රන්ජන් අමරරත්න:
අවසන් විනිශ්චයේදී නඩුකාරයා පවා හිස නවා ආචාර කළ යුතු පොතක් අප ඉදිරියෙහි පවතී. කපා හරින්නට කොටහක් නැත. එක්කාසු කළ යුතු කොටහක් ද නැත. වෘත්තයේ හරි මැද තිතට පිහි පහර වැදී තිබේ.
මේ කතාවෙන් කියැවෙන්නේ මානවයා තම අරමුණු ජය ගැනීම සඳහා කරනු ලබන අප්‍රමාණ කැපවීම හා අසහාය දරාගැනීම ගැනය. එහෙත් පවත්නා සන්දර්භය තුළ ඊට වටිනාකමක් තිබේ ද?
කතුවරයා සමාජ – දේශපාලන දේහය විනිවිද යමින් නූතන මානවකයකු ගැන කතාවක් දිගහරී. වරෙක ඒ මානවකයා තමාට ම සිනාසෙයි. කුමක්ද මේ විහිළුව? ලෝකය විකාරයකි!
ලෝක නායකයෝ දෙදෙනෙක් රතු පලස මත පරිස්සමට පියවර තබමින් උන්හ. ඔවුන්ගේ මුළු අවධානය යොමුව තිබුණේ දීර්ඝ කාලයක් ජීවත් විය හැකි සෞඛ්‍ය විද්‍යාත්මක උපායමාර්ග කෙරෙහිය. වසර එකසිය පනහක් නිරුපද්‍රිතව ජීවත්විය හැකි ජීව විද්‍යාත්මක සාධක මේ වන විටත් පවතින්නේ යැයි එක් නායකයෙක් කියා සිටියේය. එම සංවාදය ගින්නක් සේ ලොව පුරා පැතිර ගියේය. ජීවත්වීම යනු ආස්වාදනීය සිද්ධියකි! එහෙත් ජීවත්වීම සඳහා අරමුණු හා ඉලක්ක පවත්වාගත යුතුය. ඒවා හඹා යා යුතුය.
දස – දෙස මිනිස්සු විවිධාකාර අරමුණු හා ඉලක්ක දරා සිටිති. ඒ අනුව ජීවිත ගොඩනඟති. ජීවිත හසුරුවති. දේශපාලකයාගේ ඉලක්කය බලය තහවුරු කරගැනීම විය හැකිය. ඉංජිනේරුවාගේ ඉලක්කය අලුත් ඉදිකිරීම් විය හැකිය. මේ අනුව බේබද්දාට විස්කි විය හැකිය. ලේඛකයාට අලුත් පොත් විය හැකිය.
මුද්‍රණ කර්මාන්තයේ තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක පවතී. ජර්මනියේ මුද්‍රණ මැෂින් දෙස බලන විට එය පැහැදිලි වෙයි. ප්රකාශනය හා බෙදාහැරීම ද ඉතා දියුණුය. විධිමත්ය. අමෙරිකාව, ඉන්දියාව, එංගලන්තය දෙස බලන විට එය පැහැදිලි කරගත හැකිය. එහෙත් පොතක් පළකිරීම යනු දුෂ්කර කාර්යයකි. එය විශේෂ ව්‍යාපෘතියකි.

අමෙරිකන් කතා කලාවේ දැවැන්ත වෘක්ෂයක් බඳු එඩ්ගා ඇලන්පෝ පළමුව ප්‍රකාශයට පත්කරන්නේ කාව්‍ය සංග්‍රහයකි. (1827 – Tamariane and other poems) එය කර්තෘ ප්රකාශනයකි. එය මුද්‍රණය කිරීම සඳහා ලේඛකයා දරන ලද අප්‍රමාණ කැපකිරීම හා වේදනාව ගැන පසු සටහන් තිබේ.
මාක් ටුවින්, වර්ජිනියා වුල්ෆ් වැනි ලේඛක – ලේඛිකාවන් ද තම ප්‍රථම පොත සමාජගත කිරීම සඳහා දරන ලද අසහාය පරිශ්රමය වේදනාකාරී සටහන් ඔස්සේ එළිදක්වා තිබේ. ඒවා කියවා බැලීම රසවත්ය. එමෙන්ම එය වැදගත් ඉගෙනීමක් ද වන්නේය.

එක්තරා මානවකයෙක් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පළකිරීම උදෙසා අසාමාන්‍ය උත්සාහයක යෙදී සිටී. ඔහු සරසවි ශිෂ්‍යයෙකි. මේ ව්‍යාපෘතියේ පිළිවෙළ ඔහුට වැටහෙන්නේ නැත. ඔහු තමන්ගේ දැනුමට අනුව ශිෂ්‍යාධාර මුදල එකතුකොට එයින් ෙපාත මුද්‍රණය කිරීමට සැලැසුම් කරයි. තරුණයා මේ සඳහා ගෙන යන අරගලය කතාවට පාදක වී ඇත. තරුණයාගේ චර්යා රටා මෙන්ම ඔහුගේ ගනුදෙනු ද නූතන සමාජය විනිවිද දැකීමේ අවස්ථාවක් කරගෙන ඇත.
නවකතාව ආරම්භ වන්නේ අපූරු විලාසයකින් හා කදිම නිරූපණයකින් ය.
“මම හෙවණැල්ලේ ජිනදාස මෙන් සරසවි අවන්හලේ වාඩිවී සිටිමි. දේශන මඟහරිමින් කලාතුරකින් පමණක් ඇවිත් යන මා බලාපොරොත්තු වන්නේ මාසික ශිෂ්‍යාධාරය මාස දොළහ, දාහතරකට පසු සැලැකිය යුතු මුදලක් ලෙස එකතු කර ගන්නටය. ඊට හේතුව කියන්නට ඉක්මන් වැඩිය. අවන්හලේ ඝෝෂාව කන් රිදවයි. ශිෂ්‍ය නිලවරණය අත ළඟ නිසා ඝෝෂාව වැඩිය. රතු – කළු මුහුණු සහිත පෝස්ටර් සහ කැලෑ පත්තර එක මත එක වැදෙන උස බිත්ති කැතය. මමත් අපගේ සහෝදරයන් වෙනුවෙන් නිර්නාමික කවි පෙළක් ලියා දී ඇත. මා විසින් ලියනු ලැබුවේ ඇදවැටුන විරුවන් මරණයෙන් නැඟිටුවන අදහසක් විය හැකිය. එසේ නැති නම්; අසමසම බුද්ධිමතකු බව පෙන්වා පවතින ක්‍රමය ගැන නුරුස්සන අන්දමේ දුරස්ථ ආඩම්බරයක් ඉස්මතු කරන අදහසක් විය හැකිය…”
(ආරම්භය)
සරසවි දේශපාලනය ගැන පමණක් නොව; රටේ පොදු දේශපාලනය ගැන ද නිරූපණ ඊට ඇතුළත්ය. කථකයාගේ කවිය හා කවිය පිළිබඳ ඔහුගේම විවේචනය එක් අතෙකින් ප්රතිවිරෝධයක් මතු කරයි. කතුවරයා පිටපොත්ත පමණක් නොව; මදය ද සූප්පු කරන තැනෙකට තල්ලු වෙයි. ඔහු අවට සමාජය ගැන ද එහි ක්‍රියාකාරකම් ගැන ද දක්වන උනන්දුව පුදුමාකාරය.
“එය අවට බෝඩිම්වල සිසු – සිසුවියන් වෙනුවෙන් වුවමනා දේවල් සපයන අතරේ ඔවුන්ගේ මුදල් අමාරුකම් ද දන්නා කඩයකි. බෝල්පොයින්ට් පෑනේ සිට සමරු පොත් සහ ඔසප් පෑඩ් දක්වා දේවල් ද භික්ෂු ශිෂ්‍යයන් වෙනුවෙන් සිවුරු, අවන්පත් සහ නේපාල් රෙදි මලු ද එහි ඇත.”
(පිටුව – 09)
“මම කඩයට ගියේ එහි අලවා ඇති සතයෙන් සතය කැටයකට එකතු කරන දැරියගේ පෝස්ටරය බලන්නටය.
(පිටු – 11-12)
මේ පෝස්ටරය වනාහී රාජ්‍ය බැංකුවක් විසින් 1980 ගණන්වලදී ඉදිරිපත් කරන ලද ප්රචාරක දැන්වීමකි. එය ආකර්ෂණීය දැන්වීමක් වූ අතර කථකයාගේ අරමුණ සමඟ ද මනාව ගැළපෙයි. ප්‍රධාන චරිතයේ මනස ක්‍රියාකරන ආකාරය ඉතා සියුම් ලෙස නිරූපණය කිරීමට කතුවරයා උත්සුක වෙයි. මේ නවකතාව හැඳින්විය හැක්කේ ද නූතන මනෝවිද්‍යාව මත පදනම් වූ කතාවක් හැටියටය.
මේ කෘතියේ අන්තර්ගතය විසින් සාහිත්‍ය සමාජයටත්, දේශපාලන සමාජයටත් වැදගත් සංවාද පහක් මතු කරනු ලැබේ. ඒ පහත සඳහන් අයුරින්ය.
එක අතෙකින් ජීවිතය දුෂ්කර වී ඇත. පීඩනය දැඩි වී ඇත. කොයි අතින් බැලුවද සැනසීමක් නැත. ප්‍රංශ ජාතික නාට්‍යකරුවකු වූ ඉයුජින් අයනෙස්කෝ පෙන්වා දී ඇති පරිදි දෙවන ලෝක යුද්ධයෙන් පසු මිනිසා මරණ බය, සැකය, අවිනිශ්චිතතාව වැනි කම්පනයන්ගෙන් පීඩාවට පත් වී අතීරණාත්මක හා අවිනිශ්චිත ජීවිතය ගත කරයි. එම සන්දර්භය තුළ ඔහු ලෝකය දකින්නේ විකාරරූපී අයුරින්ය.

කාර්මික විප්ලවය, ලෝක යුද්ධ දෙක, ශීතල යුද්ධය නාගරී කරණය, කාන්තාරීකරණය, ගෝලීයකරණය, දේශගුණික විපර්යාස ආදී සංසිද්ධි ගණනාවක් නිසා මානව සමාජයේ පැවැත්ම එක අතෙකින් අභියෝගයට ලක්වී ඇති අතර තව අතෙකින් පැවැත්ම සංකීර්ණ වී ඇත. මේ අනුව සාහිත්යකාරයාට ද තම ප්රකාශනය සඳහා නව ආකෘති සොයා යන්නට සිදු වී ඇත.
පොතක් සැබෑ නම්; එය කාලයේ තාලයට සමපාත විය යුතුය. නැතහොත් ගැළපිය යුතුය. කාලයේ තාලයට යනුවෙන් අදහස් වන්නේ මානව චර්යාවන්, සිතුම් – පැතුම් හා ඔවුන් අනුගමනය කරනු ලබන මෝස්තරයන් යැයි සරල නිර්වචනයක් ඉදිරිපත් කළ හැකිය. ඊට අනුව නූතන පාඨකයා ඉල්ලා සිටින්නේ මහා පතරංග නවකතා නොව; ප්‍රමාණයෙන් කුඩා වේගවත් රිද්මයක් සහිත රසවත් කතා පොත්ය. ප්‍රබන්ධ කතාවට ප්‍රචලිත අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව වැනි රටවල සාහිත්‍ය වෙළෙඳපොළ දෙස බලන විට ද මේ තත්ත්වය තහවුරු කරගත හැකිය. එම රටවල ජනප්‍රිය පමණක් නොව; ප්‍රශස්ත යැයි සම්මත බොහොමයක් නවකතා ද පිටු 300ට අඩු හෝ ඊට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත බව අපගේ පිළිගැනීම වෙයි. මහා පතරංග පොත්ගෙඩි ලියා සම්මාන ලබාගත හැක්කේ ශ්‍රී ලංකාව වැනි රටවලදී පමණි. අපගේ නිරීක්ෂණවලට අනුව කෙටි නවකතාව අද ප්‍රවණතාව වේ.
අමෙරිකන් කෙටි නවකතා කලාවේ පුරෝගාමියා සේ සලකන හෙන්රි ජේම්ස් කෙටි නවකතාව හඳුන්වන්නේ කතා කලාවේ පරිණත අවස්ථාවක් හැටියටය. ඔහුට අනුව කෙටි නවකතාව කාව්‍යාත්මකය. සංක්ෂිප්තය. එමෙන්ම සංකේත භාවිතය හා උත්ප්රාසාත්මක භාෂාව එහි කැපී පෙනෙන ලක්ෂණ ලෙස පවතී. එරික් මේ ලක්ෂණ මනා ලෙස හසුරුවා ගනිමින් ස්වකීය නිර්මාණ කෘත්‍යය නිමවා තිබේ.

මේ සුවිශේෂී රචනාවේදී නූට් හැම්සන්ගේ (Knut Hamsun) ශෛලියේ ආභාසය ද ලබාගත් බව කතුවරයා සඳහන් කර ඇත. නූට් හැම්සන් යනු 1920 දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් නෝර්වීජියානු ජාතික ලේඛකයෙකි. ඔහු සාහිත්‍යෙය් සියලු ශානර ස්පර්ශ කළ කෘතහස්ත කතාකාරයකු බව සඳහන් කළ යුතුය.

හැම්සන්ගේ ශෛලියෙහි විශේෂතා කිහිපයකි.
(I) ආත්ම කථනය
(II) විඥානය ප්රමුඛකොට කතා ගොඩනැඟීම
(III) විඥාන ධාරා සන්දර්භය
ඇතැම් විචාරකයන්ගේ හැඳින්වීමට අනුව නූට් හැම්සන් නූතන මනෝ විද්‍යාව පාදකකොට කතා ගොතන්නෙකි.
‘සඳ ගමන’ කියවන කෙනකුට ‘Hunger’ නවකතාව සිහිපත් වන්නට පුළුවන. ‘Boy eating Birds food’ චිත්‍රපටය සිහිපත් වන්නටත් පුළුවන.කලකට පසු කියවන්නට ලැබුණු අපූරු සිංහල නවකතාවකි.
රන්ජන් අමරරත්න: Ranjan Amararatna
දිනමිණ





