අනේ ප්ලීස්, මට තව අවුරුදු විස්සකට කොහොමින් හරි එයාගේ සර්විස් එක ගන්න ඕනි.” ඔහු කීවේ හැඬුම්බර වේලා.
“බට් සර්, ඔයා අග්‍රීමන්ට් එක සයින් කලේ එක අවුරුද්දකට විතරයි. දැන් ඒක එහෙම කරන්න බෑ. ඇරත්, අ නිව් රෙසවේශන් හැස් ඔල්රෙඩි බීන් මේඩ්.”
“එහෙනම් මම දෙගුණයක් ගෙවන්නම්. ඊට වඩා උනත්. මුලු අවුරුදු විස්සටම.”
“දැට්ස් අගේයින්ස්ට් ආ පොලිසි. අපරාදේනේ, සර්ට එහෙනම් මුලින්ම ප්‍රොබේශනරි පීරියඩ් එකකට එයාගේ සර්විස් එක ගන්න තිබුනා. එහෙනම් ඒ කාලේ විදිය බලලා ඉස්සරහට එයාව ඕනි කාලේ ඩිසයිඩ් කරන්න තිබුනා.”
“කවුද හිතුවේ. දෙයියනේ කවුද හිතුවේ!” ඒ වෙද්දි ඔහු ඉකි ගහන්න ඔන්න මෙන්න. “අනේ, අඩුම තරමෙන් තව මාසෙකටවත්…”
“අම් එක්ට්‍රීම්ලි සොරි සර්, සර්ගේ ඉල්ලීම ඉටු කරන්න කොහෙත්ම විදියක් නෑ. හෑව් අ නයිස් ඩේ.”
ඊට පස්සේ දුරකථනයේ අනෙක් කෙලවරින් ඇහුනේ පුපුරන ඉකියක් විතරයි.
වෙලාවකට ඈ ලමැදේ හංගගෙන ආව දැමස්කස් රෝස මල් වලින් ඔහුට දමලා ගහනවා. වෙලාවකට චෙරි ගෙඩි වේලලා අරගත්තු කුඩු වලින් ඔහුට තේ හදා දෙනවා.

උදේට තයිම් පඳුරු අතරින් නැඟෙන මීදුම පෑනකට පුරවලා ඔහුට තයිම් සුවඳ හමන කවි ලියලා ගේනවා. පෙළක් දවස් වලට අහසේ තරුත්, මුහුදේ වැලිත් රසැ’ති හාදු මල්ලක් ඔහු වෙනුවෙන් උස්සගෙන එනවා.
ඔහුගේ රළු පරළු ගති සෙනෙහස් වැලි කඩදාසි වලින් පිරිමැදලා සුමට කළේ ඈ තමා. මෝල්ගස් ගිලපු පිඹුරෙක් වගේ උන්නු ඔහු හොලවලා, දූලි ගසා දාලා, දිස්නේ ගහන, ප්‍රීතියෙන් පොපියන මිනිස් ප්‍රාණියෙක් බවට පත් කලේ ඇයයි.
“එන්නකෝ, මම ඔයාට නැටුම් උගන්නනම්,” එහෙම කියලා ඈ ඇඳෙන් බිමට පැනලා ඔහුත් අතින් ඇදලා නැගිට්ටනවා.

“මේක සල්සා,” ඔහුගේ දෑතින් අල්ලගෙන තාලෙට ඉඟ පද්දමින් අඩි කීපයක් තියලා ඈ කියනවා. “මේ චා චා, මේ ජයිව්… හරිද. ඊගාව දවසේ අපි ක්ලබ් එකට ගිහින් එලිවෙනකල් නටමු.” ඈ උඩ පැන පැන කියනවා.
ඔහු තරහ උන වෙලාවල ඈ දවස් ගනන් නොකා නොබී අඬනවා. එහෙම වෙලාවල ඇගේ එක ඉකියකින්, එක බිඳුනු වදනකින් ඔහුගේ සන්තානෙම කවදාවත් නොවුනු විදියට මිරිකිලා වෙව්ලුම් කනවා. මෙතෙක් නොවුනු අමුතුම විදියකට, තමන් ජීවත් වෙන බව ඔහුට ඒත්තු යනවා.
ඈ පුංචි කාලේ ඉඳන් ආස උනේ කුමාරිකාවක් වගේ සුකුමාර ජීවිතේකට. උදේම ඇහැරෙන්න, මහන්සි වෙලා වැඩ කරන්න, අව්වෙ පිච්චෙන්න ඈ ආස උනේම නෑ. ඇත්තටම ඈ ජීවත් උනේම ඒ නිදහසෙත්, සුවපහසුවෙත්, ආලස්‍යයේත් වරප්‍රසාදය රැකගන්නම වගේ කියලා කීවත්, ඒ කතාව වැරදි නෑ. ඈ ආස උනේ නෑ කිසිම දේකට වෙහෙස වෙන්න. එකම එක දේකට ඇර:
ආදරේ කරන්න.
ඈ කොයිතරම් ලස්සනට, කොයිතරම් හැඟීම්බරව, කොයිතරම් අවංකව ආදරේ කලාද කියනවනම්, ඈට ආදරේ කරපු හැම පෙම්වතෙක්ම ඈට මෙහෙම දෙයක් කීවා: “ඔයා තමයි මට ජීවිතේට හම්බ උන හොඳම පෙම්වතිය.“

ඉතින් කීසිම රැකියාවක් කරන්න ආස නැති උන ඈ එක දවසක් ටවුමේ ඇවිදගෙන යද්දි එක සාප්පු කවුළුවක දැන්වීමක් ගහලා තියෙනවා දැක්කා.
“වෘත්තීමය ආදරවන්තියන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.”
“මූලික සුදුසුකම: ඉතා දැඩිව ආදරේ කරන්නටත්, අවශ්‍ය වූ විට හැර යාමටත් ඇති සැහැසිකම.”
හරියට ඈ දිහාම බලලා හදපු රස්සාවක් වගේනේ!
ඔහු ඇගේ සේවාව ඇනවුම් කලේ තමන්ගේ කලින් පෙම්වතියගෙන් වෙන්වීමේ දුක සමනය කරගන්න රීබවුන්ඩ් එකක් වශයෙන්.
ඒත්, ඔහුට එක දෙයක් අමතක උනා.
ඈ වෘත්තීමය ආදරවන්තියෙක් බව…

මහේෂි බි. වීරකෝන්-Maheshi B.weerakoon





