ජනුකා එදිරිමාන්න:
සාහිත්‍යය ගැන ගැඹුරු අවබෝධයක් නැතත්, පොඩි ඡේදයක් හරි ලියන්න හිතුවා.
චීනයේ සිචුවාන් පළාතේ උපත ලද, නූතන නවකතාකරුවෙකු වූ බා ජින් ගේ කෙටිකතා එකතුවක් සිංහලෙන් කියවන්න අවස්ථාව අපිට ලබා දීලා තියෙන්නේ මහින්ද සෙනරත් ගමගේ මහතා.

චීනයේ රදළ පවුලක උපත ලැබුවත්, බා ජින් ගේ බොහෝ කෙටිකතා ලියවිලා තියෙන්නේ එකල කම්කරු පංතියේ මිනිසුන්ගේ ශෝකී ජිවිත ගැන උපන් සහකම්පනයෙන්.

නමුත් මං අද තෝරාගත්තෙ ඔහුගේ කෙටිකතා අතරින් “කලින් නික්මුණු වසන්තය” කියන ප්‍රේම කතාව.
කතාව මතුපිටින් එය ප්‍රේම කතාවක් වුණාත්, ඒ කතාව ඇතුළෙත් බා ජින් පංති භේදය ගැන බොහොම පරිස්සමින් කතා කරලා තියෙනවා.
කතානායක ලින්, ඔහුගේ පෙම්වතිය රොං සහ ලින් ගේ හොඳම මිතුරා සූ අතර තමයි කතාවෙ වැඩි හරිය ගලාගෙන යන්නේ.
ලින් ගේ අයියාගේ හදිසි මරණය කතාව ඇතුළේ අතරින් පතර ගෙන එන බා ජින්, සහෝදර ප්‍රේමය, මාපිය දූදරු සබඳතා සහ යෞවන ප්‍රේමය ගැන කතා කරනවා.
ඒ වගේම ලින් සහ රොං අතර පවතින ප්‍රේමයත්, අයියාගේ සියදිවි නසාගැනීමේ සිදුවීමත් හරහා පංති භේදය සහ අතාර්කික පාරම්පරික චින්තනය ප්‍රේමයට බලපාන විදිය ගැන ලස්සනට කියල තියෙනවා.
ඒ හැමදෙයක් අතරේ මේ කතාව තුළින් බා ජින් වැඩියෙන් ම කියාන්න උත්සහ කරල තියෙන්නේ, එකිනෙකා අතර පවතින සන්නිවේදනයේ දුර්වලතා නිසා, ඒවා දුර්වලතා කියනවට වඩා තමන්ගේ හැඟීම් අනෙකාට පැහැදිලිව ප්‍රකාශ නොකිරීමේ වරදින් ජීවිත කාලයටම පසුතැවීම විතරක් ඉතිරිවෙන ආකාරය ගැන කියල තමයි මට නම් හිතෙන්නේ.
තමන් වචන වලින් නොකියන දේ අනෙකා තේරුම් ගනීවි යැයි බලාපොරොත්තු වීම ම මං හිතන්නේ තේරුමක් නෑ කියලා. කෙනෙකුට කියන්න පුළුවන් ඒක තමයි හැබෑ ආදරය කියලා, ඒත් තමන්ට දැනෙන දේ සහ තමන් තුළ තියෙන හැබෑ ප්‍රශ්නය අනෙකාට හෙළි නොකරනතාක් මානව සම්බන්ධතාවක් ශක්තිමත්ව ගොඩ නැගෙන්නේ නෑ කියලා මට හිතෙනවා.
හරුකි මුරකමි කියල තියෙනවා, “what happens when people open their hearts? They get better.” කියලා.
හිතාගන්න බැරි විදියට, අපිව කම්පනයට පත් කරන අවසානයක් ගෙනෙන “වහලෙකුගේ හදවත” කෙටිකතා සංග්‍රහයේ “කලින් නික්මුණු වසන්තය” ඔයාලත් කියවලා බලන්න.

ජනුකා එදිරිමාන්න-Januka Edirimanna





