ශක්තික සත්කුමාර:
”මිස්ටර් කුලරත්න. කෝල් එකක්…” සහකාර ලේකම් කපුකොටුව මහතා උස් හඬින් කියා රිසිවරය පසෙකින් තැබීය. කරමින් සිටි කාර්යය මඳකට නතර කළ මම කපුකොටුව මහතාගේ මේසය දෙසට යන්නට වීමි.
”හෙලෝ…”
”අයියේ, මම මේ කුමුදිත්”
”ආ… ඔව්… මල්ලී කියන්න..”
”අයියේ…. මෙහෙ මළගෙයක් වෙලා…. අපේ මාමාගේ පුතා නැති වෙලා…. ඇක්සිඩන්ට් එකකින්”
”කවුද? දිනේෂ් ද? ”
”ඔව්…. මම ඔයාගේ ෆෝන් එකට ගත්තා වැඩ කළේ නෑ… අක්කට නම් කීවා”
මගේ බිරිඳගේ මල්ලි තවත් මොන මොනවා දෝ කියාගෙන ගියේ ය.

නමුත් ඔහු කියන දේවල් ඇසීමේ උවමනාවක් හෝ අවශ්‍යතාවයක් මා තුළ නොවීය. මගේ සිතට නැඟී ආවේ එක්තරා ප්‍රීතියකි. දිනේෂ් … අනූෂාගේ මස්සිනා.
”කවු මචං කතා කරේ..?” මා පැමිණ පුටුවේ වාඩි වන විට ම එහා මේසයේ සිටි නිමල් ඇසුවේ ය.
”අනූ ගේ මල්ලි…. අනුලගේ මාමගේ පුතා නැති වෙලා …. ඇක්සිඩන්ට් එකකින්”
”මිනිහට වයස කීයක් විතර ද?” නිමල් බැරෑරුම් මුහුණක් මවා ගත්තේ ය.
”අපේ වයස ම තමා මචං.. ”
”මිනිහ මැරි කරලද?”
”නෑ…”

මම පුටු ඇන්දට හේත්තු වී වීදුරු කවුළුව තුළින් පිටත බැලූවෙමි. ‘ප්‍රාදේශීය ලේකම් කාර්යාලය- වාරියපොල’ ප්‍රධාන ගේට්ටුව අසල හරහට සිටුවා ඇති සුදු පැහැ පසුබිමක කළු අකුරින් ලියැවී තිබුණු පුවරුම මගේ නෙත ගැටුණි. එක්වරම යමක් මතක් වූ නිසා මම කලිසම් සාක්කුවට අත යැවීමි. දකුණතෙහි පැටලී ආවේ මගේ සෙල්ෆෝනයයි. එය ‘ඔෆ්’ වී තිබුණි. මම එය ‘ඔන්’ කළෙමි. ඒ විගස තිරයේ දිස් වූයේ බැටරිය මඳ බව කියන ඉංග්‍රීසි අකුරු පේළියයි. තත්පර කීපයක් පණ ඇද්ද සෙල්ෆෝනය නෙත් පියා ගත්තේ ය. මම ඔරලෝසුව දෙස බැලූවෙමි.
”කුලේ.. අදම මළ ගෙදර යනවාද? ” මා අත් ඔරලෝසුව දෙස බලනවා දුටු නිමල් ඇසුවේ ය.
”දැන් වෙලාවක් නෑ…. දෙකත් පහුවෙලා…. හෙට දිහාට යනවා..”
නැවතත් මම කරමින් සිටි කාර්යය ඇරඹීමි. එය කිරීමට තරම් සිතක් මට නොවීය. මගේ සිත ක්‍රෝධය, වෛරය, පසුතැවීම යන මේ සියලූ ක්ලේෂයන් අතර එහාටත් මෙහාටත් පා වෙමින් ඇත. මට අනූෂා කෙරෙහි ඇතිවූයේ වෛරයකි. මුලින් ම කුමුදින් මල්ලි මේ ආරංචිය කියන්න ඇත්තේ අනූෂා ට. ඇයි? අනූ මට කතා නොකළේ? මල්ලි ලවා ම කියෙව්වේ? නෑ අනු මගේ ෆෝන් එකට ගන්න ඇති. ඔෆිස් එකට අරන් ආරංචිය කියන්න බය වෙන්න ඇති. මම බනී කියලා. අනූගේ කටින් දිනේෂ් කියන වචනය පිට වෙද්දී මම කොහොමත් යකෂාවේෂ වෙනවනේ. මේසය මත වූ ලියවිලි එවර මා දුටුවේ බොඳ ව ගිය සිත්තමක් පරිදි ය. ෆයිල් කවරය වසා දැමූ මම නිමල්ගේ මේසය දෙස බැලූවෙමි. ඔහුගේ පුටුව හිස් ය. කාර්යාලය පුරා ම ඇත්තේ හිස් බවකි.
අමාරුවෙන් හුස්ම ගන්නා රෝගීන් පරිද්දෙන් කාර්යාලයේ විදුලි පංකා හඬ නගයි. ක්ෂේත්‍ර නිලධාරින්ගේ බොහෝ පුටු හිස්ව ගොසින් ය. කාර්යාලය පුරා නෙත් යැවුව ද නිමල් පෙනෙන්නට නැත. ඔහු ප්‍රධාන ලේකම්තුමාගේ කාමරයට යන්නට ඇතැයි සිතූ මම නැගී සිට ආපන ශාලාව දෙසට පියවර තැබුවෙමි.
ප්ලේන්ටියක් සමඟ මම ආපන ශාලාවේ ඈත කෙළවරෙහි රවුම් මේසයේ තනි වීමි. අද සිකුරාදා දිනයක් බැවින් හෙට සහ අනිද්දා නිවාඩු. සතියේ දිනවල මළ ගේ උනානම් නිවාඩු නෑ කියලා මොනව හරි කියන්න තිබුණා. මං කොහොමද අනූ එක්ක එයාගේ පළවෙනි පෙම්වතාගේ…. නෑ…. නෑ… අනූගේ පළමුවෙනි සහ අවසාන පෙම්වතා මම. මම තේ කෝප්පය දෙස බැලූවෙමි. කෝප්පයේ උඩ ගැට්ටේ කූඹියෙක් වේගයෙන් ගමන් කරනු පෙනේ. ඌ වේගයෙන් ගමන් කරනවා ඇත්තේ ඉක්මනින් තම ගමන අවසන් කිරීමට විය හැකිය. නමුත් ඌ එක තැනක ම කැරකෙන බව ඌ නොදන්නවා නොවේ ද? මම ටික වේලාවක් කූඹියා දෙස බලා සිටියෙමි. කූඹියාව ගසා දමා තේ කෝප්පය බීමට මට සිත් නොවිණි. මම පුටුව පසු පසට කර නැගී සිටියෙමි.

”කුලේ …. මම උඹ හැම තැන ම බැලූවා. වයිෆ්ගේ මස්සිනාගේ මළ ගේ ගැන මම ලොක්කටත් කීවා.” ආපන ශාලාවට ඇතුළු වන දොරටුව අසල දී නිමල් සහ රත්නසේකර හමු විය. මම සිත් පිත් නැත්තෙකු ලෙස ඔවුන් දෙස බලා සිටියෙමි. කිවයුත්තේ කුමක්දැයි යන්න මට තේරුම්ගත නොහැක.
”අපි මේ, තේ එකක් බොන්න කියලා. මළ ගෙදරට යන පාරත් පොඩ්ඩක් අපි දැනගන්න ඕනෑ. අපි ඉක්මනට එන්නම්…” ඒ රත්නසේකරගේ හඬයි.
මගේ මේසය අසළට පැමිණි මම මේසය මත වූ ෆයිල් කවර කීපය මේස ලාච්චුවට දමා වසා යතුර කලිසම් සාක්කුවට දමා ගතිමි. විගසින් මේසය අස්පස් කර දැමූ මම ප්‍රධාන ලේකම් ගජධීර මහතාගේ කාමරය දෙසට පිය නැඟුවෙමි.
”ආ … මිස්ට කුලරත්න.. වාඩිවෙන්න. මට නිමල් කීවා ඔයාට පොඩි කරදරයක් වෙලා කියලා. දැන් අපෙන් මොනවද කෙරෙන්න ඕන..” ගජධීර මහතා කරමින් හුන් කාර්යය නවතා ඇස් කණ්නාඩිය උඩින් මා දෙස බැලූවේ ය.

”සර්.. මම යන්න කියලා…”
”ආ… ගැටලූවක් නෑ.. අත්සන් කරලා යන්න. මම නිමල් එක්ක කතා කරන්නම්කෝ..”
මම මේ මළගේ ගැන නිමල් ට නොකියා හිටියනම් හරි. ඇයි? මම ඒ ගැන කීවේ. කීව නෙමේ කියවුණා.
නෑ.. නෑ.. ඌ මට ඉන්න හොඳම යාළුවා…. ඌට නොකිය කොහොම ද? මම බොරුවට කලබල වෙලා තියෙන්නේ. දැන් නිමල් ල ඇවිත් මාව හොයයි. මම නොයම ගියා කියලා දැනගත්තහම මොනව හිතයි ද? හදිස්සියේ අනු කතා කරලා යන්න ඇති කියලා හිතයි. හොඳ වෙලාවට ෆෝන් එක වැඩ නැත්තේ. අනු මළ ගෙදර යෑම ගැන මා එක්ක කතා කරන්නැති වෙයි. පව් අසරණී. අනු තාම එයාගේ ඔෆීන් එකේ ඇති. දිනේෂ් කියන නම හින්ද අපි අතර කොච්චර නම් රණ්ඩු වෙලා ඇත් ද? හැමදාම රණ්ඩුව පටන් ගන්නේ මම. මම වැරදියි. අනුගෙයි දිනේෂ්ගෙයි අතරෙ සම්බන්ධයක් තිබ්බේ නෑ. අනූගේ හිතේ ඌට පොඩි කැමැත්තක් තිබ්බා. එච්චරයි. සිතින් තර්ක ගොඩනඟමින් මම පයින් ම වාරියපොල නගරයට පැමිණියෙමි.
”දැන්ම ගෙදර යන්නෙ මොකටද? ගහන්න ඕනෑ අඩියක්..” මම මටම උස් හඬින් කියා ගතිමි.
අවන්හල තුළ තවම සේවාදායින් කිසිවෙකුත් නොවී ය. මම අයිනට වෙන්න තබා තිබූ කුඩා මේසයට ගියෙමි.
”සර් ට මොනව ද?” කොහෙන්දෝ මතු වූ වේටර් කොලූවෙක් මා ඉදිරිපිට විය.
”ගල් කාලයි.. සෝඩ එකයි” මම පුටු ඇන්දට බර වුණෙමි.
”බයිට් වලට ?”
”අල චිප් එකක් ගේන්න.. ආ… සිගරැට් එකකුත් ගේන්න”
මම ජීවිතේ පළමුවෙනියට ම ආදරේ කළේ අනූ ට. සරසවියේ දී මට මුලින්ම කතා කළ ගැහැණු පුළුට වුනෙත් අනූෂා. ඒත් මුලදී දිනේෂ් හින්ද අනූ මාව ප්‍රතිෙකෂ්ප කළා. මගේ පපුව පිච්චී යන සේයාවක් දැනුනි. මම අමුවෙන් ම අරක්කු උගුරු කීපයක් ශරීරගත කළෙමි. තවම බයිට් එක පෙනෙන්නට නැත. බඩවැල් පිච්චීගෙන ගිය නිසා සෝඩා උගුරු කීපයක් කටට වත් කර ගතිමි. මට මඳ සහනයක් දැනෙන්නට විය.

”සර්… තව මොනව හරි ඕන උනොත් මට කතා කරන්න. මම පිටිපස්සේ ඉන්නවා” අල චිප් එක සහ කුඩා සෝස් බඳුනක් ගෙන ආ වේටර් කොලූවා සිගරැට්ටුව සහ ගිනි පෙට්ටුය ද මේසය මත තැබුවේ ය. මම ඔහු දෙස කෘතඥ පූර්වක බැල්මක් හෙලීමට උත්සාහ කළෙමි. මම බැදපු අල කැබැල්ලකට අත යැවීමි. අල දීසිය වටා යන කළු පැහැති තරමක් විශාල කූඹියා මා දුටුවේ ඒ මොහොතේ ය. මම ඌ දෙස විමසිල්ලෙන් බැලීමි. දීසියේ ගැට්ට වටා යන ඌ විටෙක නැවතී අල කැබැල්ලකට ඉව කරයි. නැවත වේගයෙන් අල දීසිය වටා යයි. මම අල කැබැල්ලක් සෝස් වල දවටා කටේ ඔබා ගතිමි.
”කුලේ උඹ ඔය අනූෂා පස්සේ යන එක නවත්තපන්. කැම්පස් එකේ වෙන කෙල්ලෝ නැද්ද? අනික උඹ ඒකිට ආදරේ කරාට ඒකි උඹට ආදරේ නෑ…..”
”උඹට කූඹිය කියලා නෙමේ කාඩ් එක දාන්න තිබ්බේ…. ඇඹලය කියලා. බලන හැම වෙලාවේ ම අනූෂා පස්සේ. ඒකි තඹ සතේකට මූව මායිම් කරනවා ද?”
”අනූෂගේ මස්සිනාද කවුද …. අර දිනේෂ් කියන හාදයා ඒකිට අකමැති උනොත් ඒකි උඹට කැමති වෙයි. හැබැයි ඉතින් ඒ උඹට තියෙන ආදරේට නෙමේ.”
මීට අවුරුදු හත අටකට කලින් බෝඩිමේ යාළුවෝ ටික කියපුව මට මෙච්චර හොඳට මතක තියෙන්නේ කොහොම ද? මම අවසන් වඩියත් හිස් කළෙමි. එකා දෙන්නා බැගින් අවන්හලට සේවාදායකයින් පැමිණෙමින් ඇත. සිගරැට්ටුවක් දල්වා ගත් මම සිවිලිම දෙස බලාගෙන දුම් රැල්ලක් පිට කළෙමි. අනූෂා කොච්චර හොඳ කෙල්ලක් ද? අනූ නැත්නම් මගේ ජීවිතේ කාලකණ්නි වෙන්න තිබ්බා. ඒකි මං වෙනුවෙන් කොච්චර නම් කැප කිරීම් කරලා තියෙනවා ද?
”සර් තව මොනවා හරි ඕනෙද?”
”ආ….. ඔව් මල්ලි… තව කාලක් ගේන්න…”
මා උදේ අවදි වූයේ නිවසේ දුරකතනය නාද වන හඬිනි. මගේ ඔලූව පුපුරන්නට මෙන් කකියමින් ඇත. ඊයේ රාත්‍රියේ මම ගෙදර ආවේ කාගේ ත්‍රීවීල් එකේ දැයි මට මතක නැත. චමින්ද මල්ලියේ ත්‍රීවීල් එකේ එන්න ඇතැයි මම අනුමාන කළෙමි.
”හෙලෝ….”
”ආ… අම්මේ…”
”අපිට නම් මළ ගෙදර එන්න ලැඛෙයි ද දන්නේ නෑ අම්මේ… කුලේගේ තාත්තා අසනීප වෙලා කුරුණෑගල හොස්පිටල් එකේ නැවැත්තුවා”

අනූගේ දුරකතන කතාබහ මම තේරුම් ගතිමි. ඇයට මගේ සිත රිදවන්න බැරි නිසා බොරු කියන්නත් වෙලා. මට ඇති වූයේ කණගාටුවකි. දැන් වේලාව දැන ගැනීමට මට අවශ්‍ය විය. අනූට කතා කිරීමට තරම් ධෛර්යයක් මා තුළ නොවීය. වෙරිමතින් තවම මම නිදාගෙන සිටිනවා ඇතැයි කියා ඇය සිතනවා විය හැකිය. මම ටීපෝව මත වූ තේ කෝප්පය දෙස බැලූවෙමි. එය පීරිසියකින් වසා ඇත. එය මෙතනට ආවේ වෙනදා වෙලාවටදැයි නොදනිමි. මගේ දිව වේලී ඇත. මහත් වෑයමකින් ඇෙඳන් නැඟිට ගත් මම තේ කෝප්පය අතට ගතිමි. එය ඇල් වී තිබුණි. එක හුස්මට තේ කෝප්පය බීගෙන යාමට උත්සාහ කළ ද දිවට දැණුනු තිත්ත ගතිය නිසා බීම මඳකට නවතා මම කෝප්පය ඇතුළ පරීකෂා කළෙමි. තේ එකේ මැරුණු කූඹි කිහිප දෙනෙකුගේ සිරුරු පාවෙමින් ඇත.
දෙවරක් කෙළ ගැසූ මම නැගී ආ කෝපය නිසා තේ කෝප්පය පොළොවේ ගැසීමි. එය නිදන කාමරයේ සිමෙන්ති පොළොවේ වැදී සුණු විසුණු විය. ඉතිරි තේ ටික පොළොව පුරා විසිරී ගියේ ය. මම නිදන කාමරයට ඇතුළු වන දොර දෙස බැලූවෙමි. අනූ විසල් කළ දෙනෙතින් යුතුව දොර අසල සිටගෙන සිටියාය. ඇස්වලින් මතු වූ කඳුළු කැට ඈ පිටි අල්ලෙන් පිස දැමුවාය. අනූගේ ඇස් දෙක ම රතු ම රතු පාට වී ඇත. ඊයේ රෑ තිස්සේ ම ඇය හඬා ඇති බවට එය ලකුණකි. මගේ කෝපය පළා ගියේ කොයි මොහොතේ දැයි නොදනී. මම අනූව ළං කරගෙන ඇගේ දෙකොපුල් සිප ගතිමි.

”අපි ඉක්මනට ලෑස්ති වෙමු. මළගේ වැඩ කටයුතු ඉවර වුණු හැටියේ එන්න බලමු.”
අනූට මගේ වචන ඇසුනාදැයි නොදනිමි. ඇය මගේ පපුවට මුහුණ හොවාගෙන ඉකිබිඳින්නට වූවාය.

ශක්තික සත්කුමාර -Shakthika Sathkumara





