සිංහල ගීත කලාවේ බයිලා චක්‍රවර්ති හෙවත් එම්.එස්. ගැන ලියූ පරිපූර්ණ අපදානයක් !

අනුර බී. සෙනෙවිරත්න:

කෘතිය : ‘එම්.එස්. – නව ගීත වංශ
කතාවක පෙර ගමන්කරු’
කර්තෘ : අශෝක කුලතුංග
ප්‍රකාශනය : ⁣ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

මිනිස් සමාජයේ පැවැත්මට මූලික වන පුරාවෘත්ත (legends), පරම්පරා ගණනාවක් පුරා වටිනාකම්, විශ්වාසයන් සහ ඓතිහාසික මතකයන් සම්ප්‍රේෂණය කරන ආඛ්‍යාන ලෙස සේවය කරයි. සමාජ අනන්‍යතාවය හැඩගැස්වීමේ දී මෙන් ම, සංස්කෘතික සම්මතයන් ශක්තිමත් කිරීමේ දී සහ සමාජයක මූලාරම්භය පැහැදිලි කිරීමේ දී ද ඒවා ඉටුකරන්නේ තීරණාත්මක කාර්යභාරයකි.

සමාජයක වෙසෙන පුද්ගල චරිත ද, ඒවායේ සුවිශේෂභාවය මත කාලයාගේ ඇවෑමෙන් පුරාවෘත්ත (legends) බවට පත්වේ. ඒ, ලේඛනය, රංගනය, ගායනය, සංගීතය, නර්තනය, සිනමා හා නාට්‍ය අධ්‍යක්ෂණය වැනි කලා ක්ෂෙත්‍ර මත පදනම්ව පමණක් නොව, දේශපාලනික, ව්‍යාපාරික, රාජ්‍ය තාන්ත්‍රික ඈ විවිධ ක්ෂෙත්‍ර නියෝජනය කරමිනි.

අපේ ජන සමාජය තුළ ද, එසේ විවිධ ක්ෂෙත්‍ර ඔස්සේ පුරාවෘත්ත (legends) බවට පත් සුවිශේෂ පුද්ගල චරිත රැසකි. ඒවා අප මුලින් ද සඳහන් කළ ආකාරයට පරම්පරා ගණනාවක් පුරා වටිනාකම්, විශ්වාසයන් සහ ඓතිහාසික මතකයන් සම්ප්‍රේෂණය කරන ආඛ්‍යාන ලෙස සේවය කරයි.

පුරාවෘත්ත (legends) පිළිබඳව අප මේ සා දීර්ඝ විස්තරයක් මෙම ලිපියේ ආරම්භයට එක්කළේ එලෙස අප ජන සමාජය තුළ පුරාවෘත්තයක් බවට පත් ප්‍රවීණ කලාකරුවකුගේ නිරමාණ හා ඔහුගේ ජීවන තොරතුරු අළලා සම්පාදිත මාහැඟි කෘතියක් පිළිබඳව මඳක් විමසීමේ අටියෙනි.

අශෝක කුලතුංග

ප්‍රවීණ සාහිත්‍යවේදී අශෝක කුලතුංග විසින් සම්පාදිත
‘එම්.එස්. – නව ගීත වංශ කතාවක පෙර ගමන්කරු’ නම් මෙම කෘතියට පාදකවෙන්නේ ‘බයිලා චක්‍රවර්ති’ යන විරුදාවලිය ලද මෙරට ප්‍රමුඛ පෙළේ බයිලා ගායකයා ලෙස ප්‍රකට එම්.එස්. ප්‍රනාන්දු කලාකරුවාගේ නිර්මාණාවලිය සහ ඔහුගේ ජීවිතය යි.

එම්.එස්. ප්‍රනාන්දු

සාහිත්‍යවේදියකුට සිය විවේක බුද්ධිය කැපකර සාපේක්ෂව වඩාත් පහසුවෙන් අලෙවි කරගත හැකි සාහිත්‍ය කෘතියක් ප්‍රකාශයට පත්කර ගැනීම පසෙක තබා බොහෝදෙනකුගේ වැඩි අවධානයට ලක් නොවන බයිලා ගායකයකුගේ මෙවන් චරිතාපදානයක් කරන්නට පෙළඹීම පමණක් ම ඔහු සමාජ ගෞරවයට පාත්‍රවිය යුතු කරුණකි.

‘බයිලා’ යන වචනය නිර්මාණය වී ඇත්තේ පෘතුගීසි භාෂාවේ “බයිලර්” යන වචනයෙන් බව පැවසේ. එහි අර්ථය ‘නර්තනය’ යන්න වුව ද, අප එය නිර්මාණය කරගන්නේ සංගීත කලාවක් ලෙසට ය. මෙරට බයිලා සංගීතයේ පුරෝගාමියා ලෙස සැලකෙන වොලී බැස්ටියන්ගෙන් ඇරඹෙන බයිලා සංගීතය දේශීය රටාවට හැඩ ගස්වමින් ජනතාව වෙත වඩාත් සමීප කරන ලද්දේ එම්.එස්. ය. ඔහු මෙරට සමාජය තුළ පුරාවෘත්තයක් බවට පත්වෙන්නේ එහෙයිනි.

වොලී බැස්ටියන්

අ⁣ශෝක කුලතුංග ලේඛකයා මේ වෙහෙසකර ප්‍රයත්නයේ දී මේ සියල්ල පිළිබඳව සාවධාන වෙමින් පාඨක මනස එම්.එස්. පිළිබඳ දැනුම් සම්භාරයකින් පුරවයි.

සිය කෘතියේ ‘සැම්සන්ගේ ළමා කාලය හා බයිලා කලාවට ප්‍රවේශය’ නම් පළමු පරිච්ඡේදය මගින් එම්.එස්.ගේ බාල කාලයේ ඔහු ගතකළ දුෂ්කර ජීවිතයත්, බාලවියේ දී ම පවුලේ බර කරට ගන්නට සිදුවීමත් ගැන අපට පවසන ලේඛකයා, එහි දෙවන පරිච්ඡේදයෙන් වාද බයිලා ගායනයට අවතීර්ණ වන ඔහු ‘බයිලා චක්‍රවර්ති’ ලෙස කිරුළු පළඳින ආකාරයත් විස්තර කරයි.

එම්.එස්. මෙරට ජන සමාජයේ පුරාවෘත්තයක් බවට පත්වීමේ ආරම්භය සිදුවෙන්නේ මෙහි තෙවන පරිච්ඡේදයේ විස්තර වන ‘සිංහල සරල ගීයට එම්.එස්. දක්වන දායකත්වය’ නිසා ය. එවකට ගුවන්විදුලියේ බයිලා ගායනා සඳහා ලබාදුන්නේ සීමිත අවස්ථාවක් බැවින්, එවකට එහි සභාපතිව සිටි රිජ්වේ තිලකරත්න මහතාගේ මගපෙන්වීමක් මත සරල ගී ගායනයට ප්‍රවිෂ්ට වන එම්.එස්. ගුවන්විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පියකු බවට පත්වන ආකාරයත්, අනතුරුව කෝරස් බයිලා කලාවටත්, මෙරට පොප් ගීත ගායනයේ පුරෝගාමියා ලෙස පොප් සංගීත කලාවටත් එක්වන ආකාරය අ⁣ශෝක ඉතාමත් රසවත් ලෙස විස්තර කර තිබේ.

එම පරිච්ඡේදයේ ඔහු විස්තර කරන ආකාරයට එම්.එස්. යනු සිංහල භාෂාවෙන් පමණක් නොව, දමිළ, ඉංග්‍රීසි, හින්දි හා මැලේ යන භාෂාවලින් ද ගීත ගායනා කළ ශිල්පියෙකි.

එම්.එස්. මෙසේ ස්වෝත්සාහයෙන් ලබාගත් කීර්තිය විලියම් ගොපල්ලව, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන් සමීපව ඇසුරු කරන්නටත්, ඔවුන්ගෙන් ගරු බුහුමන් ලබන්නටත් හේතු වී තිබේ.

සිය ජීවිත කාලය තුළ ගීත තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් එම්.එස්. ගායනා කර ඇති බව පෙන්වා දෙන අශෝක කුලතුංග ඒ අතරින් සියයට අනූවක ම පද සහ තනු රචනා ඔහුගේ ම ඒවා බවත්, සිංහල ගීත ක්ෂෙත්‍රයේ එවන් ගායකයකු හෝ ගායිකාවක මෙතෙක් බිහි වී නැති බවත් ⁣පවසයි.

එම්.එස්. යනු ගායකයකු, ගී පද රචකයකු, තනු නිර්මාණ ශිල්පියකු පමණක් නොවේ. ඔහු බොක්ස් ගිටාරයත්, ඉංග්‍රීසි මැන්ඩලීනයත් ඉතා දක්ෂ ලෙස වාදනය කළ වාද්‍ය ශිල්පියෙකි. මෙරට මෙන් ම, ලොව රටවල් රැසක සංගීත ප්‍රසංග පවත්වා දෙස් විදෙස් කීර්තියට පත් එම්.එස්. ඒ වෙනුවෙන් ලද ත්‍යාග හා සම්මාන ගණන ⁣අපමණ ය.

මෙහි සිව්වන පරිච්ඡේදය ඔහුගේ ‘චිත්‍රපට පසුබිම් ගායනයට පණදීම සහ රංගධරයකුගේ භූමිකාව’ ගැන කතා කරයි. ඒ අනුව, එම්.එස්. ගී ගයමින්, රංගනයේ යෙදුන පළමු සිනමාපටය බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ ‘ජීවිත පූජාව’ වුව ද, එම සිනමාපටය තිරගත වීම ප්‍රමාදවීම නිසා ඔහුගේ ඒ දක්ෂතා දෙක එකවර ප්‍රේක්ෂකයන්ට පළමුවරට දැකගන්නට ලැබී තිබෙන්නේ ‘සිඟිති සුරතල්’ චිත්‍රපටයෙනි. එයින් ආරම්භ වූ ඔහුගේ රංගන චාරිකාව චිත්‍රපට විසිපහක් පමණ දක්වා විහිද යයි.

සිනමාවෙන් නොනවතින ඔහුගේ රංගනය ‘උදාගිර’ ටෙලිනාට්‍යය හරහා පුංචි තිරයට ද පිවිසෙයි. එම ටෙලිනාට්‍යයේ පාතාල නායකයකු වන ‘ආරි අයියාගේ’ චරිතය රඟපාමින් මහ උළු ගෙදරට යන්නට ජීප්රියට ගොඩවූ එම්.එස්. නොසිතූ නොපැතූ ලෙස හදිසියේ අවසන් ගමන ගිය ආකාරය අශෝක මෙම අපූරු චරිතාපදානයේ සඳහන් කරන්නේ ඉතාමත් සංවේදී ආකාරයට ය.

මෙහි එන ‘උදුල මිනිසාගේ සොඳුරු දිවිසැරිය’ නම් හයවන පරිච්ඡේදය මගින් එම්.එස්.ගේ ප්‍රතිපත්ති ගරුක අව්‍යාජ දිවි පෙවෙතත්, ඔහුගේ සමාජ ඇසුරත් විස්තර කරන ලේඛකයා අනතුරුව අවධානය යොමු කරන්නේ ‘ගී පද රචනයෙහි එම්.එස්. දැක්වූ විශිෂ්ටතාව’ කෙරෙහි ය. එය ඔහු කාණ්ඩ කිහිපයකට වෙන්කර විස්තර කරන්නේ මෙසේ ය. ඒ, ‘තමා ලද ජීවන අත්දැකීම් ප්‍රකාශනයෙහිලා එම්.එස්. සතු සාමාර්ථ්‍යය’, ‘ මිනිස් ජීවිතයේ පවත්නා නිර්ව්‍යාජ පැතුම් රූපනයෙහි ලා එම්.එස්. දැක්වූ ප්‍රතිභාව’, ‘භාෂා භාවිතය පිළිබඳ එම්.එස්. සතු සාඵල්‍යතාව’, ‘ගීතාලංකාරයෙහි ලා එම්.එස්. භාවිත කළ කාව්‍ය උපක්‍රම’, ‘සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කළ ජනකවියා’, ‘පුරාවෘත්ත සහ ඉපැරැණි චරිත පිළිබඳ එම්.එස්. ගේ ගවේෂණය’, ‘ස්වභාවික හා සංස්කෘතික වර්ණනා රැසක් එක්තැන් කළ එම්.එස්. ගී’, ‘රූපාන්තරණය වන ප්‍රේමයේ මිහිරියාව පෙම් ඇසකින්’ යනාදි වශයෙනි.

මෙහි එන ‘මුතු අකුරින් ගී පබැඳුම්’ නම් හත්වන පරිච්ඡේදය එම්.එස්. ගේ සිංහල සහ ඉංග්‍රීසි අත්අකුරු මේ යැයි අපට පෙන්වා දෙන අතර, අටවන පරිච්ඡේදය වෙන්ව තිබෙන්නේ ‘එම්.එස්.- ජෝති සුසංයෝගය’ විස්තර කරන්නට ය. ගී ලොවේ යුග පුරුෂයන් දෙදෙනකු වූ ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු අතර පැවැති දැඩි මිත්‍රත්වයත්, එය දෙදෙනාගේ ම නිර්මාණ කටයුතුවලට බලපෑ ආකාරයත් විස්තර කරන ලේඛකයා, ඒ මිත්‍රත්වය වසර තිහක පමණ කාලයක් එනම්, ජෝතිපාල මියයන තෙක් ම පැවැති බව අපට හෙළි කරයි. ඔවුන් දෙදෙනා කිසිදු මොහොතක ඔවුන්ගේ ජීවිත ගනුදෙනුවකට සිර නොකළ, තම කලා ශිල්පීය නිපුණත්වය වෙළඳ භාණ්ඩයක් බවට පත් නොකළ කලාකරුවන් දෙදෙනකු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම කෘතියේ දහවන පරිච්ඡේදය ‘කොවුල් හඬ ගොළුව ගිය – බක්මහේ අඳුරු රැය’ නමින් වෙන්කර තිබෙන්නේ එම්.එස්.⁣ ගේ හදිසි අභාවය පිළිබඳව විස්තර කිරීම සඳහා ය. ඔහුගේ අභාවය සිදුවූ දා උදෑසන සිට සිදුවූ සියලු සිදුවීම් එම්.එස්. ගේ සමීපතමයන් වෙතින් ලත් තොරතුරු අනුසාරයෙන් ඉතාමත් සංවේදී ලෙස සටහන් කර ඇති අශෝක කුලතුංග එදින එම්.එස්. සහභාගී වූ අවසන් සංගීත ප්‍රසංගයේ දී රසිකයන්ගේ බලවත් ඉල්ලීම මත ‘ලස්සන ලොවකට ඇස් දෙක යයි නම් පුදුමයක් දෝ’ ගීතය ගයා වේදිකාවෙන් බැසගොස් මොහොතකට පසු හදිසි හෘදයාබාධයකින් අවසන් ගමන් ගිය ආකාරය සවිස්තරව පාඨකයාට හෙළිදරව් කරයි.

අනතුරුව එළඹෙන එකොළොස් වන පරිච්ඡේදය මගින් එම්.එස්. ගේ අභාවය පිළිබඳව ‘ආදරයක මහිමය’’ ශීර්ෂය යටතේ පවුලේ සමීපතමයන් හා සංවාදයක යෙදෙන මෙම ලේඛකයා එහි දී එම්.එස්. ගේ මළණුවන් වන ගායන ශිල්පී වෝල්ටර් ප්‍රනාන්දු, සහෝදරියක වන කොන්සි ප්‍රනාන්දු, පුතු නිමල් ප්‍රනාන්දු යන අය ඒ සංවාදයට එක්කර ගනී.

‘මතක පි⁣ටු අතරින්’ නම් වන දොළොස්වන පරිච්ඡේදය මෙරට ප්‍රමුඛ පෙළේ කලාකරුවන් එම්.එස්.දුටු ආකාරය අප වෙත ගෙන හැර දක්වයි. ඔවුන් එකිනෙකා පළකළ ඒ කෙටි අදහස්වල සාරය ගෙන යොදා තිබෙන ශීර්ෂය සමග එම කලාකරුවන් පහත සඳහන් පරිදි හඳුන්වා දෙන්නට කැමැත්තෙමි. ‘ප්‍රතිභා සම්පන්න ජන කවියෙක්’ – පනිඩිත් අමරදේව, ‘හොඳ මනුස්සයෙක්’ – මිල්ටන් මල්ලවආරච්චි, ‘ගැඹුරු පිරිමි හඬක් තිබුණා’ – ප්‍රේමසිරි කේමදාස, ‘සිනමාවක් එළිය කළා’ – ඇන්ජලීන් ගුණතිලක, ‘විශිෂ්ට හැකියාව’ – ගාමිණී ෆොන්සේකා, ‘අව්‍යාජයි’ – සුජාතා අත්තනායක, ‘ශ්‍රේෂ්ඨ සහෝදරත්වය’ – ක්ලැරන්ස් විජේවර්ධන.

ඩබ්ලිව් .ඩි.අමරදේව

අංක දහතුනේ සිට දහසය දක්වා පරිච්ඡේද තවත් ප්‍රකට කලාකරුවන් විසින් සම්පාදිත සාරගර්භ ලිපි මාලාවකින් හැඩගැන්වී තිබේ. එම ලිපි ‘අගනුවර ජනකවියා’ – ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ‘නැටුවේ බයිලාය ගැයුවේ කපිර්ඤ්ඤාය’ – විශාරද ජානක වික්‍රමසිංහ, ‘නව්‍ය සංගීත රටාවක් සිංහල ගීතයට දායාද කළ

‘උත්තම කලාකරුවා’ – ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල්, ‘නූතන වංශකතාවේ ජන ගේය කාව්‍යකාරයා’ – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ යන කලාකරුවන් ගෙනි.

දහහත් වන කෙටි පරිච්ඡේදය එම්.එස්. රචනා කළ තනු නිර්මාණයක ස්වර ප්‍රස්ථාරය හඳුන්වා දීම සඳහා වෙන්කර ඇති අතර, දහඅ⁣ට වන පරිච්ඡේදය ‘නොමැකෙන ආදරයක පියසටහන්’නමින් වෙන්ව ඇත්තේ, එම්.එස්.ට ආදරය කළ සහෝදර ශිල්පි ශිල්පිනියන්ගේ මෙන් ම, පොදු ජනතාවගේ ද අදහස් වෙනුවෙනි. ‘ආ මග ආවර්ජනා’ නමින් සඳහන් දහනම වැන්න එම්.එස්. පුවත්පත්වලට වරින් වර දැක්වූ අදහස්වලින් ද, විසිවැන්න බොරැල්ල, කනත්තේ පිහිටි ඔහුගේ සොහොන් කොතේ සේයා රුවකින් ද සමන්විත වෙයි.

විසිඑක් වැන්න ‘එම්.එස්. ප්‍රනාන්දු ගීත නාමාවලිය’ වන අතර, ඔහු සිය නිර්මාණ ජීවිතයේ දී ගීත තුන්දහසනට වඩා වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇතිමුත්, අද වන විට
ඉතිරිව පවතින්නේ ගීත පන්සියයකටත් වඩා අඩු ප්‍රමාණයක් බවත්, අතීතයේ සිට ම ඒවාට නිසි සංරක්ෂණ වැඩපිළිවෙළක් නොමැති වීම හේතු කොටගෙන ඒවා කාලයත් සමඟින් ම අභාවයට පත් ව ඇති බවත් පෙන්වා දෙන අශෝක මෙරට කලාකරුවා දේශපාලන පොර පිටියේ පාපන්දුවක් බවට පත්වන අයුරු අප වෙත ගෙනහැර දක්වන්නේ මෙසේ ය.

‘එම වකවානුවල පැවති දේශපාලනික පළිගැනීම් මත ගුවන් විදුලිය තහනම් වූ එම්. එස්.ගේ ගීත කලාව කිසි විටෙක ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවක් ඔවුනට නොතිබුණු බව නොරහසකි.’

ඉතිරිව පවතින එම ගීත ප්‍රමාණය අනාගත පරපුරට දැක බලාගනු පිණිස නාමාවලිගත කිරීමත්, එම ගීත අතරින් ගීත එකසිය අනූහයක පදරචනා මෙම කෘතියේ අවසානයට එකතු කර තිබීමත් එම්.එස්. නම් වූ ගීත ක්ෂෙත්‍රයේ පුරාවෘත්තය පිළිබඳව අශෝක කුලතුංග ලේඛකයා විසින් සම්පාදිත මෙම චරිතාපදානය පරිපූර්ණත්වයට පත්ව ඇති බවට කදිම සාක්ෂියකි.

අනුර බී. සෙනෙවිරත්න-Anura B.Senevirathne

More From Author

කූඹියා

සිංහල කෙටිකතා වංශ කතාවට වසර 100 කි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348