පවුලෝ ෆ්‍රෙයරේගේ ‘පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව’ රවින්ද්‍ර රණසිංහ විසින් සිංහලට පරිවර්තනය කිරීම, හුදෙක් පොතක් සිංහලට නැගීමකට වඩා, ලාංකීය සමාජයට අත්‍යවශ්‍ය දෘෂ්ටිවාදී අවියක් ලබා දීමක් ලෙස සැලකිය හැකිය.

මෙය ලංකාවේ වත්මන් දේශපාලන, අධ්‍යාපන සහ සමාජ යථාර්ථය විමසා බැලීමට සහ පරිවර්තනය කිරීමට මග පෙන්වන විමුක්තිකාමී දර්ශනයක් ඉදිරිපත් කරයි.
ලංකාවේ දේශපාලන පරිවර්තනයට ෆ්‍රෙයරේගේ දායකත්වය
ෆ්‍රෙයරේගේ කෘතියෙහි ඇති ප්‍රධාන වටිනාකමක් වන්නේ, එය දේශපාලනය යනු හුදු බල අරගලයක් නොව, ජනතාව සවිඥානික කිරීමේ ක්‍රියාවලියක් බව අවධාරණය කිරීමයි. වමේ දේශපාලනය තුළින් සාරවත් මිනිසුන් බිහි කිරීමේ කාර්යයට උරදී සිටින දේශපාලකයන්ට මෙය කදිම මග පෙන්වීමකි.

ඔහු පෙන්වා දෙන්නේ සැබෑ විමුක්තිය ඇතිවන්නේ පීඩිතයා තමන් පීඩිතයෙකු බවත්, තම පීඩනයට හේතුව කුමක්දැයි අවබෝධ කර ගැනීමෙන් බවයි. ලංකාවේ දේශපාලනය බොහෝ විට ඉහළින් දෙන පොරොන්දු මත පදනම් වූ, ජනතාව හුදෙක් ඡන්ද දායකයන් ලෙස පමණක් සලකන ක්‍රමයකට සීමා වී ඇත. ෆ්‍රෙයරේගේ දර්ශනය මෙයට එරෙහි වෙමින්, ජනතාවගේ සහභාගීත්වය, විවේචනාත්මක චින්තනය සහ ස්වයං-විමුක්තිය කෙරෙහි අවධානය යොමු කරයි.
මෙම පොත “බැංකුකරණ” සංකල්පය (ජනතාවගේ මනසට දැනුම තැන්පත් කිරීම) දැඩිව විවේචනය කරයි. මෙය ලංකාවේ දේශපාලන වේදිකාවේදී නිතර දැකිය හැකි සංසිද්ධියකි; එනම්, දේශපාලකයින් විසින් ජනතාවට තොරතුරු “සම්ප්‍රේෂණය” කරනවා මිස, ඔවුන් සමඟ සංවාදයකට එළඹෙන්නේ නැත. ෆ්‍රෙයරේ පෙන්වා දෙන්නේ, සැබෑ දේශපාලනය යනු ජනතාව සමඟ අන්‍යෝන්‍ය සංවාදයකට එළඹීම බවයි. මේ හරහා, දේශපාලකයන්ට ජනතාවගේ ගැටලු හඳුනා ගැනීමටත්, ඒවාට විසඳුම් සෙවීමටත්, ඔවුන්ගේ සහභාගීත්වයෙන් යුතුව සමාජ වෙනසක් ඇති කිරීමටත් හැකි බවයි.
අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සඳහා වූ අවශ්‍යතාවය
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වසර ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික වික්ටෝරියානු රාමුවල සිරවී ඇත. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්, කට පාඩම් කිරීමට බර තැබීම සහ සිසුන්ගේ නිර්මාණශීලීත්වය හා විවේචනාත්මක චින්තනය මර්දනය කිරීම වැනි ගැටලු රැසකට අපේ දරුවන් අද දවසේ මුහුණ දී සිටිමු. ෆ්‍රෙයරේගේ ‘පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව’ මෙම ගැටලුවලට ප්‍රබල විසඳුම් ඉදිරිපත් කරයි.
ෆ්‍රෙයරේ, ගුරුවරයා සහ සිසුවා අතර “ගුරු-ශිෂ්‍ය” භේදය අහෝසි කිරීමට යෝජනා කරයි.

ඔහු පවසන්නේ, ගුරුවරයා ද සිසුවෙකුගේ තැනට පත්වී ඉගෙනුම කළ යුතු බවයි. මෙය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අතිශය විප්ලවීය අදහසකි. මෙමගින් ගුරුවරයා දැනුමේ එකම හිමිකරු ලෙස කටයුතු කරනවා වෙනුවට, සිසුන් සමඟ අන්‍යෝන්‍ය සංවාදයක් තුළින් දැනුම නිර්මාණය කිරීමට දායක වේ. මේ හරහා සිසුන් තුළ ස්වාධීන චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව සහ විවේචනාත්මක දෘෂ්ටිය වර්ධනය වේ.
තවද, ෆ්‍රෙයරේ අවධාරණය කරන්නේ, අධ්‍යාපනය යනු සැබෑ ලෝකයේ ගැටලු සමඟ ගැටීම මිස, කටපාඩම් කරගත් වියුක්ත දැනුම නොවන බවයි. මෙය ලංකාවේ අධ්‍යාපන විෂය මාලාවන් සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන් නැවත සලකා බැලීමට අපේ අධ්‍යාපන බලධාරීන් ට බල කරයි. සිසුන් සමාජීය ගැටලු පිළිබඳව සංවේදී වන, ඒ සඳහා විසඳුම් සෙවීමට දායක වන පුරවැසියන් බවට පත් කිරීම ට ෆ්‍රෙයරේගේ දර්ශනය වැදගත් ය.
සමාජ විමුක්තියේ මගපෙන්වන්නා
සයිමන් නවගත්තේගමගේ පරිවර්තනයෙන් (1997) පසුව, රවින්ද්‍ර රණසිංහ විසින් සිදුකළ මෙම නව පරිවර්තනය (2023), ෆ්‍රෙයරේගේ අදහස් වඩාත් පැහැදිලිව හා ගැඹුරින් ලාංකීය පාඨකයා වෙත සමීප කරයි.

මෙය හුදෙක් ශාස්ත්‍රීය කෘතියක් ලෙස පමණක් නොව, ලාංකීය සමාජය විමුක්තිය කරා ගෙන යාමට අවශ්‍ය ප්‍රායෝගික මෙවලමක් ලෙසද සැලකිය හැකිය.
පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව යනු, අපගේ දේශපාලන ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය සහ සමස්ත සමාජ ව්‍යුහය ම විචාරාත්මකව විශ්ලේෂණය කිරීමට අපට බල කරන, අපව සවිඥානික කරන පොතකි. එය අපට උගන්වන්නේ, සැබෑ වෙනසක් ඇති කරන්නේ “ඉහළින්” නොව, “පහළින්” ජනතාවගේ සවිඥානික සහභාගීත්වය තුළින් බවයි. එබැවින්, මෙම පරිවර්තනය ලාංකීය සමාජයට අතිශයින් වටිනා තිළිණයක් වන අතර, එය සමාජ පරිවර්තනයට කැපවූ සියලු දෙනාගේ අත තිබිය යුතුම කෘතියකි.
ප්‍රමුදිත ප්‍රකාශකයෝ වෙතින් ලබාගත හැකියි.
දීපා ප්‍රනාන්දු -Deepa Fernando





