“තිමිර විනිවිද මාවෝ” කියන්නේ මගේ පළවෙනි පරිවර්තන කෘතිය. හැබැයි මේ කෘතියට පරිවර්තනයට එහා ගිය ආඛ්‍යානයක් ඇතුළත් වෙනවා.

“තිමිර විනිවිද මාවෝ” පරිවර්තන කෘතියේ කර්තෘවරිය වන ප්‍රවීණ ලේඛිකා සුමනා විජේරත්න මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

සුමනා විජේරත්න-Sumana Wijeratne

ප්‍රශ්නය : ඔබේ පළමු පරිවර්තන කෘතිය වන “තිමිර විනිවිද මාවෝ” පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?

පිළිතුර : තිමිර විනිවිද මාවෝ කියන්නේ මගේ පළවෙනි පරිවර්තනය කෘතිය. හැබැයි මේ කෘතියට පරිවර්තනය ට එහා ගිය ආඛ්‍යානයක් ඇතුළත් වෙනවා.

ඒ කියන්නේ, 1946 දී යෙනාන් නුවරදී මාවෝ සේතුං විසින් සාහිත්‍ය සහ කලා සම්මේලනය අමතා කළ කතාව සිංහලට පරිවර්තනය කරලා, ඒ කතාවේ හරාත්මක කරුණු කොහොම ද අද භාවිතාවට ගන්නෙ කියන විමර්ශනය තමයි මම පරිවර්තන කෘතියකට එහා ගිහින් කළා කියලා කියන්නෙ.

එතනදි මම ගන්නෙ අද අපේ සමාජ දේහයට අවශ්‍ය සංස්කෘතික මිනිසා නිර්මාණය කිරීමේ අභියෝගය කියන කරුණ.

එදා සහ අද කාලාන්තර දෙකක්, ඒ වගේම එදා කොමියුනිස්ට් පක්ෂය අවිගත් විප්ලවයක් කරලා ලබාගත්ත බලයක් මත ඉඳගෙන තමයි මාවෝ කතා කළේ. හැබැයි අද අපේ ජනතාව ලබාගත් ජයග්‍රහණය හඳුන්වන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ දේශපාලන සංස්කෘතියේ තීරණාත්මක වෙනසක් විදියට.
මේ දෙක පැහැදිලි වෙනස් ලක්ෂණ පෙන්නුම් කරනවා වගේම, ඒක හා සමානකමක් ගැම්මක් සනිටුහන් කරන දෙයාකාර පිමි දෙකක්.

හැබැයි මේ අවස්ථා දෙකේම පැන නැගුණු පොදු අවශ්‍යතාවයක් තමයි ආණ්ඩු බලයත් සමගම පොදු මහ ජනතාවගේ චින්තනමට වෙනස සාක්ෂාත් කර ගැනීම කියන තීරණාත්මක අභියෝගය. සංස්කෘතික මිනිසෙකු නිර්මාණය විය යුතුයි කියන්නේ ඒකයි.

මේ සඳහා සාහිත්‍ය සහ කලාවේ කාර්යභාරය මෙහෙයවිය යුතු ආකාරය තමයි මේ පොතේ ප්‍රධාන අරමුණ.

මාවෝවාදය කියන්නෙ ඕනෑම දේශපාලන දර්ශනයක විශ්වීය කරුණු යම් සංදර්භයට ගලපා ගැනීමට. එහෙම නම් එදා මාවෝ අදහස් කළ නිර්ධන පංතිය වෙනුවට මේ පොතේ සාහිත්‍ය සහ කලාවේ ප්‍රේක්ෂකයා ලෙස පිහිටුවනේ සමස්ත මනුස්ස සංතානය තුළ එකසේ වැඩ කරන පීඩනය කියන කරුණ. කොහොම ද පීඩිතයා තුළම පීඩකයා නිර්මාණය වන්නෙ කියන දෙය සාහිත්‍ය සහ කලාව තුළ පෙන්වා දීමේ අවශ්‍යතාවය.

අනේක මාවෝ අදහස් කල සුළු ධනේශ්වරය ලෙස ඉරක් ගහලා වෙන් කරන සතුරා කියන සංකල්පය නිශේධනය කරමින්, මේ පොත ඉදිරිපත් කරන්නෙ ඕනෑම මිනිසෙක් තුළ වැඩ කරන සුළු ධනේශ්වර චින්තනය කොහොම ද සමාජ අගතිය වෙනුවෙට යන්නෙ සහ එයම සමාජ ප්‍රගමනය කරා මෙහෙය වන්නෙ කියන එක.

සම්භාව්‍ය සහ වාණිජ බෙදීම සහ කුලක කරණය. මාවේ එදා චීනයේ තිබුණු classic literature විවේචනය කළේ ඒවා මගින් පොදු ජනතාව හෑල්ලුවට ලක්කිරීම සහ පොදු ජනතාව කොන් කරන නිසා. මෙන්න මේ කරුණ අද අපේ කලාව සහ සාහිත්‍යය ඇතුළේ වැඩ කරනවා. එය මගහැරීම සංස්කෘතික මිනිසා වෙනුවට බෙදීම් ඉස්මතු වීමට බලපාන බව නිර්මාණ කරුවන් තේරුම් ගැනීමේ අවශ්‍යතාවය.

ආඛ්‍යාන සඳහා පොදු ජනතාවගෙන් ඉගෙන ගැනීම. පොදුජන ආවේග තේරුම් ගැනීම සඳහා ඔවුන්ව සමීපව ඇසුරු කිරීම සහ ඔවුන්ගේ හදවතට කතා කිරීම සඳහා ඔවුන්ගෙ භාෂාව සාහිත්‍ය සහ කලාව සඳහා ඓන්ද්‍රීයව යොදා ගැනීමේ අවශ්‍යතාවය
නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය ලෙස පොදු ජනතාවගේ සැබෑ ජීවිත වලින් ඉගෙන ගැනීම සහ පර්යේෂණ කිරීම මෙන්ම පොදුජන ආවේග තේරුම් ගැනීම සඳහා ඔවුන්ව සමීපව ඇසුරු කිරීම සහ ඔවුන්ගේ හදවතට කතා කිරීම සඳහා ඔවුන්ගෙ භාෂාව පරිශීලනය කිරීම සහ ඒ භාෂාව සාහිත්‍ය සහ කලාව තුළ ඓන්ද්‍රීයව යොදා ගැනීමේ අවශ්‍යතාවය.

සාහිත්‍යය සහ කලා විචාරයේදී නිර්මාණ කරුවා ගේ අභිලාෂය වගේම ඉන් සමාජ දේහය වන බලපෑම පිළිබඳව වන බලපෑම් පිළිබඳව නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීම සාහිත්‍ය සහ කලා විචාරකයින් විසින් සිදුකල යුතුය යන අදහස විශේෂයෙන්ම මෙම කෘතිය තුළ කකා කරනවා උදාහරණ සහිතව.

නිර්මාණකරණය වගේම නිර්මාණ විචාරය සාහිත්‍ය සහ කලාවේ ප්‍රමිතීන් උසස් කිරීමට යොදා ගත හැක්කේ එවැනි නිදහස් විචාරකරනයකින් පමණක් බව මේ කෘතිය මගින් අවධාරණය කරනවා.

ප්‍රශ්නය : මාවෝ සේතුං විසින් යෙනාන් නුවරදී සාහිත්‍ය සහ කලාකරුවන් අමතා කරන ලද කතාව පරිවර්තනය කිරීමට ඔබ තීරණය කළේ කුමන හේතුවක් නිසාද?

පිළිතුර : මේ මොහොතේ මාවෝ කරලියට ගේන්නෙ ඇයි කියන එක බොහෝ ප්‍රවීණයන් පවා ප්‍රශ්න කළා. ඉන් එක් අයෙක් මහාචාර්ය ජයදේව උයන්ගොඩ. හැබැයි එතුමා ඒ ප්‍රශ්නය ඇසුවේ මහත් ප්‍රහර්ශයකින්, ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ දී විජේවීර කළ ප්‍රකාශයක් සිහි කරමින්. ඒ තමයි ‘මාක්ස්වාදයේ විශ්වීය සත්‍යය අර්ධ යටත්විජිත සහ අර්ධ වැඩවසම් සංදර්භයට ගලපා ගැනීම තමයි මාවෝවාදය ලෙස අරුත් ගැන්විය හැක්කේ. ඉතින් අද ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ වාමාංශික පක්ෂයක් බලයට පත්වී ඇති අවස්ථාවක ‘මාස්වාදයේ විශ්වීය සත්‍යය’ අපේ අද සන්දර්භයට ගලපා ගැනීම සඳහා සුදුසුම අවස්ථාව මෙය කියලා තමයි මම හිතන්නේ. ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික පක්ෂයක් ලෙස එදා සිට 2022 දක්වාම නොයෙක් අයුරින් පසුබසුමින් සහ ජවය සිඳ නොගෙන සිට, ජාතික ජන බලවේගය ලෙස 2024 දී බලය තහවුරු කරගැනීම මාවෝ යෙනාන් නුවරදී චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගෙන සැබෑ චින්තන විප්ලවය ආරම්භ කිරීමට සමානයි නේද? මාවෝට වැරදුණු තැන් කතා කිරීම වෙනුවට මට අවශ්‍ය කළේ, මාවෝ එලූ කලාලය දෙස බලා එයින් පාඩමක් ඉගැනීමට අපේ සාහිත්‍ය සහ කලා කරුවන් දිරි ගැන්වීමටයි. ‘සංස්කෘතික හමුදාව’ කළ සංහාර හෝ ‘දැවැන්ත පිම්මක් ඉදිරියට’ වැනි වැරදි නොවීමට වගබලා ගැනීමට නම් අපි හරිදේ තෝරා ගත් යුතුයි නේද?

Mao Zedong

ප්‍රශ්නය : මේ වන විට ඔබ විසින් ප්‍රකාශයට පත් කර ඇති අනෙකුත් කෘති මොනවාද?

පිළිතුර : මගේ මුල්ම කෘතිය ‘යුග දිවි අරණේ සිසිලස’ ලෙස 2018 ප්‍රකාශයට පත්වුණා. එහි සංදර්භය වුණේ විශාකාව හා පට බැඳුණු ශීලාචාර කම අබිබවා ඇයගේ ප්‍රඥාව ඉහළට ඇද පෙන්වීම සඳහා ඇයට දුන් උපදෙස් සඳහා ප්‍රඥාව පදනම් කරගෙන අර්ථකතනයක් ලබා දීම. කකා කරන මහවැව තමයි දෙවැනි පොත ලංකාවේ වාරිමාර්ග ශිෂ්ටාචාරය හා බැඳුණු ග්‍රාමීය ශිෂ්ටාචාරය සහ 70 දශකයේ එහි බිඳ වැටීමේ හැරවුම් රේඛාව ගැන ලියූ පර්යේෂණාත්මක ස්වයං කථනය.

ඊළඟට එම වසරේම කරන ලද බුදුන් දුටු සමාජවාදය. ලංකාවේ සමාජ සමානාත්මතාවය සඳහා බුදු දහමේ හරාත්මක කරුණු උපයෝගී කරගැනීම, එයට අලවක සූත්‍රය විග්‍රහයක් ඇතුළත්. එහෙත් එය ආලවක දමනය නම් ප්‍රබන්ධ කතාව වෙනුවට ආලවක සමග බුදුන් වහන්සේ කළ සාධනීය සාකච්ඡාවක් ලෙස තමයි ඉදිරිපත් කර ඇත්තෙ.

ඊළඟට ළමා නවකතාවක් සත්ත කොන්වෙන්සියා නමින් 2022 දී. මානව ක්‍රියාකාරකම් හමුවේ සත්ව හිංසන වලට එරෙහිව සතුන් ඒකරාශී විමක් ලෙස තමයි ඒ කතාව නිර්මාණය වන්නෙ.

ඊළඟට 2023 කරන ලද ‘දුවිලි පන්නරය’ නම් චරිත කතාව. මගේ සොයුරාගේ චරිත කතාව. විභාග අසමත් දරුවෙක් මහා ව්‍යාපාරිකයෙක් දක්වා ප්‍රගමනය වීමේ රහස් හෙලිදරව්වක්.

ප්‍රශ්නය : වර්තමාන සාහිත්‍ය නිර්මාණ ගැන ඔබේ ඇගයීම කෙබඳුද?

පිළිතුර : වර්තමානයේ සාහිත්‍යකරනය සහ කලාව ගැන මට කියන්න තියෙන්නේ අපි ඉන්නෙ ගොඩක්ම සම්ප්‍රදායික රාමු වලට කොටු වෙලා. පරිවර්තන කෘති වලට ලොකු ඉල්ලුමක් තියෙනවා, ඒවා සැපිරීම සඳහා බොහෝ අය යුහුසුළු වෙනවා. ඒත් ඒ අනුසාරයෙනි ස්වදේශීය ස්වතන්ත්‍ර බිහිවෙනේ නෑ අන්තර්ජාතික තලයට යන්න තරම්. අපේ ගෙවුම් ශේෂය බිංදුවයි. එහෙම නොවෙන්න වගේම අපේ දේශීය බෞද්ධ සාහිත්‍යය කෘති අන්තර්ජාතික තලයේ සාකච්ඡා වලට වැටෙන්නෙ නෑ. ත්‍රිපිටකය මහාවංශය ඇරුනම කොච්චර තියෙනවා ද? 70 80 දශකයේ ලැබු සාහිත්‍ය සහ කලා ප්‍රගමනය අත්හිටලා. මේක හරි ඛේදනීය තත්වයක්. මේකට ගොඩක් හේතු වෙන්නෙ පිට කසාගැනීමේ විචාර කලාව, නිදහස් නොවන විචාර සංස්කෘතිය.

ප්‍රශ්නය : ඔබ ඉදිරියේදී එළිදැක්වීමට අදහස් කර ඇති නිර්මාණ පිළිබඳ කෙටි හැඳින්වීමක් ලබා දිය හැකිද?

පිළිතුර : මගේ ලොකු සැලැස්මක් තියෙනවා ශෘංගාරය, සහ ලිංගිකත්වය, මනෝවිද්‍යාත්මක කරුණු වගේම අධ්‍යාපනයට සම්බන්ධ කරලා නව කතාවක් නිර්මාණය කරන්න මගේ ළමා කාලයේ අත්දැකීම් ද සමග. ඒ වගේම මට උවමනායි බුදු දහමේ හරාත්මක කරුණු අඩංගු සූත්‍රයක් සමග වැඩිපුර කතාවට භාජනය නොවනු චරිත එකතු කරලා ප්‍රබන්ධ නව කතාවක් නිර්මාණය කරන්න. මේ දෙක තමයි මගේ මීළඟ සැලැස්ම.

සංවාද සටහන: සුභාෂ්

තිමිර විනිවිද මාවෝ|Thimira Winivida Mawo [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.

More From Author

“ඩබල් ගේමි” නවකතාව ඇයගේ ඉතාමත් සුවිශේෂි නිර්මානයක්

මිතුරු සුළ⁣ඟේ

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348