මහේෂි බී. වීරකෝන්:
රාස්සිගේ ලා රත්තරන් පාට අව්ව වැටෙන වෙලාව… ඒ තමයි මං ඩ්‍රයිව්ස් යන්න ආසම වෙලාව. ඊට පස්සේ ඉර මුළුමනින්ම වියැකිලා ගිහින් රෑ මැදියමත් පහුවෙනකල් ඔහේ පාරවල් ගානේ හිස හැරුණු හැරුණු අතට වාහනේ යන්න… හැබැයි ඩ්‍රයිව් කරන්නේ මං නෙමෙයි.

කඳුකරේ ඉපදිලා හැදුන වැඩුනට, ආදරේ හොදටම විඳින්න පුලුවන් මෙට්‍රොපොලිටන් වලදි කියලා මට හැමදෑම හිතුනා. පටු පෙත්මං සහ අධවේගී මාවත් වලින් කොටු වැටුනු, මහේශාඛ්‍ය ගොඩනැඟිලි වලින් පිම්බුනු, නියෝන් එළි වලින් දිලිහෙන, අඳුනන කාත් කවුරුත් නැති, එකවිට හැම කෙනෙක්ම “අනෙකා” වගේම තමන්ම වෙන සුවිසල් නගර මගේ ආත්මයේ නිදහස අවදි කරනවා. සීමා බොඳ කරනවා. පොපියන ආසාවන් බැඳලා තියෙන අශිෂ්ඨත්වයේ හුය ලිහා දානවා. මගේ ජීවිතේ අපූරුම ආදර කතා ලියැවුණේ මේ ආලෝක තීරු දිගේ…urban ආදරේ ලස්සනයි, විසිතුරුයි, චාරුමත්…

මේ ගොම්මනේ හයිවේ එකේ ඇදෙන වාහනේ ඇතුලේ එයාගේ ඇබා සිඩී එක සුරු සුරු කියලා ඇද හැලෙනවා හරියට හීනි පොද වැස්සක් වගේ.
“මට මේ පරණ සිංදු අහන්න බෑ. අලුත් එකක් දාන්නකෝ.” ඒ මගේ කෝඳුරු කංකෙඳිරිය.
“එහෙනම් පරණ සිංදු වලට ආසයි කියන්නේ.”
“මේ තරම් පරණ ඒවා නෙමේනේ. මොඩර්න් ටෝකින්ග් දාන්න. නැත්තම් ෆ්ලීට්වුඩ් මැක්, ඊටත් පරණ ඒවා එපා..”
මං කබිහෝල් එක ඇරලා සිඩීස් බලලා ඒ අතරින් ෆ්ලීට්වුඩ් මැක් සිඩී එක හොයාගන්නවා.
“Well, here you go again you say you want your freedom…“

කියලා ස්ටීවි නික්ස් එයාගේ පෙබ්ල් හඬින් කියද්දි එයා මගේ පැත්තට බර වෙලා උරහිසේ හාදුවක් තියෙනවා.
“Well who am I to keep you down” කියද්දි මං සීට් බෙල්ට් එකත් ගලවලා එයාගේ ඇගේ එල්ලිලා ලස්සන කම්මුල් ඉඹගෙන ඉඹගෙන යනවා.
“Yeah, thunder only happens when it’s raining”
අපි හයිවේ එකෙන් එක්සිට් වෙනවා.
“Have you any dreams you like to sell?”
වාහනේ පාර අයිනට වෙන්න නවතිනවා.

රත්තරන් තැටියක් වගේ ඉර ඈත මුහුදේ හෙමි හෙමින් නොපෙනී යන්න අරන්. එයාගේ ලස්සන කෙහෙ රැළි වලින් නැඟෙන මගේ 4711 ඕ ඩි කොලොන්ග් සුවඳ අඩ අඳුර මත තැවරෙමින්…
ෆ්ලීට්වුඩ් මැක් සීඩී එක දිගටම දිගටම ප්ලේ වෙනවා. “අද ගෙදර යන්න ඕනි නෑ. වැඩක් තිබුණා කියන්නම්…” ආසාවෙන් වෙව්ලන එයාගේ කෙඳිරිල්ල සිංඳු අතරේ සින්කොපේට් වෙවී, ලැන්ග්ස්ටන් හියුස්ගේ හීනේ වගේ මගේ සුසුම් වල පැටලෙනවා…
නැත්තම් ෆ්ලීට්වුඩ් මැක්ලගේ හීනේ වගේ…? who cares! අපි ආදරෙන් බැඳිලා…!

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon
OnThisDay
ඡායාරූප අන්තර්ජාලයෙනි.





