දයාපාල තිරානගම:
හැඳින්වීම
හෙගල් උපත ලැබුවේ මෙයට වසර 255 කට පෙර (27/08/1770-14/11/1815) අද වැනි දිනක ජර්මනියේ ස්ටුට්ගාට් නුවරය.ඔහුගේ උපතින් සියවස් දෙකහමාරකට වැඩි කාලයකින් පසුව අප විසින් ඔහුගේ දාර්ශනික මෙහෙවර අගය කරන්නේ ඔහු ඉදිරි පත් කල දර්ශනය මාක්ස් සහ එංගල්ස්ට වැඩකරන ජනතාවගේ යහපත පිනිස වර්ධනය කල න්‍යාය සහ භාවිතයට ඉමහත් සේ ඉවහල් වන බැවිනි. එමනිසා මේ කෙටි සටහන මුලික වශයෙන් අරමුණු කරගන්නේ හෙගේලියානු දර්ශනය ගැන කරන කෙටි සාකච්චාවක් මෙන්ම දර්ශනය පංති අරගලය සහ වැඩකරන ජනතාවගේ විමුක්තිය සඳහා යොද ගැනීමේ හැකියාව ඉස්මතු කිරීමයි.
මෙහිදී, පළමුවෙන්ම, ‘ප්‍රගතිය’ සම්බන්ධයෙන් හෙගල් ගේ යෝජනාවන් ගෙන් මේ කෙටි සටහන ආරම්භ කිරීම උචිත ය’යි මම විශ්වාස කරමි.
හෙගල් යෝජනා කරන පරිදි ‘ප්‍රගතිය’ බොහෝ විට දුෂ්කර සහ ‘අවුල් සහගත’ ක්‍රියාවලියක් වෙයි. එයට හේතු වන්නේ ක්‍රියාවලියක් සුමට ගමනකට වඩා ගැටුම් සහගත අරගලයන් ගෙන් සමන්විත වන නිසා බවයි.ඔහුගේ දර්ශනය ඉතිහාසය දකින්නේ අදහස් සහ සරාත්මය(spirit) අතර පවතින ගැටුමක් ලෙසය.ප්‍රගතිය ඇති වන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් අතර ඇතිවන අදහස් අතර ගැටුමකින් නිසා මෙය ආවේනිකවම වේදනාකාර ,මන්දගාමී එකක් ලෙස සිදුවෙයි.
දෙවැනිව, අදහස්වල සහ ඉතිහාසයේ ඉදිරියට යාම ඍජු රේඛාවක ස්වරුපයෙන් සිදු වන්නේ නැත.එය සර්පිලාකාර නැත්නම් අරගල, ඉදිරියට යාම් සහ අපවර්තයන් මාලාවක් ඔස්සේ වඩා ඉහල සංස්ලෙශ්නයක් කට මග පෙන්වමින් සිදුවන්නකි.එය වඩා සබුධ්ධික නැත්නම් ස්වයං විඥානයක් දෙසට ගමන් කරයි.මේ ක්‍රියාවලිය මෙයට පෙර පැවති අවධීන් පසු කරමින් නිශේධනයකට සම්බ්නධ වෙයි.මේ සංකල්පය හඳුන්වන්නේ ‘සමතික්‍රමණය’ (sublation) නමිනි.මෙහිදී පෙර පැවති ප්‍රතිවිරෝධයන් අලුත් වඩා විස්තීරණ වූ සංකල්පයක් තුල ආරක්ෂා වෙයි.
ඉතිහාසයේ දිග හැරීම
හෙගේලියානු න්‍යායය ජර්මානු විඥානවාදය තුල මුල්බැස ගත් ‘ද්විඝටනවාදය’ නම් සංකල්පය වටා පරිභ්‍රමණය වන්නකි.එනම් මෙය එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ අදහස් වල ගැටුම තුලින් ලෝකය අවබෝධ කරගැනීමේ ක්‍රියාවලිය ලෙස නම් කිරීමට පුළුවන. හේගල් විශ්වාස කල පරිදි ඉතිහාසය ප්‍රතිවිරෝධයන් මාලාවක් ඔස්සේ දිග හැරෙයි . මේ දිගහැරීම ‘ප්‍රවාදය'(Thesis) සහ එයට ප්‍රතිවිරුද්ධ එහි ‘ප්රතිප්‍රවාදය'(Anti-thesis) අතර පවතින ගැටුමින් ඇතිවන සන්ස්ලේශනය(Synthesis)ක් මගින් විසඳා ගැනීමට අවස්ථාව ලබා ගනී.
මේ ‘සංස්ලේෂණය’ පසුව නව ප්‍රවාදයක් බවට පත්වන ක්‍රියාවලියක් බවට පත්වෙයි.මේ සමස්ත ක්‍රියාවලිය ‘සමතික්‍රමණය'(Sublation) නමින් හඳුන්වන්නේ සාධනීය වූ අංග එකතු කොට නිශේධනීය අංග හලා අලුතින් ධනාත්මක අංගයන් එකතු කර ගන්නා බැවිනි.හෙගෙල් ගේ කේන්ද්‍රීය අදහස වන්නේ යථාව ස්ථායි වූ එකක් නොවන අතරම එය සංවර්ධනයේ ගතික ක්‍රියාවලියක් වන බවයි.මේ සංවර්ධනය සිදුවන්නේ එකිනෙකට ප්‍රති විරුද්ධ බලවේගයන්ගේ අන්තර් ක්‍රියාක්රිත්වය ඔස්සේය.හෙගෙල් නිතරම අධියර තුනක ව්‍යුහයක් පාවිච්චි කරයි. ‘ප්‍රවාදය’ මුල් අදහසක් සහ පවතින තත්වයන් .ප්‍රතිවාදය ප්‍රතිවිරුද්ධ අදහස නැත්නම් පවතින තත්වයන්.තෙවැනි අවස්ථාව එනම් ‘සංස්ලේෂණය’ කරා යාම නැත්නම් ප්‍රවාදය සහ ප්‍රතිවාදය අතර පවතින ගැටුම ඒ දෙකෙහිම අංගයන් එකතු කර ගැනීම මගින් විසඳා ගැනීමයි. මේ හෙගේලියානු ත්‍රිත්වය(Triad) හෙගෙල් විධිමත් පදයක් ලෙස පාවිච්චි කලේ නැතත්මෙමගින් ඔහුගේ ද්විගටනාත්මක ක්‍රියාවලිය පිලිබඳ ජනප්‍රිය සහ සරල විස්තරයක් සැපයීමට හැකිවෙයි.
ප්‍රජා පීඩක ආණ්ඩුවල අවසානය
‘යථාවත් වන සැමදෙයක්ම සබුද්ධික වන අතර සබුදධික වන සැම දෙයක්ම යථාවක් වේය’ යනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෙගල් විසින් කරයි. හෙගල් මේ ප්‍රකාශය කරන්නේ සිය මුලික කෘතියක් වූ ‘Outlines of the Philosophy of Right'(p .14) ග්‍රන්ථයට පෙරවදනක් ලියමිනි.

මේ ප්‍රකාශය දේශපාලන තත්වයන්ගේ වෙනවස්වන මේ තත්වය අනුව යෙදිය හැකි බව එංගල්ස් පෙන්වා දෙයි.එංගල්ස් සිය Ludwig Feuerbach and the End of the Classical German Philosophy හි හෙගෙල් ගේ මේ ප්‍රකාශය ගැන පවසන්නේ ආඥාදායක ආණ්ඩු,පොලිස් රාජ්‍යන් වැනි සහ ප්‍රජා පිඩක ආණ්ඩු රැක ගැනීමට මේ ප්‍රකාශය යොදා ගත හැකි බවයි.

නමුත් එංගල්ස් තවදුරටත් පවසන්නේ හේගල්ට අනුව පවතින සියලු දෙය යථාවක් නොවන බවයි. කාලයාගේ ඇවෙමෙන් මෙය වෙනස් විය හැකිය.නමුත් හෙගල්ම පෙන්වාදෙන පරිදි සබුද්ධික වන දෙය තව දුරටත් යථාවක් ලෙස පැවතිය නොවිය හැකිය.එවිට කලින් යථාවක් ලෙස පෙනී සිටි ආණ්ඩුවක්, සබුද්ධික භාවය නොමැතිව එම අනිවාර්යතාවයෙන් ගිලිහීම එම රාජ්‍යයේ අවසානය ලඟා කර ගැනීමට මග පාදනු ඇත.

උදාහරණයකට, ප්‍රංශ මහා විප්ලවය විසින් 16 වන ලුවිගේ පාලනය පෙරලා දමන්නේ මේ අනුව යමිනි.අප මෑත පසු ගිය සියවසේ උදහරණයක් ගන්නේ නම් 1917 පෙබරවාරි විප්ලවය මගින් සාර්ගේ ආඥාදායක ආණ්ඩුව පෙරලා දැමීමත්, එයට පසුව පිහිට වූ කෙරෙන්ස්කිගේ ආණ්ඩුවට ඔක්තෝබර් මාසය වන විට එය පැවැත්මේ අනිවාර්යතාවය තව දුරටත් පවත්වා ගැනීමට නොහැකි වීමෙන් , බෝල්ෂෙවික්වරුන් විසින් එය පෙරලා දමා සෝවියට් ආණ්ඩුව පිහිටුවීම ඒ ආකාරයෙන්ම විග්‍රහ කිරීමට පුළුවන.

හෙගල් ගේ ‘සරාත්මයේ ප්‍රපන්චවේදය’ ගැන ගැඹුරු අධ්‍යනයක් කල Jean Hyppolite ‘හෙගල් ද්විගටනවාදයේ විප්ලවීය ස්වභාවය (මාක්ස් ද මෙය සටහන් කරනු ලැබිණ) නොවරදින සුළු එකකි.හෙගල්ගේ ක්‍රමයේ අනුමිතියන් කොන්සර්වටිව්වාදී වුවද, හේගල් අරමුණ කුමක් වුවත් ද්විග්ටනවාදය ඉදිරිපත් කිරීම විප්ලවවාදී වෙයි'(Jean Hyppolite, Genesis Structure of Hegel’s Phenomenology of Spirit,1974.398).

හෙගල් දෙපයින් සිටවීම
හෙගල් විසින් ඉදිරිපත් කල චිත්‍රයේ ඓතිහාසික ගතිකයන් පංති අරගලයේ වුවමනාවන් සඳහා යොදා ගනු ලැබුවේ මාක්ස්වාදීන් විසිනි. පරම විඥානවාදය හෙගල් ගේ සුවිසල් දාර්ශනික ක්‍රමය විය.හෙගල්ගේ විඥානවාදී අංගයන් ඉවත් කොට එයට ද්‍රව්‍යවාදී අංගයන් ඇතලත් කලේ මාක්ස්වාදී ව්‍යාපාරය විසිනි.
මාක්ස් විසින් හේගල් දෙපයින් සිටවූ බව මාක්ස්වාදී සාහිත්‍යයේ ප්‍රකට කරුණකි.මාක්ස් කරනු ලැබුවේ හේගල් ගේ විඥානවාදී ද්විගටනවාදය ද්‍රව්‍යවාදී ද්විගටන වාදය බවට හැරවීමයි.එවැනි යෝජනාවක් හේගල් ගේ විඥානවාදී දර්ශනය සම්බන්ධයෙන් යෝජනා කිරීම තුලින් මාක්ස් කරනු ලැබුවේ අපේ අදහස් අපේ ද්‍රව්‍යමය නැත්නම් හෞතික තත්වයන් ගෙන් හැඩ ගස්වනවා මිස අනික් ආකාරයෙන් නොවන බව පෙන්වා දීමයි.
ප්‍රාග්ධනයේ දෙවැනි වෙළුමට 1873 දී පසුවදනක් සපයමින් මාක්ස් මෙසේ කියයි. “මගේ ද්විගටනාත්මක ක්‍රමය එහි පදනම්වලදීම හෙගේලියානු ක්‍රමයෙන් වෙනස් වනවා පමණක් නොව එයට නිශ්චිත ලෙසම ප්‍රතිවිරුද්ධ වෙයි.

හෙගල් ට අනුව එය ස්වාධීන වූ ආත්මයකට පරිවර්තනය කරමින් පවා, අදහස (the Idea) පිලිබඳ නම යටතේ පවා,සිතීමේ ක්‍රියාවලිය සැබෑ ලෝකයේ නිර්මාණකරුවා වන අතරම සැබෑ ලෝකය යනු ‘අදහසෙහි’ බාහිර පෙනී සිටීම පමණක් වෙයි.මට අනුව එහි ප්‍රතිවිරුද්ධය සැබෑවෙයි. එනම් අදහස යනු ද්‍රව්‍යමය ලෝකය මිනිසාගේ සිතෙහි පරාවර්තනය වීමක් මිස වෙන කිසිවක් නොවන අතර චින්තන ආකාරයන්ට පරිවර්තනය වීමකි”(Karl Marx,Capital, vol.1’1976, P.102).
තමාගේ ද්විග්ටනතමක ක්‍රමය හෙගෙල් ගේ ක්‍රමයෙන් වෙනස් බව ප්‍රකාශ කරමින් පවා කාල් මාක්ස් හෙගෙල් ට කෘතවේදී බව පල කලේ මෙසේය.’එමනිසා ඒ මහා චින්තකයාගේ ශිෂ්‍යයෙකු බව මා විවෘතවම ප්‍රකාශ කරන අතර පළමුවැනි පරිච්චේදයේ තැනින් තැන වටිනාකම පිළිබඳ න්‍යායයෙහි උඩින් පල්ලෙන් ඔහුටම විශේෂ වූ ප්‍රකාශන විධියක් යොදා ගනු ලැබුවෙමි.ද්විගටනවාදය හෙගල් ගෙන් සිදු වූ ගුඩකරණයෙන් පීඩා වින්දද, විස්තීරණ සහ සවිඥානක ආකාරයකින් චලනය පිලිබඳ සාමාන්‍ය ආකාරයන්ගෙන් එය පලමුව ඉදිරිපත් කිරීමට කිසි අයුරකින් ඔහුට බාධාවක් නොවිය.ඔහු සමග එය ඔලුවෙන් සිට ගෙන සිටි.ගුඩ පිටකටුව ඇතුලත ඇති සහේතුක මදය සොයා ගැනීම පිණිස එය යටිකුරු කල යුතුවෙයි(Capital vol.1,P .103).කාල් මාක්ස් එතරම්ම හේගල්ගේ විධික්‍රමය ප්‍රාග්ධනය කෘතිය සම්පාදනය කිරීමේදී යොදා ගත බව එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.
එසේම ලෙනින් මේ ගැන පවසන්නේ මෙසේය. “කෙටි ප්‍රකාශයක්:හෙගල් ගේ තර්කශාස්ත්‍රය කෘතිය(Logic) මුළුමනින්ම අධ්‍යනය නොකර සහ තේරුම් ගන්නේ නොමැතිව මාක්ස් ගේ ප්‍රාග්ධනය විශේෂයෙන්ම, එහි පළමු පරිච්චේදය, සම්පුර්ණයෙන් තේරුම් ගැනීමට නොහැකිය.මේ හේතුව නිසා අඩ සියවසකට පසුව පවා කිසිම මාක්ස්වාදියෙක් මාක්ස් අවබෝධ කර ගත්තේ නැත!!(Lenin, Philosophical Notebooks,Collected Works vol. 38 p.180)

මෙයින් පෙනී යන්නේ හෙගල් ගේ විධික්‍රමය හරි හැටි අධ්‍යනය නොකළ කිසිම කෙනෙකුට මාක්ස් ප්‍රග්ධනයේ කියූ දෙය කිසිම මාක්ස්වාදියෙක් අවබෝධ කර ගත්තේ නොමැති බවය.ලෙනින් ගේ මේ ප්‍රකාශය ගෙන හැර පාමින් ප්‍රංශ මාක්ස්වාදී දාර්ශනිකයෙකු වූ ලුවී අල්තුස්සර් කියා සිටින්නේ, ලෙනින් හෙගල් ගේ කෘතීන් කියවිමට පටන් ගත්තේ 1914-15 කාලයේදී බැවින් ලෙනින්ට පවා ප්‍රාග්ධනය කෘතිය හරි හැටි තේරුම ගැනීමට එයට පෙර නොහැකි වූ බවය.එසේම අල්තුසර් සහතික කොට කියන්නේ ලෙනින් ප්‍රාග්ධනය කියවා ඇත්තේ 1894 දී වයස 29 දී බවත්, වෙන කිසි කෙනෙකුට වඩා හොඳින් ලෙනින් ප්‍රාග්ධනය අවබෝධකරගෙන සිටි බවත්ය.(බලන්න,Lenin before Hegel 1969).
හෙගේලියානු නියාමයන් තුන
ද්විඝටනාත්ම ක්‍රමය හෙගල්ගේ චින්තයට කේන්ද්‍රය වෙයි.ඔහු නියමයන් තුනක් ඉදිරි පත් කරයි.මේ නියමයන් හේගල් විසින් සංවර්ධනය කරනු ලැබුවේ හුදු චින්තනයේ නියාමයන් ලෙස බව එංගල්ස් සිය Dialectics of Nature කෘතියේ සඳහන් කරයි.

මේ නියාමයන් සමාජ සංවර්ධනයේ නියමයන් ලෙස සංවර්ධනය කරනු ලැබුවේ මාක්ස්වාදී ව්‍යාපාරය විසිනි.
මේ හෙගේලියානු නියාමයන් තුන සන්ස්ක්ෂිප්ත ලෙස මෙසේය.
- ප්‍රතිපක්ෂයන්ගේ ඒකීයත්වය: මෙයින් කියන්නේ අන් කිසිවක් නොව ප්‍රතිවිරෝධයන් ප්‍රගතියේ මුලික ධාවන කාරකයන් වන බවයි.මෙහි ප්‍රතිවිරෝධී අංගයන් අන්‍යොන්‍ය වශයෙන් සුවිශේෂ නොවන නමුත් අනතර් සම්බනධතාවයක් පවත්වා ගනිමින් අවසානයේ වඩාත් සංකීර්ණ යථාර්තයක් වඩා උසස් මට්ටමක් කරා ගමන් කරයි.ප්‍රංශයේ 18 වැනි සියවස අග විප්ලවාදී බලවේගයන් සහ රාජාණ්ඩු ක්‍රමය අතර පැවති මුලික ගැටුම ‘ප්‍රතිපක්ෂයන්ගේ ඒකීයත්වයක්’ වුයේ අවසානයේ එය නැපොලියානු අධිරාජ්‍යක් බවට සංස්ලේෂණය වූ බැවිනි.ලෙනින් පැහැදිලි කරන අයුරු ‘කෙටියෙන්, ද්විගටනවාදය ප්‍රතිපක්ෂයන් ගේ ඒකීයත්වය පිළිබද න්‍යාය ලෙස විග්‍රහ කිරීමට පුළුවන. මෙය ද්විගටනවාදයේ සාරය අන්තර්ගත කර ගත්තද එය පැහැදිලි කිරීම සහ සංවර්ධනය කල යුතුවෙයි'(Lenin,Philosophical Notebooks p.223).
- ප්‍රමාණය ගුණය බවට පත්වීමේ නියාමය: යමක ප්‍රානාත්මක වැඩිවීමක් හෝ අඩුවීමක් එහි හරයෙන් මුලික වෙනසකට භාජනය වෙමින් අලුත් දෙයක් බවට පත්වෙයි.ජලය උනුකිරීමෙන් එය සෙල්සියස් 100 කරා ලඟා වු විට වාෂ්ප බවට පත් වීම ගුණාත්මක බවේ මුලික වෙනස් කමක් බවට පත්වෙයි.
- නිශේධනයේ නිශේධනය:මෙය මේ ලිපියේ මුලින්ම සඳහන් කල ප්‍රවාදය,නිර්ප්‍රවාදය සහ සංස්ලේෂණය යන ත්‍රිත්ව අවධි තුලින් ගමන් කාරයි.පෞරානික කොමියුනිස්ට් සමාජය(ප්‍රවාදය)පසුව එළඹුන වහල් සමාජය(නිර්ප්‍රවාදය)එයට පසුව බිහිවූ ධනපතික්‍රමය(සංස්ලේශනය )මේ ක්‍රියාවලය සිදුවන ආකාරය පිළිබඳව දිය හැකි උදාහරනයන්ය.
සමාජ විප්ලවය සහ ද්විගටනාතමක භෞතිකවාදය
‘භෞතිකවාදය මාක්ස්වාදයේ දර්ශනය බව’ ලෙනින් ප්‍රකාශ කරයි. ලෙනින් තවදුරටත් පෙන්වා දෙන්නේ “මාක්ස් සහ එංගල්ස් ඉතාමත්ම අධිෂ්ටාන සහගත ලෙස ආරක්ෂා කරමින් මේ පදනමෙන් කුමන හෝ විතැන්විමක් දැඩිලෙස වැරදි සහගත බව විස්තර කරමින් දාර්ශනික භෞතිකවාදය ආරක්ෂා කල බවයි.(Lenin,The Three Sources and Three Component Parts of Marxism,Vol.19).

මේ හේතුව නිසා පසු ගිය සියවසේ සමාජ විප්ලවය ජයග්‍රාහකව අවසාන කල පක්ෂ දෙකක් වූ බෝල්ෂෙවික් පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය භෞතිකවාදී දර්ශනයේ න්‍යාය සහ භාවිතය පක්ෂය තුල ආධිපත්‍යධාරි දර්ශනය බවට පත කරනු ලැබිය.ලෙනින් සහ මාඕ විසින් කරන ලද රචනාවන් මෙය මාහැඟි උදාහරණයන් වෙයි.
පක්ෂය තුල එවකට දුර්මතයන් බැහැර කොට නිවැරදි ප්‍රතිවිරෝධයන් හඳුනා ගැනීමේ දී මාඕ විසින් රචනා කල ‘ප්‍රතිවිරෝධය ගැන’ නමින් ප්‍රසිද්ධ කල සුප්‍රසිද්ධ කෘතිය හෙගේලියානු ක්‍රමය චීන විප්ලවයේ දේශපාලන මුලෝපාය සහ න්‍යාය ගොඩ නැගීම සඳහා අතිශයින්ම ඉවහල් විය.මාඕ මෙයින් අවධාරණය කලේ ප්‍රතිවිරෝධයන්ගේ සුවිශේස ස්වභාවය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවයයි. චීනයේ පැවතී ප්‍රතිවිරෝධයේ ප්‍රධාන සහ ද්විතියික අංගයන් අවබෝධකර ගැනීම විප්ලවාදී ක්‍රියාන්විතයට මග පෙන්වීමේදී සහ ජයග්‍රහණය කරා එය ගෙනයාමේදී අතිශයින්ම තීරණාත්මක විය.
අවසානය
හෙගල් ‘යුක්තියේ දර්ශනය පිළිබඳ කෙටි සටහන්’ (The Outlines of the Philosophy of Right) නම්12 කෘතියට 1820 ලියන පෙරවදනේ සඳහන් කරන්නේ දර්ශනය කෙසේ නමුත් සැමවිටම කරලියට පැමිණෙන්නේ පමා වී බවත්, එය යම් සිද්ධියක් සිදු වී අවසානයේ පැමිණෙන බවත්ය.එසේත් නැත්නම් ‘බුද්ධිය නමැති බස්සා පියඹා යාමට තටු සලන්නේ ගොම්මන් වෙලාවේදී ය’ (පිටුව 16).මේ කියමන ලංකාවේ ප්‍රචණ්ඩකාරී දේශපාලන ඉතිහාසයට ගල පන විට නැත්නම් සන්නද්ධ අරගල තුනක් ඇති වූ රටක සහ මෑත මහා ජන අරගලයකින් ජනතාව විසින් පාලකයෙක් පන්නා දැමු රටක මේ හැම සිද්ධියක දීම අඩුම ගන්නේ ‘දර්ශනය’ විසින් කරන ලද බලපෑම පිලිබඳ කියවීමක් තවමත් දකින්නට නොලැබීම හෙගල් සඳහන් කරන ප්‍රමාදයත් ඉක්මවා ගිය කරුණකි . මෙය අපේ දර්ශනයේ දුගී බවද?
හෙගල් ට සුභ උපන්දිනයක්!!!

දයාපාල තිරානගම-Dayapala Thiranagama





