සරත් මුණසිංහ ආරච්චි:
අලුත් ගුරුතුමිය පන්තියට පැමිණියාය. ඇය ඇඳ සිටියේ මල් වැටුණු සාරියකි. තනිකරලට ගෙතු කොණ්ඩය පිට දිගේ වැටී තිබුණි. කිරි පැහැති දත් පෙන්නා සිනාසුන ඇය ආයුබෝවන් දරුවනේ යැයි දෑත් එක්කොට ඉතා මිහිරි හඬින් පැවසුවාය.
“අපි දැන් කතා කරන්නේ සුරතල් සතුන් ගැන”යි. පැවසූ ගුරුතුමිය දවසේ අවසාන පාඩම ආරම්භ කළාය. ගිරවා, මයිනා, සැළලිහිණියා වැනි කුරුල්ලන් ගෙවල්වල සුරතලයට ඇති කරන බැවු ගුරුතුමිය ප්‍රථමයෙන් පැහැදිලි කර දුන්නාය.
“අලියා ගෙවල්වල ඇති නො කරන්නේ මන්දැ”යි තුෂාර නැගූ ප්‍රශ්නයෙන් මුළු පන්තියම සිනහ සාගරයක ගිලුණේය.

තම මේසයට වේවැලෙන් පහරක් ගැසූ ගුරුතුමිය පූසා ගැන දීර්ඝ විස්තරයක් ගෙනහැර පෑවාය. මීයන් ඇල්ලීමේදී පූසා පෙන්නන දක්ෂකමත් ගස් නැග බැසීමේදී ඌ පෙන්වන අදක්ෂකමත් පැහැදිලි කර ගුරුතුමිය, “එහෙත් පූසා මොනතරම් අහිංසක මොනතරම් කීකරු සතෙක්දැ”යි පවසා සිටිද්දී කෟමදීගේ කුඩා දෑසින් කඳුළු බිඳු ගලා හැලෙන්නට වුණි.
තම මේසය අසලට කෟමදී කැඳවූ ගුරුතුමිය, “බබා ඇඬුවේ මන්දැ”යි විමසා සිටියාය.
“මගේ නැති වූ කිටිය මතක් වුණා”ය පැවසූ ඇය බිම බලා ගත්තාය.
ඇයගේ හිස අත ගා ඇය යළිත් අසුන වෙතට පිටත් කළ ගුරුතුමිය කළු ලෑල්ල වෙතට ළං වී මෙසේ පැවසුවාය.
”මම දැන් බෝඩ් එකේ ලියනව සුරතල් සතුන්ගේ නම්. ඒ සුරතලුන් ඔය ළමයින්ගේ ගෙවල්වල ඉන්නවා නම් ඒ අය අත් ඔසවන්න ඕන.”
ළමයින් නැගූ ප්‍රීති ඝෝෂාව සොම්නසින් කන් දී ගෙන සිටි ගුරුතුමිය වේවැල ගෙන යළිත් මේසෙට පහරක් ගසා රට හුණු කෑල්ල ගෙන කළු ලෑල්ලේ “පූසා “යයි ලීවා ය. පන්තියේ තුන් දෙනෙකු හැර අනෙක් සියලු ම දෙනා තම කුඩා අත් ඉහළට ඔසවා ගෙන ප්‍රීතිමත් දෑස් වලින් ගුරුතුමිය දෙස බලාගෙන සිටියෝය.
සිනා සුණ ගුරුතුමිය, “දැන් අත් පහළට දමන්න”යි පවසා කළු ලෑල්ලේ “බල්ලා” යැයි ලීවාය. එවිට පන්තියේ හතර දෙනෙකු හැර අනෙක් සියලුම දෙනා ම අත් ඉහළට එසෙවුවෝ ය .
යළිත් සිනාසුනු ගුරුතුමිය දැන් අත් පහළට දමන්නයි පවසා ගිරවා යයි ලීවාය. එවිට පන්තියේ දෙදෙනෙකු හැර අනෙක් සියල්ලෝ ම තම දෑත් පහළට හෙළාගෙන උදාසීනව අවට බලමින් සිටියෝය.

ගුරුතුමිය කළු ලෑල්ල මකන කොට්ටය අතට ගනිද්දීම පුටුවක්ද පෙරළාගෙන තරිඳු ඇය අසලට දුවාවේය. පුදුමයෙන් ඔහු දෙස බැලූ ගුරුතුමිය “ඇයි පුතේ විමසා කොට්ටය මේසය උඩට අතහැරියාය. මීදුමක් සේ ඉන් ගලා ගිය හුණු කූඩු දෙස තරිඳු ආසාවෙන් බලා සිටිද්දී “ඇයි බබෝ “යයි යළිත් විමසූ ගුරුතුමිය දෙසට කල බලයෙන් හැරුණු ළමයා, “ටීචර් බෝඩ් එකේ” ‘හෝතඹුවා’ කියලා ලියන්නයි” පවසා යළිත් අසුන වෙතට දිව්වේය.
කල්පනාබරිතව තම මේසය දෙසට ගිය ගුරුතුමිය මදක් නැවතී සිට යළිත් කල්පනාබරිතව කළු ලෑල්ල අසලට ගැටුවාය. විනාඩියකින් බිම බලාගෙන සිටි ගුරුතුමිය කලබලයෙන් කළු ලෑල්ල පිස දමා හෝතඹුවා යයි ලීවා ය.
ඒ සැනින් නැගිට ගත් තරිඳු ආඩම්බර ලීලාවකින් වටපිට බලමින් සිය අතක් ඉහළට ඔසවාගෙන සිටියේය. “තරිඳු අත පහළට දාලා මෙහාට එන්නකො පුතා ඉස්සරහට” යැයි පැවසූ ගුරුතුමිය වහා තම පුටුවෙහි වාඩි වූවාය.
ගුරුතුමිය වෙත යළිත් දුවගිය තරිඳු ගුරුතුමිය අසල නැවතී ඇය ඇඳ සිටි ඔසරියේ මල් වැල් දෙස බලාගෙන සිටියේය. “පුතාලගේ ගෙදර සිටින සුරතලා හෝතඹුවා දැයි” ඔහුගේ හිස අතගාමින් ගුරුතුමිය විමසා සිටියදී අමුතු ලෙස සිනාසුන තරිඳු කළබලයෙන් නැවත අසුන වෙත දිව ගියේය.
ගුරුතුමිය දෙසත් තරිඳුර දෙසත් මාරුවෙන් මාරුවට කුතුහලයෙන් බැලූම් හෙළන ළමයින් දෙසට අඟල් කාලට කැඩී ඇති රට හුණු කෑල්ල දික් කොට පෙන්නූ ගුරුතුමිය යළිත් පාඩම පටන් ගැනීමට සැරසෙද්දීම පාසල අරින සීනුව නාද වුණි. මහා ඝෝෂාවක් නගා සමු ගැනීමට සූදානම් වූ ළමයින් තුළින් දකින දවසේ අවසාන ගාල ගෝට්ටිය දෙස පසෙඑකට වූ ගුරුතුමිය ආදරබර දෙනෙතින් බලා සිටියාය.
ළමයින් පිටවී ගිය පසුත් සිය පුටුවේ රැඳී වැඩක නිරත වූ ගුරුතුමිය අසලට තරිඳු යළිත් දුවගෙන ආවේය. ළමයා දෙස බැලූ ගුරුතුමිය “ඇයි පුතේ” යයි විමසා සිටියාය.
“ටීචර්” කාටවත් කියන්න එපා… අපිට හෝ තඹුවෙක් නැහැ. මම බොරුවට කිව්වේ” යැයි වටපිට බලමින් ඉතා සෙමින් පවසා සිටියේය. “ඇයි” පුතේ බොරු කිව්වේ යැයි විමසූ ගුරුතුමිය ළමයා දෙස යළිත් පුදුමයෙන් බලා සිටියාය. “මට” දිනන්නැයි පැවසූ තරිඳු ආපසු හැරී දුවගොස් නොපෙනී ගියේය.
සිය බෑගය අතට ගෙන පුටුවෙන් නැගිට ගත් ගුරුතුමිය තරිඳුගේ රහස කිසිම දිනක කිසිම කෙනෙකුට නොකියන බැව් සිතා ගනිමින් සිය නළලේ දහඩිය බිඳු පිස දාගත්තාය.

සරත් මුණසිංහ ආරච්චි -Sarath Munasinghe Arachchi





