සංජීවනී රූපසිංහ:
සමාජයේ මුල් බැසගත් අදහසක් වන්නේ ගැහැණු චපලය යන්නයි. මෙයට මූලිකම මූලාශ්‍රය වන්නේ ජාතක පොතයි.ජාතක කතා ගැන වෙනම දවසක කතා කරන්නට තියා ගත්තත් චපල ලේබලය ගැන ඊට මත්තෙන් යමක් කියන්නට සිදු වෙයි. චපල යනු කුමක්ද? යම් පොරොන්දුවක් දී එය කඩකර යාමයි. මෙහිදී ආදර පොරොන්දු හා විවාහ පොරොන්දු විශේෂ වේ.

ආදර පොරොන්දු හෝ විවිාහ පොරොන්දු කඩ කර ඇත්තේ ගැහැණු පමණ ද? සිද්ධාර්ථ යශෝධරා හැර දමා යද්දී එය චපල යැයි නොකියන්නේ මන්ද? බුදු වීමට ගිය නිසා ද? එය කිසිදා ප්‍රශ්න නොකරන්නේ එය පුරුෂ මූලික පද්ධතියක් වීම නිසාය. එම පද්ධතිය තුළ එක දවසේ දරුවා සමඟ බිරිඳ තනිකර ඔහුට නිදහසේ යා හැකිය. විජය කුවේණිට චලප වූ දා සිට කොපමණ පිරිමි සංඛ්‍යාවක් ඉතිහාසයේ විවාහ පොරොන්දු කඩ කර ඇද්ද? අතහැර දමා ඇද්ද? දරුවන් සමඟ තනි කර ඇද්ද? ඒවාට චපල යැයි නොකියන්නේ මන්ද? ඔවුන් රජවරු නිසා ද? එසේ නැතහොත් පිරිමියාට චපල වීමට අයිතියක් ඇතැයි සමාජය සිතන්නේද? මේ සියල්ල පුරුෂ මූලික සමාජ පද්ධතියක සියලු මනුෂ්‍යයිනන්ට සිතන්නට පුරුදු කළ ආකාරයයි.
අද වන විට තනි මව්වරු කොපමණ සිටිනවාද? දරුවන් වැසිකිලිවල දමා යන ගැහැණුන්ට සමාජය අසීමාන්තිකව බැන්නත් ඇය එසේ කරන්නේ ඇයි දැයි විමසනවාද? බොහෝ විට එයට හේතුව පියෙක් නැති දරුවෙක් නිසාය. දරුවෙකු බඩට දී පිරිමියා පලා යාම චපල කම නොවේද? එවිට මව අල්ලා හිරේ දමන පොලීසිය චපල පිරිමියා සොයා යනවාද?
චපල වන්නේ ගැහැණු පමණක් නොවන බව ඔබ හොඳින් දන්නවා ඇත.

ගැහැණු ද පිරිමි ද චපල වෙති. මිනිසුන්ට චපල වන්නට එක්තරා අයිතියක් ද ඇත. තමා අකමැති තැනකින් වෙන්ව යාමට සියල්ලටම අයිතිය ඇත. එහෙත් එහෙදී අනෙත් පාර්ශවයට වෙන හානිය පිළිබඳ වගකීමක් වගවීමක් තිබිය යුතුය. එය සමාජීය අසරණ කිරීමක් චිත්තවේගීය තනිකිරීමක් හෝ ආර්ථික අසරණභාවයට පත් කිරීමක් නම් එසේ හිතු හිතු ආකාරයෙන් අනෙකා අසරණ කර පලා යා නොහැක.

ඔබ ගැහැණු ළමයෙක් හෝ ගැහැණියක් නම් ඔබට චපල වූ කෙතරම් පිරිමි ප්‍රමාණයක් ඇද්දැයි සිහි කරන්න. පිරිමි ළමුන්ට ද පිරිමින් ට ද එසේ චපල වූ ගැැහැණු ඇත. චපල බව යනු මනුෂ්‍යත්වයට උරුම කරුණක් මිස ගැහැණු ලක්ෂණයක් හෝ පිරිමි ලක්ෂණයක් නොවේ.
එහෙත් පුරුෂ මූලික සමාජයක පිරිමි චපල වු විට ගැහැණු දරා ගත යුතු අතර ගැහැණු චපල වූ විට ඇය ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් බවට පත් වේ. එක්කෝ ඇයට වද හිංසා පමුණුවයි. මරා දමයි. චපලබව පිළිබඳ සමාජයේ බල ආකෘතිය ක්‍රියා කරන්නේ එලෙසිනි. එම නිසා චපලබව මීට වඩා ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු අවදියකට අපි පැමිණ සිටිමු.

සංජීවනී රූපසිංහ –Sanjeewani Rupasinghe
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.





