සංජීවනී රූපසිංහ:
නායකත්වයට පත් වීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හැකි වූවකි. එහෙත් වැඩිපුර සිටින්නේ නායකයන්ය. ඉතිහාසයේ නායිකාවන් අඩුය. එසේ වූයේ ඇයි? පිරිමින්ට පමණක් තීරණ ගත හැකිය, පිරිමින්ට පමණක් අභියෝගවලට මුහුණ දිය හැකිය, පිරිමින්ට පමණක් කණ්ඩායම් මෙහෙයවිය හැකිය පිරිමින් පමණක් උගත්ය, පිරිමින් පමණක් බුදුධිමත්ය යන ඉපැරණි මතය පැමිණෙන්නේ පුරුෂ මූලික සමාජ ආකල්ප නිසාය.
අද වන විට එය පිරිමින්ට පමණක් දේශපාලනයේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය හැකිය යන ආකල්පයක් ද නිර්මාණය වී ඇත.
ලාංකීය රාජාවලියේ ස්ත්‍රී රජ වී ඇත්තේ කෙතරම් සුලු ප්‍රතිශතයක් ද ?
ලෝකයේ පළමු අගමැතිනිය අපේ රටේ යැයි අපට උදම් විය හැකිය.එහෙත් එය පද්ධතිමය වෙනසක් තුළින් පැමිණි දෙයක් නොවන නිසා ස්ත්‍රී නියෝජනය වැඩි වූයේ නැත. සම්ප්‍රදායික වැන්දඹු දේශපාලනයෙන් ඔබ්බෙහි රටට ස්ත්‍රී නායකත්වය අවශ්‍යය. මහ පොළොවෙන් ස්ත්‍රීන් නායකත්වයට පැමිණිය යුත්තේ එබැවිනි.

වෙනත් දියුණු රටවල ස්ත්‍රී නියෝජනය දෙස බලන්න. එම ස්ත්‍රීන් කෙතරම් ප්‍රශස්ත තීරණ ගන්නවාද?
ඔවුන්ගේ නායකත්වයේ සෘජු හා මෘදු ආකාර අප හඳුනා නොගන්නේ ඇයි?
ඕනෑම විෂයයක් ඉගැන්වීමෙන් පුහුණු කළ හැකිය. නායකත්වය පත් වීම ද පුහුණු කළ හැකිය. එය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අදාලය.

රටේ ජනගහනයෙන් බාගයක් ස්ත්‍රීන්ව සිටියදී නායකත්වයේ වැඩි ප්‍රතිශතය පිරිමි වීම අනෙක් අතට අසාධාරණය. සියයට පනහක් වු ගැහැණුන්ට සියයට පනහක් වූ පාර්ලිමේන්තු නියෝජනනයක් ලබා ගත නොහැක්කේ ඇයි? ගැහැණු පාර්ලිමේන්තු ගියොත් ඔක්කොම හරි යනවද මේ ගැහැණු පිරිමි ප්‍රශ්නයක් නොවේ යනාදී බොහෝ මති මතාන්තර ඇත. එහෙත් ස්ත්‍රී නායකත්වය වැඩි කිරීම මූලික මිනිස් අයිතියකි.
ස්ත්‍රී ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ස්ත්‍රීන් අවශ්‍යය යන්න එක්තරා පටු දාශ්ටි කෝණයකි. ස්ත්‍රී ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම පමණක් නොව පොදු මිනිස් අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට ඇය තීරණ ගන්නා ස්ථානවල සිටිය යුතුය.
කණ්ඩායම් නායකත්වය දැරිය හැකි, ඉතා යහපත් තීරණ ගත හැකි, තාර්කිකව කතා කළ හැකි, සාධාරණ ලෙස සිතා තීරණ ගත හැකි උගත් බුදුධිමත් ගැහැණු රටේ ඕනෑ තරම් ඇත. ඔවුන් රටේ නායකත්වයට ගෙන ඒමට පොදු මහජනතාවගේ ආකල්ප වෙනස් විය යුතුය.
ගැහැණන් පහත් කරන, ගැහැණුන්ගේ චරිතය විනාශ කරන, අවර ගනයේ සංස්කෘතියෙන් මිදෙන්නේ නම් ගැහැණියගේ දේශපාලන ගමන වඩා ස්ථාවර වනු ඇත. ඒ සඳහා රටට ස්ත්‍රී පුරුෂභාවමය වශයෙනන් සංවේදී නීති තිබිය යුතු අතර ඒවා ක්‍රියාත්මක වීම කඩිනම් විය යුතුය. පාසල් පද්ධතියේ සිට ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳ පාඩම් පෙළ පොතට ඇතුළත් කළ යුතුය.

ස්ත්‍රී කෝටා එක මෙන්ම ඔවුන්ගේ ශක්‍යතා දියුණු කරන ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

සංජීවනී රූපසිංහ –Sanjeewani Rupasinghe
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.





