සමසමාජයට අනූවයි….

2025.12.18 දින ලංකා සමසමාජ පක්ෂයට වසර 90 ක් පිරීම නිමිත්තෙන් මුල් දින කවරයක් සමග සමරු මුද්දරයක් නිකුත් කිරීම මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී සිදු කෙරුණි.මෙරට නිර්ධන පංතිය සිය දේශපාලන ගමන් මගේ මුල් පියවරයන් හඳුනාගත් මාවතක අනූ වෙනි මංසන්දිය වෙත පිවිසීමේ සැමරුම ප්‍රශංසනීය අවස්ථාවකි.මෙම මං සළකුණ වෙත පක්ෂය පිවිසෙන්නේ විවිධ දේශපාලන අත්දැකීම් රැසක් සමගිනි.

ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමේදී මූලික කරගත් අරමුණු, අභිප්‍රායන් සඵල වී ඇති බව මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩියු ගුණසේකර සහෝදරයා ප්‍රකාශ කර සිටියේය.ඊට අමතරව කම්කරු හා මිනිස් අයිතීන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කර ඇති බවද සදහන් කළේය.මෙහි විශේෂත්වය වන්නේ ල.ස.ස.ප.යේ මුල් කාලීන සටන් ක්රියාන්විත දිග හැරුණේ ලොව බලවත්ම අධිරාජ්‍යවාදයකට ශ්‍රී ලංකාව යටපත්ව සිටි යුගයක වීමයි.එහි ප්‍රශංසනීයත්වය ප්‍රතික්ෂේප කළ නොහැක.

ගත වූ වසර 90 ක කාල පරිච්ඡේදය දෙස නැවත හැරී බැලීමේදී මෙම ජයග්‍රහණයන් අද වන විට ආරක්ෂා වී තිබේද ? එම ජයග්‍රහණයන් රැක ගැනීමේ අර්ථදායි ක්‍රියාන්විතයන් වෙත යොමු වී තිබේද ?යන්න විමසිය යුත්තකි.ජාතික ස්වාධිපත්‍යය, පූර්ණ නිදහස ලංකා සමසමාජ පක්ෂයේ පූර්ණ මැදිහත් කමෙන් සකස් කෙරුණු 1972 ජන රජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත් වූ බව අදහස් කළද අද වන විට පවත්නා යථා විග්‍රහය තුල මෙහි සුපැහැදිලි අර්ථාන්විත බවක් නිරූපණය වේද යන්න ප්‍රශ්නගතය.දිනාගත් අනිකුත් අයිතීන් සම්බන්ධයෙන් ද පවත්නා තත්ත්වය එයයි.

එක් පැත්තකින් මෙම විදහා දැක්වීම් අභිවාදනයන් හා අතීත ස්මරණයන්ට පමණක් සීමා වී ඇත.ඇති වූ තත්ත්වයන් පිළිබඳ ස්වයං විවේචනයන් අල්පය.මේ සම්බන්ධයෙන් ඇතිවන විවාදයන් ගණනාවකි.ලංකා සම සමාජ පක්‍ෂයේ සටන් ක්‍රියාවලියේ දීප්තිමත් යුගය වර්ථමානයෙන් තවත් වසර 70 ක පමණ අතීතයට දිව යයි.නමුත් අද පවතින්නේ නව ලිබරල්වාදයේ ශක්තිමත් හස්තය ඉදිරියේ එක්ව සටන් වැදීමට පසු බා සිටින වාම ව්‍යාපාරයක් බවට මතුවෙන විවේචන ගණනාවකි.අද ලංකා සමසමාජ පක්ෂයේ හා ලාංකේය වාම ව්‍යාපාරයේ 90 වෙනි සැමරුම පවත්වන්නේ මෙවැනි වට පිටාවකදී ය.

මෙහි හැරවුම් ලක්ෂය 1964 සභාගවාදය මත සටහන් විය.ඉන් අනතුරුව 1935 සිට ඉදිරියට පැමිණි සටන්කාමී දේශපාලන ගමන් මග බිඳ වැටීම් ගණනාවකට හසු විය.පක්ෂයේ පූර්ව ගමන් මාර්ගයේ උත්කර්ෂවත් සටහන් 1940 ගණන් වලදී මෙරට සමාජ දේශපාලනයේ මතු වූ ස්ව භාෂා ගැටලුව තුල සටහන් වේ.එහිදී ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාන්විතය සමාජවාදී දේශපාලනයේ කාහල නාදය හඬ නැංවීමට සමත් විය.මෙවක පීඩිත ජාතීන්ගේ හා කම්කරු අයිතීන් වෙනුවෙන් දියත් වූ අරගලයට පක්ෂය දුන් නායකත්වය මෙරට සමාජවාදී දේශපාලනය දීප්තිමත් කළේය.නමුත් සභාගවාදයේ කඩතුරාව හමුවේ එය තවදුරටත් ආලෝකමත් වූයේ නැත.

මෙම පරාජයන් කපා දමමින් සමාජවාදී දේශපාලනය පෙරට ගැනීමට විවිධ කණ්ඩායම් මව් පක්ෂයෙන් කැඩී ගිය අන්දම ල.ස.ස.ප.යට වසර අනූවක් සපිරෙන මේ මොහොතේ සිහිපත් කළ යුතුය.එම ඇතැම් කණ්ඩායම්වල නමේ මුලට යොදා ගත් ‘විප්ලවකාරී’ ,’වාමවාදී ‘යන උත්තුංග පාඨ පවා වචනවලට පමණක්ම සීමා විය.එම පක්ෂවල ඇතැම් ක්රියා මාර්ග ජාති ආගම්වාදී ගොහොරුවේ පතුලටම කිදා බැස්සේය.තවත් කණ්ඩායම් ගමන් කළේ ලිබරල්වාදී අන්තයන්හි දෑත් සවිමත් කිරීමටය.ඇතැම්හු වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතීන් දිනා ගැනීමේ අදහස් පමණක් මුල් කරගත් වෘත්තීය සමිතිවාදය තුල හිස සඟවා ගත්හ.

තවත් කණ්ඩායම්වල අදහස වූයේ සමාජවාදී ගමන අත්හැර ධනේශ්වර ප්‍රජාතන්ත්රවාදය ජයග්‍රහණය කරවීමයි.නමුත් ඉන් ජනිත වූ ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණයක් නොමැත.සිදු වූයේ කම්කරු පංතියට බලවත් පරාජිත තත්ත්වයන් වැළඳ ගැනීමට සිදුවීම පමණි.2020 න් පසු මෙරට ජන සමාජය අත්දුටුවේ,එම ව්‍යාකූල පසුබිමයි.මතු වූ අරගලකාරිත්වයෙන් අනතුරුව බලයට පත් වූ ප්රජාතන්ත්රවාදයේ අසහාය නායකත්වය සිදු කළේ ප්‍රජාතන්ත්‍රීය අයිතියේ ගෙල සහමුලින්ම සිඳ දැමීමයි.

නමුත් රටේ ජනතාව නිර්ධන පංතියේ දේශපාලන ජයග්‍රහණයන් ගැන නොසිදුනු බලාපොරොත්තුවකින් පසු වෙති.මෙම උත්සව සමරුවේදී එම අභිලාෂයන් වරින් වර මතු විය.”අප අතර විවිධ මතවාදයන් පැවතියද එක් අවසන් අරමුණක් වෙත එක්ව ගමන් කිරීමේ අදහස අත්හැර නැත.නව ලිබරල්වාදය නමැති මහා පිළිකාවෙන් මිදීමේ අවශ්‍යතාවය ඉවත දමා නොමැත.ඔබ මේ පැමිණ සිටින්නේ එම අරමුණ වෙත ඉදිරි ගමන් මග සකස් කරන මහ ගෙදරටයි” යනුවෙන් මෙම උත්සව සභාව අවසානයේ ලංකා සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය නායක එස්.හපු ආරච්චි සහෝදරයා, සිය ස්තූති කථාවේදී කළ ප්‍රකාශනයේද ගැඹුරු අර්ථයක් ඇත.

More From Author

තරිඳුගේ  රහස

පසුතැවිල්ල

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348