වට්ටමඩු තෘණ භුමිය කිරි ගොවින්ට දෙන්න; ගංවතුරත් ඊට සාක්ෂියක්

මහත් විපත් ගෙන දුන්නු ගංවතුරේන් අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න තිස් දහසක් විතර ගව සම්පත රැක ගන්න පුළුවන් වුනේ වට්ටමඩු තෘණ භුමිය හින්දා. නැත්නම් කිරි ගොවියන්ට වෙන්නේ මහා විනාශයක්. ඒකයි අපි අවුරුදු ගානක් තිස්සේ මේ වෙනුවෙන් සටන් කරන්නේ. දැන් ස්වභාධර්මයත් ඔප්පු කරලා තියෙනවා වට්ටමඩු වල වටිනාකම තියෙන්නේ කිරි ගොවියන්ට කියලා. යැයි පැවසුවේ වට්ටමඩු කිරි ගොවි සමිතියේ සභාපති එස්.පුෂ්පරාජා.

එස්.පුෂ්පරාජා

යුද ගැටුම් අවසන් වීමෙන් පසු කිරි ගොවීන් හා වී ගොවීන් අතර ගැටුම ඇරඹෙන්නේ වට්ටමඩු තෘණ භුමියේ අයිතිය සම්බන්ධයෙනි. අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම අධිකරණය වෙත ගියත් දැනටමත් නීතිමය පැත්තෙන් වැඩි වාසි අත්කරගෙන ඇත්තේ කිරි ගොවීන් විසිනි.
වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජිතයන් වූ ඇමැති වසන්ත පියතිස්ස, ජාතික ලැයිස්තු මන්ත්‍රී අබුබකර් ආදම්බාවා මැදිහත්ව සාකච්ජා වට කිහිපයක් පැවැත්වුවද සමතයක් නොවිණි.

වට්ටමඩු තෘණ භූමියෙන් අක්කර 300 ක් මහ කන්නයේ වගා කරන්නට ඉල්ලන වී ගොවීන් අතර එකඟතාවයක් වෙනුවෙන් පැවති අවසන් කතා බහ පැවතියේ දිට්වා සුළි කුණාටු ව්‍යසනයට පෙරාතුවය. ඒ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අබුබකර් ආදම්බාවා ගේ ප්‍රධානත්වයෙනි.

සාකච්ජාවෙන් අනතුරුව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ 2024 අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව `තිරසාර වනාන්තර කළමනාකරණය තුලින් ඉඩම් ගැටළු නිරාකරණය“ රක්ෂිත වනාන්තර තුල පිහිටි ජනතාව විසින් දීර්ඝ කාලයක් වගා කළ ඉඩම් හඳුනා ගැනීමේදී එම ඉඩම් අක්කර 300 ද ඇතුලත් පරණ වට්ටමඩු නැමති හෙක්ටයාර් 200.5 සහිත ඉඩම් කොටස ඉඩම් කොමසාරිස් වෙත මුදාහැරීමට අන්තර් අමාත්‍යංශ කමිටුවේ අනුමැතිය හිමිව ඇතිබවය.

වී ගොවීන්ගේ ඉල්ලීමට ආණ්ඩුවේ සහාය ලැබුන ද, ඒ වෙනුවෙන් කිරි ගොවීන්ගේ එකඟතාවක් නොමැත. ඒ වට්ටමඩු තෘණ භුමිය පිළිබඳව අභියාචනාධිකරණයේ නඩුවක් විභාග වන බැවිනි. එය එළඹෙන දෙසැම්බර් මාසයේදී යළි කැඳවීමට නියමිතය.

වට්ටමඩු තෘණ භූමියේ ඉතිහාස කතාව දශක ගනනාවක් පුරාවට දිවයන්නකි. කිරි ගොවීන්ගේ අරගලය ඇරඹෙන්නේ යුද ගැටුම් නිමාවත් සමගින්ය.

දිගාමඩුළු දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වට්ටමඩු කිරි ගොවීන් වෙනුවෙන් තෘණ භූමියක් ලෙස 1972 නොවැම්බර් 19 වැනිදා මිණුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් මැනුම් කර මායිම් ලකුනු කෙරිණි.

එහි පළමු අදියර ලෙසින්, එවක සිටී දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත ඩි. විජේසිංහ විසින් 1974 අගෝස්තු 27 වැනිදා අක්කර 3850 ක වපසරියකින් යුතු වට්ටමඩු තෘණ භුමිය මායිම්, සිතියම් හා ලිඛිත නියෝග මගින් ප්‍රකාශයට පත් කලේය.

උතුරින් සහ බටහිරින් සාගම්ම,චම්මියදිකුලම් කරත්ත පාරේ සැතපුම් දෙක හමාරක් පමණ ගිය පසු හමුවන කරත්ත පාරත්,නැගෙනහිරින් රූපස් කුලමේ දකුණු ඉවුරත්, චම්මියකුලම් දකුණු ඉවුරේ වාන ඇරඹෙන ස්ථානයේ සිට රුපස්කුලමේ දකුණ ඉවුරේ වාන දක්වා දකුණින් මායිම් වන ලෙස වට්ටමඩු තෘණ බිම් සලකුණු කොට දැක්වේ.

1975 වසරේ දී සියලු මැනුම් කටයුතු අවසානයේ යළිත් අක්කර 4741 යි රූට් 02 ක වපසරියක් යුතු වට්ටමඩු තෘණ බිමක් ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන් වසකට අනතුරුව 1976 ජුනි 17 වැනිදා එවකට ජනාධිපති විලියම් ගොපල්ලව විසින් අක්කර 4000 කින් යුත් මේ වට්ටමඩු තෘණ භුමියක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේ කලින් වෙන් කර තිබු අක්කර 4741 යි රූට් 02 කෙන් අක්කර 741 යි රූට් දෙකක් වී ගොවීන් වෙනුවෙන් නිදහස් කරමින්ය.
තෘණ භුමිය මැනීම් කර මායිම් සලකුණු කර ගැසට් කළද එය පශු සම්පත් අමාත්‍යංශයට පවරා දීමක් සිදුකර නොතිබිණි.
80 දශකයේදී ඇරඹි යුද ගැටුම් සමගින් මෙම ප්‍රදේශය දෙමළ විමුක්ති කොටි සංවිධානයේ පාලනය යටතේ පැවති අතර කිරි ගොවීන්ට එහි යාමට ආරක්ෂක අංශවල අවසරයක් නොලැබුණි.

පෙරියනිලාවනෛ සිට තිරුක්කෝවිල් දක්වා සංගමන්කන්ද,කල්මුනෙයි, සයින්දමරුදු,කාරතිව්,නාවින්දවේලි,සමන්තුරේ,නින්දවූර්,අට්ටාලාච්චෙනෛ,අක්කරපත්තු, ආලවඩිවෙම්බු ප්‍රදේශ වල සිට පැමිණෙන කිරි ගොවීන් විසින් වට්ටමඩු තෘණ බිම් වෙත රැගෙන එන සිය ගවයන් 30,000 ක් පමණ ගාල් කිරීම සෑම තුන් මසකට වතාවක් දක්ක්නට ලැබෙන දසුනකි.

මේ අතර කිරි ගොවීන්ට තහනම් වුවද, වී ගොවීන් වෙත වට්ටමඩු කඹුරු අක්කර 300 ක් අස්වද්දන්නට දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවසරය ලැබුණි. මේ වී ගොවීන් බොහෝ දෙනා බලපත්‍ර රහිත අනවසර වගා කරුවන් බැවින් දිස්ත්‍රික් ලේකම් වරයා විසින් 2005 වසරේ මාර්තු 17 වැනිදා ලිඛිත නියෝගයක් මගින් ඔවුන්ට දන්වා සිටියේ එක් කන්නයක් පමණක් වගා කොට තිරසාර පිළියමක් යොදන තෙක් වගාවන් අත්හැර දමන ලෙසයි.

නැගෙනහිර යුද ගැටුම් නිමා වීමත් සමගින් වට්ටමඩු තෘණ බිම් වෙත සිය ගවයන් මුදාහරින්නට පැමිණි කිරි ගොවීන්ට දක්නට ලැබුනේ විනාශ කරනු ලැබූ වන ලැහැබ් හා ඩෝසර් කරනු ලැබූ මුඩු බිමක් පමණි. 2009 වසරේ රාජපක්‍ෂ ආණ්ඩුවේ දිස්ත්‍රික් දේශපාලකයන් වූ රවුෆ් හකීම්, ඒ.එල්.එම් අතාවුල්ලා වැනි දේශපාලකයන්ගේ අනුග්‍රය ලැබූ කණ්ඩායම් තෘණ භුමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන කුඹුරු අස්වද්දා තිබු බව එහි ගිය වට්ටමඩු කිරි ගොවීන්ගේ සංගමයේ සභාපති එස්.පුෂ්පරාජාට දැකගන්නට ලැබුණි. තෘණ භුමි හා වන විනාශයට එරෙහිව කිරි ගොවීන්ගේ අරගලය ඇරඹෙන්නේ එතැන්සිටය.
වට්ටමඩු තෘණ භුමිය ඩෝසර් කරලා, වන විනාශය කරලා තිබුනේ ආණ්ඩුවේ දේශපාලන බලයත් එක්ක. ඒ බලය හින්දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම කිසිම පියවරක් ගත්තේ නැහැ. අපි මේ ගැන පැමිණිලි කරා. පස්සේ අපි 2011 දී නඩු දැම්මා. ඊට පස්සේ තමයි මේ විනාශේ නවත්වා ගන්න ලැබුනේ එවකට නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ එස්.පුෂ්පරාජාට එරෙහිව නොයෙකුත් බලපෑම් මෙන්ම ජිවිත තර්ජන එල්ල වුවද දෙමළ,සිංහල,මුස්ලිම් ආදී සියලු ජනකොටස් වල සහයෝගයෙන් දියත් කෙරෙන ඔවුන්ගේ අරගලයට දාහතර වසකි.

2010 ජනවාරි පළමුදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ රජය, වට්ටමඩු තෘණ භුමිය අයත් ප්‍රදේශය ද ඇතුලත්ව බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතය රැක ගැනීමත්, වට්ටමඩු තෘණ භුමියේ ගවයන්ට වෙන්කළ ප්‍රදේශයේ ගවයන් ගාල් කිරීමට අවශ්‍ය අවසරය ඉල්ලා රජයේ වගකිව යුතු ආයතන ප්‍රධානින් 14 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කරමින් කිරි ගොවීන්ගේ සංගමය විසින් ගොනු කළ අංක 395/2011 දරන මුලික අයිතිවාසිකම් පෙත්සම අභියාචනාධිකරණයේ තවමත් විභාග වෙමින් පවතී.

පෙත්සම විභාග වෙමින් තිබියදීම දේශපාලන බලය යොදා ගනිමින් අනවසර වගා කරුවන් 31 දෙනෙකුට වැඩි පිරිසක් විසින් බලහත්කාරයෙන් බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතයේ තවත් අක්කර 1500 ක් පමණ විනාශ කරමින් සිටියදී තිරුක්කෝවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කිරි ගොවීන්ගේ පැමිණිල්ලකට අනුවය.

2013 වසරේදී වන රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වට්ටමඩු තෘණ භුමි අයත් වන බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතයට අනවසර වගාකරුවන්ට ඇතුල්වීම තහනම් කෙරිණි.

වී ගොවියන් පවසන්නේ 1968 කාල වකවානුවේ සිට ඔවුන්ගේ දෙමාපියන් වට්ටමඩු ආශ්‍රිතව කුඹුරු අස්වැද්දු බවය. එසේ දිගු කලක් වී ගොවිතැනේ යෙදුනු අයට 1985 දී ඉඩම් බලපත්‍ර ලැබුණි.

එහෙත් කිරි ගොවීන්ගේ සංගමය පවසන්නේ මේ බලපත්‍ර ව්‍යාජ ඒවා බවයි. උසාවියේ ඉල්ලීම පරිදි මේ බලපත්‍ර පිටපත් 525 ක් ගැන අම්පාර කච්චේරියේ සහකාර ඉඩම් කොමසාරිස් තුමා පරීක්‍ෂා කළා. ඒත් ඒවායේ කිසිම කාර්යාල පිටපතක් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වත්, ඉඩම් කොමසාරිස් කාර්යාලයේ වත් නැහැ. පුෂ්පරාජා පවසයි.

පරණ යාය, අලුත් යාය, තෝනිකල් යාය සහ වෙප්පඅඩි යාය නමින් වී ගොවිතැන් කෙරෙන ප්‍රදේශ නම් කිරීමත් ගැටළුවක් බව කිරි ගොවි සංගමය පෙන්වා දෙයි. මේ සියල්ලම අයත් වන්නේ වට්ටමඩු වලට

අනවසර වගාකරුවන් තෘණ භූමියෙන් ඉවත් කිරීමට කල්මුනේ මහාධිකරණය හමුවේ 2014 වසරේදී ගොනු කළ පෙත්සමට අනුව වැඩි වාසි අත්වුයේ කිරි ගොවින්ටය. එම තීන්දුවට එරෙහිව 2015 දෙසැම්බර් 17 වැනිදා අභියාචනාධිකරණයට ගිය වී වගාකරුවන්ට සිදුවුයේ නඩු ගාස්තු පවා ගෙවන්නටය. කල්මුන මහාධිකරණ ලබා දුන් තීන්දුව මෙහිදී සනාථ කෙරිණි.

2015 සැප්තැම්බර් 09 වැනිදා කිරි ගොවීන්ගේ පෙත්සම් විභාගය අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම්වරයා විනිසුරු හමුවේ කියා සිටියේ අනවසර වගා කරුවන් තෘණ බිමෙන් ඉවත් කරන්නට පියවර ගන්නා බවය.

තමන්ට අයත් අක්කර 4000 කින් යුත් වට්ටමඩු තෘණ භුමිය රැක ගන්නට කිරි ගොවීයෝ 269 දෙනෙකු පෙළ ගැසී සිටිති. ඔවුන් සාමාන්‍යයෙන් දිනකට දොවා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් දෙදහසකි. පනන්කාඩු වල කිරි මිලදී ගන්නා ස්ථානයක් ද ක්‍රියාත්මක වන්නේ ද කිරි ගොවින්ගේ පහසුව තකාය.

එළ හා මී ගවයෝන්ට තියෙන එකම තෘණ භුමිය මේක විතරයි. මේකේ වගා හරියන්නේ නැහැ. මොකද කාලෙකට මේක අලිමංකඩක්. අපේ කිරි ගොවියොත් හතර දෙනෙක් අලි ගහලා මැරුණා. කන්තායි පාරේ, උහන, බුද්ධංගල. වට්ටමඩු හරහා පොතුවිල් කුමන වගේ පැතිවලට විශාල අලි රංචු එනවා. කොහොමත් මාස තුනක් විතර වුන් මේ පැත්තේ ඉන්නවා. මේ පැත්තේ වගා කරන්න ගත්තහාම ඉතිං ඔන්න අලි ප්‍රශ්නේ එනවා. ඒවා ගැනත් බලන්න ඕනේ. ඒ කිරි ගොවි නායක පුෂ්පරාජා ගේ අදහසයි.

අක්කර 4000 ක වට්ටමඩු තෘණ බිම කිරි ගොවියන්ගේ උරුමයක් බැවින් ආණ්ඩුවේ වගකීමක්. දිස්ත්‍රික්කය පුරා ඉඩම් හෙක්ටයාර් 1,55,000 ක විතර වී වගා කරනා බව ඔහු අවධාරණය කරයි.

තෘණ භූමියට අයත් අක්කර 4000 මැන මායිම් සලකුණු කිරීමෙන් අනතුරුව වී ගොවීන්ට ලබා දෙන ඉඩම්, ලාහුගල, තිරුක්කෝවිල්,ආලම්බුවඩ්වෙම්බු, අක්කරපත්තු සහ අට්ටලච්චෙන රැකියා විරහිත සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණයන් අතර බෙදා දෙන ලෙසද කිරි ගොවියෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

More From Author

ටෙලිනාට්‍ය තිර රචකයකු ලෙසින් තමා මුලින්ම මගේ නිර්මාණ එළිදක්වන්නේ.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): ජාතික ජන බලවේගයට මඟ වැරදී ඇත්ද?

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348