ගිරිදුර්ග වස්තුව

චීන මහා ප්‍රාකාරයේ බොහෝ තැන් ස්වාභාවික වශයෙන් ම හිස්ව තිබුණි… ඇතැම් හිස් ස්ථාන ඇත්ත වශයෙන් පුරවන ලද්දේ මහා ප්‍රාකාරය ඉදි කිරීමේ කටයුතු අවසාන බවට චීන අධිරාජ්‍යයා නිල නිවේදනය නිකුත් කිරීමෙන් පසු ය… ඒ කාලයේ යම් දේවල් ගොඩනැඟීමේ දී ලබා ගත් තත්ත්වය, (බයිබලයේ කියවෙන) බේබල් අට්ටාලය තැනීමේ දී ලබා ගත් තත්ත්වයට කිසිසේත් අඩු නොවී ය.

(ෆ්රාන්ස් කෆ්කා, චීන මහා ප්‍රාකාරය)

පුරාණ කන්ද උඩරට රාජධානිය තුළ සැඩ ගංවතුර හා බිහිසුණු නායයාම් සුලභව සිදු වුණු ආපදා සමයක් උදා විය. නොකඩවා වට වැස්ස හා චණ්ඩ දියඇලි මහා ගංවතුරක් ඇති කළේ ය. රටවැස්සෝ ගසා ගෙන ගියහ. ගම්මාන පසට යට වී අතුරුදහන් වී ගියේ ය. උදාගිර දෙසට මුහුණ ලා පිහිටි යුවරාජ ගෘහාභ්‍යන්තරයට ජලකඳක් කඩා වැදුණු අතර වර්ෂාව නැවතුණු කල්හි මාලිගාව ඊසාන දෙසට හිසලා අධෝමුඛව පිහිටියේ ය. දැසි දැස්සන් තිදෙනෙක් දිවි බේරා ගෙන තිබුණු අතර සෙස්සෝ මරු දුටුහ. දෝලා දෙකකින් පලා ගොස් දිවි බේරා ගත් යුවරාජ පවුල රජ මාලිගාවේ ලැඟුම් ගත්හ. සේනාපති, රාජමන්ත්‍රි, කුමාර, රාජපුරුෂ, කංචුකී වෛශ්‍යාදි ගෘහ නිරුපද්‍රිතව තිබිය දී යුවරාජ මාලිගයට සිදු වූ විපත හා එහි විසූ සෙනවියන් හා දැසිදස්සන්ගේ ජීවිත හානිය නිසා වාස්තුවිද්‍යාවෙහි නිපුණ නග්නජිත් නම් ශිල්ප නායක ඇතුළු ශිල්ප කුටුම්භ දොළොසක් රාජ උදහසට ලක් විය.

හිස ගසා දැමීමට නියම විය යුතු නමුත් ශිල්ප කෞශල්‍යය හා දේශජ වාස්තු කලා වෙනුවෙන් සිදු කරන ලද අපරිමිත සේවය සලකා සිරගෙට නියම කොට අභයදානය ප්‍රකාශිත අවස්ථාවේ දී මහා ශිල්පියාගේ හෘද්‍යාභ්‍යන්තරයෙහි දුන්නකින් නිකුත් වුණු හීයකින් සේ ලේ ගලන කැළැලක් ඇති විය. මාලිගා බිමෙහි ඇද වැටුණු ඔහු ලේ වමනය කරන්නට විය. එය දැකීමෙන් සිත් රිදුණු ඥාන සම්පන්න උඩරට රජු වෙනත් දණ්ඩනයක් ගැන සිහසුනේ සිට කල්පනා කරන්නට පටන් ගත්තේ ය. තව ටිකක් විපරම්කාරීව කල්පනා කිරීමෙන් පසු රජු සිය ඇමතියන් අමතා විකල්ප දණ්ඩන යෝජනා කරන ලෙස ආඥා කළේ ය.

ඒ අනුව යෝජනා ඉදිරිපත් විය. හස්තය, පාදය, ඇස, කන හා උරස්ථලය නිරුපද්‍රිතව තබා අන් අවයව මත රත් කළ යවට තැබුම එකකි. කලවා, කෙණ්ඩ, තට්ටම් ඒ දණ්ඩනයට යෝග්‍යය ය. ඉවීම, අතුපතු ගෑම, කිරි දෙවීම, නෑගම් යාම වැනි ගෘහස්ත වගකීම් මුල් කොට පෙන්වා, විවාපත් ශිල්පීන්ගේ අවධානය සිඳින්නට හේතුපාදක වුණු ඔවුන්ගේ බිරින්ඳෑවන් සැඩොල් කුලයට එලවා දැමීම තවකෙකි.

එනමුත් ඒ කිසිවකට නොකැමැති වූ රජු මහත් දෙගඩියාවකින් යුතුව කල්පනා කරන්නට වූයේ පුරා හෝරාවකට රාජ සභාව නිශ්ශබ්ද කරමිනි. රජු විටක කම්මුල අතේ හොවා ගෙන හුන්නේ ය. සිය රාජධානියේ බොහෝ දේවල් සම්පාදනය කර දුන් නග්නජිත් හා ඔහුගේ ඥාති සහායකයින් වූ  නාරද, ගර්ග, විශාලාක්ෂ, බ්‍රහස්පති, නන්දීස ආදීන්ගේ සේවාව රජු සිය ස්මරණාක්ෂියෙන් දුටුවේ ය. වාස්තුවිද්‍යාවෙහි සර්වතොභද්‍ර වූ ඔවුහු තැනූ මහා ගෘහ, පාර්ශ්ව ගෘහ,  බලකොටු, ඇළවේලි, ශාලා, සහල් ගබඩා ආදිය රජුගේ සිත මැවුණේ සවිස්තරාත්මක වාස්තුපුරුෂ ගෘහලක්ෂණ සහිතව ය. ඒ ශිල්පී සේවාවට ජල යාත්‍රා සහිත විස්තීර්ණ නාවික වඩු කර්මාන්තය ද ඇතුළත් විය.

කුමක් කරම්දැයි සිතා ගත නොහැකිව වල්මත් වී සිටි රජු කෙමෙන් යථා සිහියට පැමිණියේ සියුම් නුවණින් හෙබි දාසියක විසින් දිගු කරන ලද මධු බඳුන පානය කිරීමෙන් පසු ය. මැලවුණු මුහුණින්, වැරහැලි පෙනුමෙන් හා සිපිරිගෙයි කෙඩෙත්තුවෙන් යුතු අග්‍ර ශිල්පී නග්නජිත් දෙස රවා ගෙන මෙන් ටික වේලාවක් බලා සිටි රජු විසින් නියම කරන ලද්දේ කිසිවකු බලාපොරොත්තු නොවුණු දණ්ඩනයකි.

ඒ කුමක් ද යත්, සිය රාජධානයේ ගිරිදුර්ග සහිත උඩරට කඳු පංති වටා කරකැවෙන අනතුරුදායක මාර්ග සතළිස අතරින් වඩාත් බියකරු වූ දුර්ග මාර්ග අතරින් තෝරා ගත් ඉතා අවදානම් සහගත මාර්ග රැසක නටබුන් ඉවත් කර නැවත පිළිසකර කිරීම ය. එය නග්නජිත් ඇතුළු ශිල්පීන් සමූහය එතෙක් කළ සිදු කරන ලද රාජකාරිය ම සේ පෙනුණු නමුත් චීන මහා ප්‍රාකාරය ඉදි කිරීමටත් වඩා අතිශයින් දුෂ්කර වෑයමක් විය. පසුගිය ව්‍යසනයෙන් පස්කණ්ඩි වැටී හරකෙකුටවත් යා නොහැකි අයුරින් මුළුමනින් අවහිර වී ඇති ඒ මාර්ග පාදා ගත හැකි නමුත් ඒවා දිවෙන්නේ එක පසෙකින් උස් පර්වතය ද අනෙක් පසින් නිම්හිම් නොදිස්වන මහා අගාධය ද අතරිනි. පාර මත පස් හෙළූ පර්වත හිසේ උසට වඩා පාර පහළ පාතාලයේ ගැඹුර විසිතිස් ගුණයකි. අහෝ ඒ මරුවැල් හා සමාන ගිරි මාර්ග අසකුගේ රැහැන් පටක් සේ අගාධ මුදුනින් විහිදුණි. ඒ මාර්ග මත ශිලා ස්ථාපනය කළ හැකි නමුත් ඒ සියල්ල නායයාමට නියමිත වූ එවා ය. දැනටමත් ඒවා රඳන බිම් ඉරි තලා ගොසිනි. පස ලිහිල් වී පාතාලය කරා පතිත වන්නා වූ දියඇලි ගහණ ය. සැඬ දියකඳ පාරවල් දිගේ ගලා ගොස් තිබුණේ යෝධ නගුල් භාවිතා කොට හාරා දමන ලද අයුරිනි. ඒ මාර්ග සියල්ල රාජධානි භූතලයේ ක්ෂේත්‍ර මර්මස්ථානයෝ වූහ.

ඒවා කඳුකර මාර්ග හා පතුලක් නොදිස්වන මහා අගාධ එකිනෙක හමුවන්නේ   දුටුවන් තූෂ්ණීම්භූත කරමිනි. උදා වලාකුළෙන් වැසී ඇති ඒ පාතාලය දිවා කල්හි බිහිසුණු ලෙස විවර වේ. එවිට පහළ ගංගා ද්‍රෝණි දිලිසෙන සේද තන්තු සේ දිස් වූ අතර ඒ පරස්පර සම්මුඛ ස්ථානවල මරුවා දිවා රෑ සක්මනෙහි යෙදී සිටියේ ය.  කඳුකර මාර්ගාසන්නයේ ගිරි පීඨිකා මත භාවනායෝගීව වෙසෙන යෝගාවචරයින් කලාතුරකින් දක්නට ලැබුණි. කිසියම් ස්ථානයක කඳුකර අයස්කාන්ත මලින් ගහන සමබිමක් වේ ද එහි ද අබමල් රේණුවක භූමිගත මධ්‍යස්ථභාවයක් නොවුණේ ය. ඒ ස්ථානය ද පා නොතැබිය යුතු මර්මස්ථානයකි. හිටිහැටියේ බිම විවර වන්නා වූ ඒ ස්ථාන මනබඳින ලෙස ඇටවූ මරඋගුල් විය. නුවණැතියෝ එහි පා නොතබති. පාංශුව ය, සමෝච්චය ය, ආතතිය ය, පීඩනය ය, ශුභය ය, අශුභය ය යන සියල්ල අතැඹුලක් සේ දන්නා ශිල්පීන් ඒ නිෂ්ඵල සේවයෙහි යෙදවීම විදග්ධ දණ්ඩනයකි. දෙතිස් වධයට ඇතුළත් වී නොතිබුණු ඒ රාජ දණ්ඩනය ගිරි දුර්ග දණ්ඩනය’ ලෙස වංශකතාදියට ඇතුළත් කෙරිණි.

රාජ ආඥාව පරිද්දෙන් චූදිත ශිල්පීන් හා ඔවුන්ගේ සුතනඹුවන් සියල්ලන් ද දංගෙඩියට ගෙන යන ලීලාවෙන් කර්කශ භේරි නාද කරවමින් කැඳවා ගෙන ගොස් ඔවුන්ගේ අඬා වැලැපීම් මධ්‍යයේ එහි පදිංචි කරවන ලද්දේ ය. ඔවුන් අඹු සැමි, දරු මුනුබුරු, බාල මහලු වෙනසක් නැතිව කාන්ඩවලට බෙදී වැඩ කළ යුතු වූ අතර මාර්ග පරිමාණ, ආයාම, දීර්ඝත්වය, නැඟුම බැස්ම, පාලම්, ආරුක්කු, ස්තම්භ යනාදියට සම්බන්ධ සියලු සිද්ධාන්ත තම තම ශිල්ප කෞශල්‍යයෙන් ඔවුන් විසින් ම පිළියෙල කර ගත යුතු විය.

සිය කර්තව්‍යයන් මහත් වේදනාවෙන් හා අවමානයෙන් යුතුව ආරම්භ කළ ශිල්ප සේනාංකයෝ ඒ මර්මස්ථානවලම අට්ටාල ගෘහ තනා ගෙන පදිංචි වූහ. දිවා රෑ සේවයේ යෙදෙන්නට ඔවුන්ට නියම විය. සෙබළු ආරක්ෂිත ස්ථානයෙහි සිට ඔවුන් දෙස බලා සිටියහ. අගාධයෙහි සිටින ඔවුන්ට ඉහළ අහසේ මෙන්  වැඩ කරන පිරිස් පෙනෙන්නේ කුරාකූඹින් ලෙසට ය. රාත්‍රි කාලයෙහි ඔවුන්ගේ ගිනි පන්දම් තරු කැට මෙන් දිලිසුණේ ය. ඇතැම්හු පාතාලයට වැටී මරු දුටුහ.

එනමුත් ශීඝ්‍රයෙන් මාර්ග ඉදි කිරීම් කටයුතු සිදු විය. එය පාතාලයට පෙනුණේ පියකරු දැක්මක් ලෙසිනි. හීලෑ කර ගත් කඳුකර හස්තීන් ඒ කටයුතුවලට උදව් කර ගැනුණි. ඔවුන් විසින් තනන ලද මාර්ග ඔවුන් විසින් ම විවෘත කරන ලද්දේ ය. හිතුවක්කාර කුමාරවරු හා සෙල්ලක්කාර සෙනවි පුත්‍රයෝ අසුන් පිට නැඟී ඒවායේ වේගයෙන් ගියේ දිවි පරදුවට තබන රණ කෙළියක නිරත වන අයුරිනි.

තනා අවසන් කළ සමහර කොටස් මෝසම් වැසි නිසා නැවත නාය ගිය අතර වැසි නැවතුණු වහා ඉදි කිරීම ඇරඹුණි. විශාල පරතරවලින් යුතු කොටස් සම්බන්ධ කෙරුණේ ය. ඕනෑ ම කලක මාර්ගයේ බොහෝ තැන හිස්ව තිබිණ. ඒ හිස් ස්ථාන මහත් ආයාසයෙන් පුරවන ලද්දේ ය. පාතාලයේ සිට දුන්නෙන් විදින හී පණිවුඩ මාර්ගයෙන් හා පයිණ්ඩකාර පරෙවියන් මාර්ගයෙන් අලුත් නියෝග රාජ්‍යාමාත්‍යයන් විසින් නිකුත් කරන ලද්දේ ය. කවදාවත් ඉදි කිරීම් කටයුතු අවසාන ය යන රාජ නිවේදනය නිකුත් කරන්නට නොහැකි විය.

උඩරට රජුගේ මරණය සිදු වන අවස්ථාවේ ද එහි ඉදි කිරීම් කටයුතු සිදු විය. රාජකීය අවමංගල්‍යයට පැමිණෙන විට නග්නජිත් මහල්ලෙකුව සිටියේ ය. නාරද හා ගර්ග මියැදී සිටියහ. ඒ සර්පයින් දෂ්ට කිරීමෙනි. විශාලාක්ෂ සියදිවි තොර කර ගෙන තිබුණි. බ්‍රහස්පති හා නන්දීස පලා ගොස් ඇති බව සැල විය.

නග්නජිත්ගේ පරපුර දරු මුනුබුරන් ලබා අනුකුටුම්භ බිහි වී, ඒ ගිරි දුර්ග පුරා පදිංචි ජනගහනය වැඩි වී තිබුණි. රාජධානි සංගණනයේ දී ඒවා ‘මර්මස්ථාන ජනාවාස’ හා ‘දණ්ඩන කුටුම්භ’ ලෙස සැලකුණි. පාසල්, සරසවි, දෙවොල්, ඔසුසල්, වෙළෙඳ ශාලා, නගර ශෝභනී කෝතා ගෘහ යනාදිය පමණක් නොව නඩුශාලා හා සිරගෙවල් ද බිහි වී සකලාංගයෙන් යුතු ලොවක ජීවමාන යථාර්ථය ඇති වී තිබුණේ සිත් ගන්නා අයුරිනි.

රාජධානියේ වඩාත් සුන්දර ස්ථාන හා ලතා මණ්ඩප සහිත ගිරි දුර්ග තානායම් තිබුණේ එහි ය. දඹදිවින්, යවන දේශයෙන් හා ඈත පෙරදිගින් ආ විදෙස් සංචාරකයෝ එහි යාමෙන් රාජධානියේ භාණ්ඩාගාරය පෝෂණය කළෝ ය. ඒ කර්මාන්තයට මුල පුරන ලද්දේ නොයෙකුත් අතුරු ආන්තරා මැද එහි ළගා වූ ධර්ම ගවේෂකයින් හා මිෂනාරින් විසිනි. කඳුකර මනස්කාන්ත මල් හා සුගන්ධිත කුළුබඩු රාජ සභාව වෙත යැවුණේ ය. මාර්ගයන්හි නිරන්තරව ඇති වන බියජනක හිඩැස් මත්තෙන් ඒ දේවල් විශාල බට කූඩ මාර්ගයෙන් ප්‍රවාහණය කෙරුණි. 

උඩරට පුරාණ ශිෂ්ටාචාරය බිඳ වැටී ගිය පසු ද ඒ කඳුකර මාර්ග ජාලය ඒ අයුරින් ම පැවතීමත්, විටින් විට පිළිසකර කිරීමත්, මහත් විනාශයන්ට විටින් විට භාජනය වීමත් අපූර්වත්වය වෙයි. ඒ මර්මස්ථාන පුරාණ ශිෂ්ටාචාරයෙන් වර්තමාන ශිෂ්ටාචාරයට උරුම වී වර්තමානයේ ද පරිහරණය වීම ඊටත් නොදෙවෙනි අපූර්වත්වයකි. පුරාණ ගිරි දුර්ග දණ්ඩනය ඒ අයුරින් ම අත්විඳීම නව ලොව ඉංජිනේරුවන්ගේ වෘත්තීය ආචාරධර්ම පද්ධතියේ ඇතුළත් සිද්ධාන්තමය කොන්දේසි වැකියක් වී තිබුණි. යම් කාලයක් එහි රාජකාරි නොකළ කිසිවෙක් පරිපූර්ණ ඉංජිනේරු වෘත්තීකයෙක් ලෙස නොපිළිගැනුණේ ය. ඇත්ත වශයෙන් ඒ දේශයෙහි මාර්ග ඉංජිනේරු සේවයට වරලත් රාජකීය මුද්‍රාවක් ලැබුණේ ඒ මාර්ගයෙනි. ඔවුන් හා එහි ගිය පුරාවිද්‍යාඥයෝ සිය කැණීම් මඟින් පුරාණ මාර්ග පාදම සොයා තහවුරු කරන්නට සමත් වූහ. එමඟින් තහවුරු කෙරුණේ උඩරට රාජධානියට බොහෝ පෙර කල්හි ද අන්‍ය ශිෂ්ටාචාරයකට අයිති මාර්ග එහි තිබුණු බව ය.   

More From Author

හේගල්ගේ ලිවීම් වැරදි ලෙස අර්ථකතනය කිරීම – චමිල් ජයනෙත්තිට පිළිතුරක් (අවසාන කොටස)

ටෙලිනාට්‍ය තිර රචකයකු ලෙසින් තමා මුලින්ම මගේ නිර්මාණ එළිදක්වන්නේ.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348