ටෙලිනාට්‍ය තිර රචකයකු ලෙසින් තමා මුලින්ම මගේ නිර්මාණ එළිදක්වන්නේ.

ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී නිලංක ඇලෙක්සෙන්ඩර් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ප්‍රශ්නය:  ඔබේ ලේඛන දිවියේ ආරම්භය සිදුවුනේ කොහොමද?

පිළිතුර: මගේ ලේඛන දිවියේ ආරම්භය කියා ඔබ අදහස් කරන්නේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වු මගේ ප්‍රථම කෘතිය නම්. එය ආරම්භ වන්නේ ජෙගන් නවකතාවත් සමගින්. ජෙගන් එළිදැක්වෙන්නේ 2021 වර්ෂයේ. නමුත් මගේ ලේඛන කටයුතු නම් ඊට වඩා ගොඩාක් ඈතයි. කෙටියෙන්ම කිව්වොත් ජෙගන් 2021 ජනගත වුවත් මං ජෙගන් ලියන්න පටන් ගන්නේ ඊටත් අවුරුදු 10කට පෙර සිටයි. ඒ කියන්නේ ජෙගන් අත්දැකීම් සියල්ල මගේ සිතේ ලියැවෙන්නේ ගොඩාක් ඈත අතීතයකට සිටයි. කොහොම නමුත් මං ලේඛකයෙක් එහෙමත් නැතිනම් සාහිත්‍යකරුවෙක් වෙන්න කලින් කතාන්දරකරුවෙක් එහෙමත් නැතිනම් කතා ලියන කෙනෙක් විදියට තමයි කේෂ්ත්‍රයට එන්නේ. ඒ කියන්නේ මං චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තිර රචකයකු ලෙසින් තමා මුලින්ම මගේ නිර්මාණ එළි දක්වන්නේ. ඒකට නම් කුඩා කළ සිටම මං ජීවත් වූ පරිසරය සහ මගේ පවුලේ අභාෂය මට ලැබුණා කියලා තමයි මට දැන් හිතෙන්නේ. මං කුඩා අවදියේ මගේ වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා ඒ අයගේ පාසල් පුස්තකාලයෙන් අරගෙන එන සුරංගනා කතාන්දර මායා කතන්දර පොත් මං හරිම ආසාවෙන් කියෙව්වා. ඒ වගේම ඒ යුගයේ ඒ කියන්නේ අසූව දශකයේ මැද බාගයේ චිත්‍ර කතා පත්තරවල එන හැම කතන්දරයක්ම පවා මං කියෙව්වා. මගේ දෙමව්පියන් ඒ සදහා කිසිඳු බාධාවක් මට දැම්මේ නං නෑ. ඉතිං ඒ කතන්දර කලාවත් එක්ක හැඩ ගැසුනු මගේ මනස පාසලට ගියාම යාළුවන් වටකරගෙන වාචිකව ඒ මොහොතේ ගොඩනගලා කියන කතන්දර කතා දක්වා විකාශය වුනා. නමුත් ඒ යුගයේ ලේඛනය කුමක්ද කතාවක් ගොඩනගන්නේ කොහොමද කියන ඒ තාක්ෂණයවත් එහි වෘත්තීමය භාවයවත් මං දැන ගෙන හිටියේ නෑ. ඒ හැම දෙයක්ම මං දැන ගන්නේ කැලණිය විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ.  විශ්ව විද්‍යාල අවදියේ මගේ ප්‍රියතම කේෂ්ත්‍රය වුනේ සිනමාව. ඉතිං මගේ එකම හීනය වුනේ කවදා හෝ දිනක මගේම චිත්‍රපටයක් ලියා අධ්‍යක්ෂණය කිරීම. ඒ වෙනුවෙන් මං ඒ යුගයේ සිනමාකරුවන් සහ කේෂ්ත්‍රයේ විද්වතුන් ඉතා සමීපව ඇසුරු කරා. ඒ පිළිබදව මනා ශාස්ත්‍රීය සහ තාක්ෂණික අධ්‍යයනක් කලා. ඒ නිසාවෙන් මං මේ වනවිට චිත්‍රපට කිහිපයකම තිර රචනය උදෙසා දායක්තවය ලබා දී තිබෙනවා. නමුත් අවාසනාවකට තවමත් මට මගේම කියා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ ඒ හීනය නං හැබෑ කරගන්න ලැබිලා නෑ. ඉතිං ඔබ ඇසු ප්‍රශ්නයට සෘජු පිළිතුරක් ලෙස මට දෙන්න පුළුවන් වන්නේ. සාහිත්‍යකරුවෙකු වෙන්නට ප්‍රථමයෙන් මම කතාන්දරකරුවෙක්. පසු කාලීනව ඒ පිළිබදව නිවැරදි තාක්ෂණය හැදෑරීමෙන් පසු තමා මම මගේම වූ නවකතා සහ කෙටි කතා ඇසුරෙන් ලේඛකයකු බවට පත් වන්නේ.  

ප්‍රශ්නය: ඔබේ අලුත්ම කෙටිකතා සංග්‍රහය අහසට දමා ගැසූ කවි කෙටි කතා සංග්‍රහය ඒ පිළිබදව සදහනක් කලොත්?

පිළිතුර: අහසට දමා ගැසු කවි කියන්නේ මගේ තුන්වන කෘතිය වාගේම දෙවන කෙටි කතා සංග්‍රහය. මගේ අනෙක් කෘතිවල වාගේම මේ කෘතියටත් පාදක වෙන්නේ සත්‍ය සිදුවීම්. ඒ සත්‍ය සිදුවීම් තුළ තිබෙන ඒ මානව බැඳීම් ඇතුලේ ඇති ඒ දේශපාලනය පිළිබදව තමා මං මගේ හැම කෘතියක් ඇතුළේම කතා කරන්න උත්සහ ගන්නේ. ඉතිං අහසට දමා ගැසූ කවි කියන්නේත් අන්න ඒ වගේ එකිනෙකට වෙනස් අත්දැකීම් ඇති කතා හයකින් සමන්විත කෙටි කතා පොතක්. මේ කතා හය පුරාවටම මට කියන්න ඕන කරපු දෙයක් තිබුනා. ඒ තමා අපි මේ ජීවත් වෙන ධනේෂ්වර ආර්ථික ධාවනය තුළ ගොඩනැගෙන සියළුම බැඳීම් හුදෙක් මිත්‍යාවන්ම පමණක් වන බව. ඒ කියන්නේ අපි හරිම ආසාවෙන් පූජනීයව පවත්වාගෙන යන සියළුම මානව බැඳීම් පවා මේ අර්ථක්‍රමය තුළ රාමු ගත වන්නේ ද්‍රව්‍යමය සීමාවට. ඒ නිසා ඒ සෑම ද්‍රව්‍යකම ඇති උපයෝගීතාවය මොහොතින් මොහොත ක්ෂය වීම නිසාවෙන් අවසානයේ ඒ සෑම බැඳීමකම ඇති වටිනාකම ඉතා ඉක්මනින්ම අහෝසිව යන බව පැවසිමට. ඉතිං අහසට දමා ගැසු කවි කෘතිය පුරාම මං කතා කරන්න උත්සහ දරන්නේ මෙන්න මේ ධනේෂ්වරය තුළ ගොඩ නැංවෙන ප්‍රේමය, විරහව, පළිගැනීම, ලිංගික ඊරිසියාව වැනි වූ ඒ සියලුම මානව බැඳීම් හුදෙක් අප අභ්‍යන්තරයේ හටගන්නා වූ ස්වීය තීන්දු තීරණ නිසාවෙන්ම සිදුවන දේවල් නොව ඒවා සෑම එකක්ම මේ භාහිර ක්‍රමය තුළ දේශපාලන සමාජයීය ආර්ථික හැසිරීම් වල සෘජු සහ වක්‍ර ප්‍රතිඵලයන් නිසාවෙන් සිදුවන දේවල් කියලායි. අහසට දමා ගැසූ කවි කෘතිය සම්මානනීය දෙමළ භාෂා පරිවර්ථකයකු වන රිෂාන් ෂරිෆ් විසින් සූරිය මර්තීන් තීප්පු නමින් දෙමළ බසට පරිවර්ථනය කරනු ලැබුවා. ඒ කෘතිය ඉන්දියාවේ චෙන්නායි පොත් ප්‍රදර්ශනයේදි බොහොදෙනාගේ පැසසුමට පවා ලක් වී තිබෙනවා. ‍දෙමළ භාෂාවෙන් ඒ කෘතිය කියවු පාඨකයින් මා හට පුද්ගලිකව පණිවිඩ තබමින් ඔවුන්ගේ ප්‍රසාදය තවමත් මා සමගින් බෙදා හදා ගනු ලබනවා. ඒ වගේම එහි ඇතුලත් කතා කැනඩාව ඇතුළු අනෙකුත් රටවල දෙමළ භාෂා සාහිත්‍ය සගරා සහ වෙබ් අඩවිවල පවා පළ කර තිබෙනවා. ලේඛකයකුට තමන්ගේ කෘතියක් මෙවැනි ආකාරයෙන් තමන්ව පුද්ගලිකව නොදන්නා මුහුදු හතක් එහා පාඨකයන් අතරේ සාකච්ඡාවට පැසසුමට ලක් වෙනවාය කියන්නේ මිළ කළ නොහැකි ආකාරයේ සතුටට කාරණයක්.

ප්‍රශ්නය: ඔබ විසින් ප්‍රකාශයට පත් කර ඇති අනෙකුත් කෘතින් පිළිබදව සදහනක් කළ හැකිද?

පිළිතුර: මං දැනට එක් නවකතාවක් සහ කෙටිකතා ද්විත්ත්වයක් ජනගත කර තියෙනවා. ජෙගන් තමා ඒ අතරින් නවකතාව. ජෙගන් නවකතාවට ප්‍රධාන වශයෙන් පාදක වන්නේ මෙරට වාර්ගික අර්බුධයේ එක් පැතිකඩක්. ජෙගන් නවකතාවට පාධක වෙච්ච ගොඩාක් අත්දැකීම් මං පුද්ගලිකවම ඇසු දුටු සහ වින්ද සිදුවීම්. ඉතිං ඒ සියල්ලම නිර්මාණයක් ලෙසින් පෙළ ගස්සවලා මං පෙළු ඒ වේදනාවන්, විරෝධයන් සහ දේශපාලන අභිලාෂයන් පාඨකයා සමඟින් බෙදා හදා ගැනීමක් ලෙසින් තමා මං ජෙගන් නවකතාවෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ. ඊට අමතරම මෙරට දේශපාලන ඉතිහාසයේ තෝරාගත් නිශ්චිත දේශපාලන සහ සමාජීය සිදුවීම් අටක් පාදක කරගනිමින් මම වසා දැමූ කතා කෙටි කතා සංග්‍රහය එළි දක්වනවා. වසා දැමූ කතා තුළ තියෙන ඒ කතා මෙරට ඉතිහාසයේ ප්‍රධාන ධාරාවෙන් සංවාදයට නොගෙන වසා දමමින් පවතින මාතෘකා කිහිපයක්. ඉතිං මට ඕනෑ වුනා අන්න ඒ ප්‍රධාන ධාරාවෙන් වසා දමමින් පවතින් ඒ ඉතිහාස කතා ප්‍රබන්ධානුකරණයෙන් හෝ ලියා තබා ඉතිහාසයට එකතු කරන්න. ඒ ඇතුලේ අසුවේ පූලි වැඩවර්ජකයකුගේ කතාවක්, ජේ.ආර්. ම.රමු ලෙසින් ජවිපේ විසින් රැගෙන ගිය සටන් පාඨකයක් නිසාවෙන් අසරණ වු පවුලක කතාවක්, 71 අරගලයේ සටන්කරුවන්ගේ කතාවක්, යාපනය පුස්තකාලය ගිණි තැබීමේ ආශ්‍රිතව අතුරු කතාවක්, එල්ටීටීඊ ගුවන් යානා විසින් කොළඹට එල්ල කළ ගුවන් ප්‍රහාරය පිළිබදව කතාවක්, පශ්චාත් යුධ අතුරුදහන් කිරීම් පිළිබද කතාවක්, ත්‍රස්තවාදි පණත යටතේ රදවාගෙන සිටින කාන්තා රැදවියක් පිළිබද කතාවක් සහ පශ්චාත් යුධ සමයේ මෙරට මුසල්මානුවන් කෙරෙහි දියත් වු ජාතිවාදි ප්‍රවේශය පිළිබදව කෙරෙන කතාවක්ද ඇතුළත්.

ප්‍රශ්නය: වර්තමාන සාහිත්‍ය නිර්මාණ පිළිබදව ඔබේ ඇගයීම කෙබදුද?

පිළිතුර: අපි හැමෝමටම කතාවක් තියෙනවා. ඒ කතා අපේ හිත් තුළ නිරන්තරයෙන් අඩු වැඩි වශයෙන් ලියැවෙමින් මකා දැමෙමින් පවතිනවා. ඒ අර්ථයෙන් ගත්තම අපි හැමෝම කතුවරු සාහිත්‍යකරුවෝ එහෙමත් නැතිනම් නිර්මාණකාරයෝ. නමුත් මෙතැන වෙනස වන්නේ අපේ ඒ හැම සිතුවිලි ප්‍රයත්නයක්ම මුද්‍රණ ද්වාරයෙන් පිටව නොයෑමයි. ඉතිං වර්තමානයේ ගත්තොත් සාහිත්‍ය නිර්මාණ ඒ කියන්නේ පොත් හිතාගන්න බැරි තරමට මුද්‍රණය වෙනවා. එළි දක්වනවා. ප්‍රදර්ශනවල දකින්නට ලැබෙනවා. සම්මාන උලෙලවල් නියෝජනය කරනවා. ඒවාට සම්මානත් ලැබෙනවා. මිනිස්සුත් ඒ සම්මාන සහතිකය සහ පුද්ගල චරිතයේ තියෙන ජනප්‍රියත්වය සළකා බලමින් ඒ පොත් වැඩි වැඩියෙන් මිළදි ගන්නවා. ඒ නිසා මේ ක්‍රමය තුළ සාහිත්‍ය සාර්ථකයි. ඒ කියන්නේ මේ ධනේෂ්වරය තුළ වෙළද භාණ්ඩයක් ලෙසින් සාහිත්‍යය සාර්ථකයි. නමුත් ඇත්තටම වර්තමානයේ රැල්ලට වාගේ උළෙලවල් ඉලක්ක කරගනිමින් වාගේ නිර්මාණය වන බොහොමයක් සාහිත්‍ය කෘති ඇතුලේ තියෙන දේවල් සාර්ථකද? සාහිත්‍ය කෘතියක් තුළින් සාමාජ පරිවර්තන හෝ ප්‍රගමන සිදුකල හැකිය කියන මිත්‍යාවේ මං නෑ. නමුත් සාහිත්‍ය නිර්මාණයකට පුළුවන් ඒ සාමාජයීය ප්‍රගමනය උදෙසා වන අවම බලපෑම නැතිනම් ඒ සියුම් කම්පනය සිදුකරන්න. ඉතිං අපි සළකා බලන්න ඕනේ රැල්ලට වැඩියෙන් අළවි වන කෘතින්වලින් ආන්න ඒ සියුම් කම්පනය අවම මට්ටමින් හෝ සිදුවෙනවාද කියන එකයි. මගේ අදහස නම් නෑ කියන එක. 

ප්‍රශ්නය: අවසාන වශයෙන් ඕබේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබදව විස්තරයක් කළොත්?

පිළිතුර: සාහිත්‍ය නිර්මාණ විදියට ගත්තොත් මේ දිනවල මගේ දෙවන නවකතාව වන ආමිකාරයා ලියමින් පවතිනවා. එයත් ඉතාම සෙමින් කල් අරගෙන ලියන කෘතියක්. ලබන අවුරුද්දේ මැද භාගය වෙද්දි එය අවසන් කරන්න හැකි වේ යැයි සිතනවා. හැබැයි ඉතිං කියන්න බෑ. මොකද, මං ලියන්නේ සහ මට ලියවෙන්නේ මගේ කාල රාමුවකට අනුව නෙමේ. මගේ නිර්මාණය විසින් ඉල්ලන කාල රාමුවකට අනුවයි. ඉතිං ඉවරයක් වෙන දිනයක් වේලාවක් නිශ්චිතව කියන්න බෑ. මීට අමතරව තිර රචනය පැත්තෙන් ගත්තොත් වෙනත් අධ්‍යක්ෂවරුන් උදෙසා සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතරතුර මගේම වූ සිනමා කෘතියක අධ්‍යක්ෂණයට අවශ්‍ය නිෂ්පාදකවරයෙක්ද සොයමින් සිටිනවා. 

ජෙගන්||Jegan සහ අනෙකුත් කෘති පිළිබඳ [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.

More From Author

ගිරිදුර්ග වස්තුව

වට්ටමඩු තෘණ භුමිය කිරි ගොවින්ට දෙන්න; ගංවතුරත් ඊට සාක්ෂියක්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348