්‍යයනයක යෙදෙනවා. ඇයට අවශ්‍ය සියලුම කරුණු, ලිපි සියල්ලම හොයා දෙන්නේ ඇයගේ ආදරණීය මිතුරු කැල විසින්. ඇයගේ සෑමදේකම පිටුපසින් ශක්තිමත්ව ඉන්නේ ඔවුන්.
පෞද්ගලික ජීවිතේ ගත්තම, ඇය විවාහකයි. ඇයගේ පවුල තුළින් ලැබෙන නොමද සහාය සිහිපත් කරන්න ඕනි. ලේඛනයේ සියලුම කටයුතු සඳහා උපරිම නිදහස ඇයගේ නිවසෙන් ඇයට හිමි වෙනවා. ඇයගේ වයස මේ වනවිට තිස්තුනක්. ඉදිරියේ දී ඇය සිදු කරන්නට බලාපොරොත්තු කිහිපයක්ම තිබෙනවා. හොඳ නිර්මාණ පාඨකයින්ට ලබාදීමයි ප්‍රධාන අරමුන.

රංජනී දැරණියගල-Ranjani Daraniyagala





