සරච්චන්ද්‍රගේ නළුවෝ (අවසාන කොටස)

හැරල්ඩ් බ්ලූම් විද්වතා ශේක්ස්පියර්ගේ නාට්‍ය සම්බන්ධයෙන් විශ්වාස කළ තවත් දෙයක් නම් නාට්‍ය නරඹන්නා එහි චරිත අර්ථකථනයේදී තමාගේම වූ දෙයක් ඒවා තුළින් පුද්ගලිකව ගවේෂණය කර ගන්නා බවය. බ්ලුම්ගේ නිදර්ශන නොතකා මේ පිළිබඳව මෑත සිදුවූ දෙයක් ගෙනහැර පාන්නට කැමැත්තෙමි.

Harold Bloom

ශ්‍රේෂ්ඨ හොලිවුඩ් නළු ඩනියල් ඩේ-ලිව්ස්, 1989 දී හැම්ලට් වේදිකා නාට්‍යයක රඟපාන්න අතරේ එක් තීරණාත්මක නාට්‍ය ජවනිකාවක් මහා ඉංග්‍රීසි ප්‍රේක්ෂකාගාරය ඉදිරිපිට නතර කර දමා, වේදිකාවෙන් බැහැර වී නැවත වේදිකාවට පැමිණීම සපුරා ප්‍රතික්ෂේප කළේය.නිල වශයෙන් ඊට හේතුව හා සංවිධායකින් තමන්ගේ සමාවට කාරණය ලෙස ඉදිරිපත් කරන ලද්දේ ඒ අග්‍රගන්‍ය නළුවාගේ අත්‍යාධික වූ වෙහෙසයි.

Daniel Day-Lewis

එන මුත් දැණියෙල් -ඩේවුස් පසුව ප්‍රකාශ කළේ හැම්ලට්ගේ මියගිය පියා හැම්ලට් සමඟ කතා කලා සේ , කවියකුව සිටි තම මියගිය පියාද එවෙලෙහි තමා සමග කතා කරන්න පටන් ගත් බවයි. මෙය අද ලෝක නාට්‍යවේදිකාවේ හැම්ලට් සිද්ධිය ලෙස ප්‍රකටය.

ඒ කාරණය සරච්චන්ද්‍රගේ නාට්‍ය ත්‍රිත්වය සම්බන්ධයෙන්ද සත්‍යයක් වේ. සිංහභාහු නාට්‍ය නරඹන ලද තමාගේ පේරාදෙණිය මිතුරෙකු නාට්‍ය අවසානයට පසු, සිය පියා කෙරෙහි අලුතින් “ගිල්ටි”හැඟීමක් හෙවත් පාපකාරී හැඟීමක් ඇතිවූ අයුරු පැවසූ සැටි , සුචරිත ගම්ලත් අසූ දශකයේ සිංහභාහු නාට්‍ය සැමරුම් පත්‍රිකාවක ලියා තිබුණා මතකය.

Sucharitha Gamlath

ආගාධයක් හා සමාන එවැනි කටුක භාව කලාපයකට නරඹන්නා තල්ලු කරනු ලබන්නට තරම් සරච්චන්ද්‍ර නළුවෝ ප්‍රබල තත්ත්වයකින් වේදිකාරූඪව සිටියහ. අද මෙන් තව නාට්කට, චිත්‍රපටියකට ,ටෙලි නාට්‍යකට , විනිසුරු මඩුල්ලකට යනාදි වශයෙන් චරිත සොයාගෙන ලහි ලහියේ සිදුකරන “පික්නික් යාම” ඒ චරිත වලට ආගන්තුක චරියාවක් විය . මෙහිලා සරච්චන්ට නළුවන් සතු වූයේ ජෝන් කීඩ්ස් කවියාගේ වචනයෙන් කිවහොත් ”’නිශේධනීය හැකියාවකි’ එයා අන් කිසිවකට තමා නොගැලපෙන කෙනෙකු නුසුදුසු කෙනෙකු කර ගැනීමකි.

ඔවුන් ඒ හැකියාව වේදිකා මස්තකයෙහි සපුරා ගත්තේ , ශෙක්ස්පියගේ නාට්‍ය චරිත මෙන්, විශාල මිනිස් අවකාශයක නළුවන් ලෙස හැසිරෙන්නට පුළුවන්, සංකීර්ණ චරිතාවකාශ ලබා ගැනීමෙන් නොව, තම තමාගේ වීර්යවන්ත ගායනය ඔස්සේ වාචික වශයෙන් උච්චාරණය කිරීමෙන් මවන විචිත්‍ර විපුලකාව මෙම චරිතවල ඖදාර්යෙන් බව කිව යුතුය.

ඒ නිසාම සරච්චන්ද්‍රගේ මහා නළුවෝ වාචිකාභිමානය මුල් කරගත් නළුවන් වූ බැවින් ඔවුන්ගේ හඬ නිරූපණය අන් සියල්ල පරයා ඉදිරියට පැමිණියේ. අද ඒ නැවත ලබා ගත නොහැකි තරමේ “මිනිස් නාද” හෙවත් “හඬ” උරුමයකි.

එය අපට අහිමි වූ දෙවෙනි කලා උරුමය බව කිව යුතුය.මුල් අහිමිවීම ඉතාමත් රළු ජීවිතයක් ගෙවූ කරත්තකරුවන්, පැල් රකින්නන් , පතල් බසින්නන්ක, මී වද කඩන්නන්, හේන් ගොවියන් වැනි රළු දැවැන්ත මිනිසුන් විසින් ගායනා කළ අපගේ ජන ගායනා ගුවන් විදුලියේ සුගායනීය සරල ගී මට්ටමට ඇද දැමීමේ ව්‍යසනයයි. එය මුල් මට්ටමින් ස්වර ප්‍රස්ථාර ගත කොට, බටහිර ශාස්ත්‍රීය ඔපෙරා ගායනා අකෘතිය තුළ ආරක්ෂා කරන්නට දේවාර් සූර්ය සේන ශූරීන් දැරූ ඓතිහාසික ප්‍රයත්නය ජාතික සංගීත කතිකාවේ පටුකම විසින් යටපත් කර දමන ලද්දේය.

සරත්චන්ද නළුවන් පිළිබඳව මා තුළ පහළ වූ මුල් අදහස ගැන මා මගේ ප්‍රවීණ කථිකා මිත්‍ර ගයාන් ඉන්දුම සමග කතා කළ අවස්ථාවේ ඔහු කී වැදගත් කාරණයක් මේ සඳහන් කරනු කැමැත්තෙමි. සිංහයා චරිතය නිරූපණය කළ නළුවන් ගැන කතා කරමින් ඔහු කීවේ ඒ චරිතය නිරූපණය කළ නළුවන් මත මෙරට සමාජ විපර්යාසයේ පිළිබිඹුවද වැටී තිබුණු බවකි. නිදසුනක් ලෙස , මාක් ඇන්ටන් ප්‍රනාන්දු විසින් ප්‍රතාපවත් පීතෘ සිංහයෙකු නිරූපණය කරන ලද්දේ නම් සමන් බොකලවල විසින් දුක්ඛ දෝමනස්සයෙන් පිරි පීතෘ සිංහයකු නිරූපණය කරන ලද බවය. ඔහු “මිනිසා සහ කපුටා” නම් සම්මානනීය කෙටි චිත්‍රපටයේද ඒ හා සමාන චරිතයක් නිරූපණය කළ බව මතකය.

තවද මෙරට නළු ආර්ථිකය දියුණු කළ නිදහස් ආර්ථිකය මගින් අලුත් අවස්ථා නාට්‍ය නළුවාට ලබා දුන් අතර රූපවාහිනි නාට්‍ය නළුකමෙහි සරත්චන්ද්‍ර උරුමයේ අඛණ්ඩතාව සුනේ සුන්කර දමන ලද්දේය. බතික් කමීසය ඇදි නාට්‍ය නළුවා කුර්තාවට මාරු කිසියම් වරක් ප්‍රසාදියකු ලෙස හැඟී ආවේය.අද ඔහු බ්‍රෑන්ඩර්ඩ් කමිස කාරයෙකු විය යුතුය.

මගේ දුරකථන කතිකා මිත්‍රයාගේ දීප්තිමත් සාකච්ඡාව සැසියට අනුව සමන් බොකළ වල කේදාන්ත සිංහයා නම් ජයශ්‍රී චන්ද්‍රජිත් රූපවාහිනිය ජනකාන්ත වෙමින් පැවති යුගයේ සිංහයාය.

Jayasri Chandrajith

ඒ අනුව සරත් චන්ද්‍ර නළුවො කළු සුදු සිනමාවේ චැප්ප්ලීන්, බස්ට කීටන් , චාල්ටන් හෙස්ටන්, ථුෂීර මිෆුන , මාර්සලෝ මැස්ට්‍රොආනී ආදීන් මෙන් නොස්ටැලීජික ආනන්දයක් අප වෙත ගෙනෙති. ඔවුන් තුළ පැවතියේ ඉංග්‍රීසියෙන් “අන් කැනි” යන වචනයෙන් හැඟවෙන සාමාන්‍ය ලෙස පෙනෙන අසාමාන්‍ය ගුණයකි.

Maname – a stage drama by Ediriweera Sarachchandra

ඒ අර්ථයෙන් අපගේ මුල් සිංහයා අද ඔත්පල මහළු පියෙකි. සිංහබහු වැඩි මහලු දරුවන් සහිත තලත්තෑනි පුතෙකි. මනමේ යනු ගුණදාස අමරසේකරගේ “පනාවා” කවියේ කියන පරිදි හිනාවෙලා පණ යන පැරණි පෙම් පුවතකි. මහසාර නාට්‍යයේ වැදිරිය යම් කලක රූමත් බව දුටු මහළු වෙසඟනකි.6 මනමෙි නාටය

රූපවාහිනිය ප්‍රමුඛ වර්තමාන ජන මාධ්‍ය ගෝලීච්චාව හා සමාජ මාධ්‍ය විසින් මවනු ලබන සුඛ පරම ලොව ඉදිරියේ අද ඔබගේ ජීවන වේදිකාව ඔබට අහිමි වී ඇත . දැන් නාට්‍ය නරඹන්නේ ඔබද කොටස්කරුවකු වන ජීවන වේදිකාව දකින්නට නොව ඔබද කොටස්කරුවකු වන විනෝදය ලබන්නටය.

ඒ අර්ථයෙන් මනුෂ්‍යයින් නාට්‍යම හෙවත් “තියැට්‍රිකල්” කළ යුගය අවසන්ය. ඔබ තවදුරටත් රැගුම් හල හා එහි නළුවා බවට පත් නොවේ. ඔබ බොහෝ නාට්‍ය බලා තිබෙන නිසා දැන් දකින ජීවන නාට්‍යයෙහි අපූර්වත්වයක් ද ඔබට නැත. නරඹන්නෝ මුහුණු පොතේ ඇලි ගැලී දෛනික කලා පුවත් සංසරණයේ හා සරල ප්‍රශංසාවේ මෝහනයේ ඇති තරම් නිමග්නව සිටිති. ඉඳ හිට කෑදර වන කලාකාරයෝ පුළුටු පිඟන් හා රට බීම සමග එහි විද්‍යාමාන වෙති.

තන්හි තන්හි සරල ගීතයට ගරු ගාම්භීර ප්‍රේක්ෂාමය අර්ථකථන සැපයේ. අපාර ටෙලි නාට්‍ය සාගරයේ පිහිනමින් යාවත්කාලින වන්නාවූ නරඹන්නෝ , විනෝද රාත්‍රිය විනා දිවා කාලයක් නැති අද්භූත දේශයක වෙසෙන්නාසේ, ධවල රාත්‍රීන් සහිත විනෝද ඍතුවට ඍතුවට රියැටි විරයන් දකිති.

පෙර කොටස:

More From Author

ජපානය රොබෝ මීමැස්සෙක් හදලා , අපේ වත්තේ මල්වල පැණි බොන්ඩ එයිද ඌ

නිවාස අහිමි වන ඇමරිකානුවන්ගේ කතාව

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348