මහේෂි බී. වීරකෝන්:
As a Rule of Thumb
ජෝෂ් කියලා නම තියෙන පිරිමි ළමයි හරිම ලස්සනයි. මගේ මුළු ජීවිත කාලෙටම, ඒ නම තියෙන කිසිම අවලස්සන පිරිමියෙක් මට මුණ ගැහිලා නෑ. ඒ ජෝෂුත් එහෙමයි. හැබැයි එයාගේ ඇත්ත නම ජෝෂ් නෙමෙයි. ඒ, “ඒ නම තියෙන හැමෝම ලස්සන නමත්” ජෝෂ් නෙමෙයි. ඒත් එයා හරියටම ජෝෂ් ඩුහමෙල් තරුණ කාලේ වගේමයි. ඒ උස, ඒ කොණ්ඩේ, ඒ ජෝලයින් එක, ඒ ඇස්, ඒ හිනාව, ඒ ඇටිටියුඩ් එකත්…ජෝෂ් ඩුහමෙල්ගේ පරණ රොම්කොම්ස් බලන හැමවෙලේම මම එයාට ටෙක්ස්ට් එකක් දානවා: ” Hey, මට ඔයා මතක් වෙනවා…”

ජෝෂුත් මට හැමදෑම ටෙක්ස්ට් එකක් දානවා: “Hey, ඇයි ඔයාට බැරි මට ආදරේ කරන්න.” Legit.
පැහැදිලිවම ජෝෂ් මට ආදරේ කළා. ඒකේ දෙකක් නෑ. අවුරුදු දහයකට ආසන්න කාලයක්, ආදරේ නොකර, තමන් කැමතිම විදියේ කෙල්ලෙක් ඇසුරු කරන්න පුළුවන්ය කියලා මං හිතන්නෑ කාට උනත්. (ඒත් ඉතින් මට හැමෝම වෙනුවෙන් කතා කරන්නත් බෑනෙ. එහෙම පුළුවනුත් ඇති.) කොහොම උනත්, ජෝෂ්ට නම් බැරි උනා. ඉතින් ඉතාම ස්වභාවික විදියට ජෝෂ් මට හුඟක් ආදරේ කළා. ආදරේ කළා විතරක් නෙමේ, එයා මා එක්ක ආදරෙන් බැඳුණා. ඇත්තටම එයා මට මුලින්ම ලන් උනෙත් ආදරේ කරන්න බලාගෙන.
ජෝෂ් මගෙන් ඒ ප්‍රශ්නේ අහන්න එයාට ඕනි තරම් හේතු තිබුණා. එයා මං ආස විදියේ පෙනුමක් තිබුණ තරුණයෙක්. හුගක් දේවල් ගැන හරිම අනුරාගී තරුණයෙක්: ස්පෝට්ස් කාර්ස්, විස් කලීෆා, කියුට් සුදු ගෑනු ළමයි, ස්පැගටි බොලොනේස්… එයාගේ හිත කුල්මත් කරන්න පුලුවන් උනා ඔය වගේ වැදගත් නොවැදගත් හුඟක් දේවලට. ඇරත්… එයා කොයිතරම් කාරුණික, සංවේදී පිරිමියෙක්ද?
මමත් හුගක් වෙලේට මගෙන්ම ඒ ප්‍රශ්නේ අහගත්තා. ඉතාම දැඩිව ආදරෙන් බැඳෙන්න තරම් හැඟීමක් මට එයා ගැන පහළ නොවුනේ කොහොමද? අවුරුදු දහයක්ම යනකල්? ඒ අතරතුරේ මං නානාප්‍රකාර වයිවාරණකාරයෝ කීදෙනෙකුට ආදරේ කලාද?
ජෝෂ් කියන්නේ මගෙ පෙම්වතෙක් නෙමෙයි. ඒත් මගෙ පෙම්වතෙක් නෙමෙයිත් නෙමෙයි. එයා මගේ යාළුවෙකුත් නෙමෙයි. ඒත් යාළුවෙක් නෙමෙයිත් නෙමෙයි. හැම වෙලේම අපේ සබන්දතාවය තිබුණේ ආදරේ සහ මිත්‍රත්වය අතර. එතකොට ඒ අතර පොඩි පොඩි උකුළු මුකුළු, හැඟීම් ඇවිස්සෙනසුළු විහිළු, “අනේ මට තේරෙන්නෑ ජෝෂ්”මය හැඟීම්බර ඩ්‍රැමටික් මොහොතවල් සහ පෙම්වතුන් අතර ඇතිවෙන ආකාරයේ බොරු රණ්ඩු, ඔයාකාරයේ දේවලුත් තිබුණා. යාළුකමට එහා සහ ආදරයට මෙහා…බ්ලා බ්ලා බ්ලා..(And still a better a love story than Twilight, හා හා හා)

අපේ හමුවීම් උනුසුම් මිතුරු මොහොතවල් වගේම හැඟීම්බර ආතතිමය මොහොතවල් අතර දිය වෙලා ගියා. හොට් චොක්ලට්, ගොම්මන් නියෝන් ලයිට්ස්, මුහුදු හුලං, වෙස්ට් කෝස්ට් හිපොප්…ඔය සේරම අතරේ මං මගේ ආදර පළහිලව්වල අලුත්ම තත්වෙ ගැන එයාට වාර්තා කළා. එයා හිනාවෙවී අහගෙන හිටියා. විසඳුම් දුන්නා. හැමදෑම මෙහෙම අවසන් කළා:
” හැමවෙලේම කටු අත්ත වගේ උන් එක්ක පැටලෙන්නැතුව ආදරෙන් ඉඳහං බං.”
ඒ ලස්සන සෙක්සි ඇස් දෙක ඉස්සරදිවත්, ආදරේ කොහොම උනත් මට එයාට ශාරීරිකව ලංවෙන්නවත් අදහසක් ආවේ නෑ නේද කියල හිතුනම මටම පුදුමයි. මොකද මං හුගක් වෙලේට මිනිහෙක්ට ආදරේ කරන එක ගැන හිතුවෙ දෙවනුවනේ. අපි විහිළු කරලා හයියෙන් හිනාවෙද්දි මං එයාගේ පිටට තඩිබෑවා. එයාගෙ කම්මුල් වලට හෙමීට තට්ටුවක් දැම්මා තමයි. ඒත් එච්චරයි.

ඒත් පෙළක් වෙලාවට එයා සමනළ පිහාටුවක් වගේ මුදුවට මගේ අත අල්ලාගෙන දුර ඈත දිහා බලාගෙන මගෙන් අර සදාතනික ප්‍රශ්නේ අහනවා: “Hey, ඇයි ඔයාට බැරි මට ආදරේ කරන්න?”
ඔව්, අඩුම තරමේ කිසිම පෙම්වතෙක් නැති කාලෙකදිවත්, මගේ හදවත බිඳුනු වෙලාවකවත්…ඇයි? ඇයි? ඇයි?
මං එයාට ආදරේ කලාට වඩා හුගක් වැඩියෙන් එයා මට ආදරේ කලා වෙන්න පුළුවන්. ඇරත්, ආදරේ කියන්නේ මහ අරුම පුදුම දෙයක්නේ. අවුරුදු දහයක් මගෙ ජිවීතේ සියළු දුක සැප බෙදාගෙන මා ලඟින් හිටපු කඩවසම් පිරිමියා එක්ක ආදරෙන් නොබැඳුනාට, තත්පර තුන හතරකින් නන්නාඳුනන මිනිහෙක් ගැන ආදරේ හිතෙන්න පුළුවන්.

ඒත් මං එයාට ආදරේ නොකළාත් නෙමෙයි. කළාත් නෙමෙයි. මට හිතුනේ අපි අතරේ ඉතාම ලස්සන, ඉතාම මුදු, ඉතාම දයාබර යමක් තිබුනය කියල. ඉතින් ඒකට නමක් දෙන්න ඕනි නෑ. ඒක ආදරේද, යාළුකමද, නැත්තම් ඒ අතරමැද දෙයක්ද…who cares! අපි ඒකට “ස්පැගටි බොලොනේස්” කියලා නම දැම්මත් මොකද? රෝස මලට වෙනින් නමක් දැම්මොත් සුවඳ වෙනස් වෙනවද කියලා ඇහුවේ ශේක්ස්පියර්ගේ ජුලියට් නේද? ඒ කොහොම උනත්, කොයිවිදියකින් හරි අපි අපේ ජිවිත වල ඉන්න එකම බ්ලෙසින් එකක් නෙමේද?

ඒත්, ඇත්තටම, ඒ ආදරවන්තයින් තුළ නොතිබුනු යමකුත් ජෝෂ් තුළ තිබුනා. H-O-P-E… මගෙ හදවත දිනාගැනීමේ බලාපොරොත්තුව…ඔව්, මං හිතන්නේ ඒක එයාගේ ආදරේ වඩ වඩා මුදු කළා. හරියට සියුම්ම සියුම් හිරු එළිය සිබිඩ්ඩකින් වැහුණු, ඇඟිල්ලෙන් ඇන්නොත් පුපුරලා දස අතේ විසිරෙන හිරු රැස් බෝලයක් වගේ. පෙළක්විට, දැනටමත් මාව දිනාගෙන හිටපු පෙම්වතෙකුට එයාගේ වැඩ කන්දරාව අස්සේ අමතක උනත් “මං-ආසා-උන-විදියට-ඊයේ-රෑ-ස්පැගටි-බොලොනේස්-කෑවද?” අහන්න ජෝෂ්ට කවදාවත් අමතක උනේ නෑ. පෙළක්විට, මම ඒකට වැඩියෙන් ආසා උනා වෙන්නත් ඇති. මට ජෝෂ් ඕනි උනේ ජෝෂ් හැටියට මිසක් මගේ අනික් පෙම හැටියට නෙමේ වෙන්නැති

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon





