බස් නැවතුමකදී හමු වූ හිටපු ස්වීඩන් අගමැති ඉන්ග්වර් කාල්සන් (Ingvar Carlsson)

ස්වීඩනයේ ස්ටොක්හෝම් පුරවරයේ ටිරේසෝ(tirso) කොමියුනෙහි වීදියක් ඔස්සේ රිය පදවමින් සිටි මාගේ යෙහෙළිය ප්‍රියන්වදා හදිස්සියේ රිය අතරමග නතර කළාය

” ආං, අපේ හිටපු අගමැතිතුමා බස් හෝල්ට් එකේ ඉන්නවා” 

ඔහු බසයක් බලාපොරොත්තුවෙන් සිටියේ දේශපාලන කටයුත්තක් වෙනුවෙන් ස්ටොක්හෝම් නගරයට යන්නටය .ඔහු ස්ටොක්හෝම් කරා රිය පදවාගෙන යන්නේ තම මෝටර් රථයෙන් යෑම අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී පමණකි.

“බස් එකේ, කෝච්චියේ යනකොට මිනිස්සු මාව අඳුනගෙන කතාබහ කරනවා. මම ඒකට කැමතියි. ඔහු පවසයි.”

එලෙස අප හමුවූයේ දේවතාවක්ම ස්වීඩන් රජයේ අග්‍රාමාත්‍යධුරය හෙබවූ වසර තිස් අටක් ස්වීඩන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ස්වීඩනයේ පමණක් නොව , යුරෝපකරය තුළම කීර්තිමත් දේශපාලන නායකව සිටි ඉන්ග්වර් කාල්සන්ය .ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී සටහනට අනුව ලෝකයේ පළමු ස්ථානය ගන්වා සුවීඩනයේ අග්‍රාමාත්‍යය ධුරයට ඉහළින් සිටින්නේ කාල් ගුෂ්ටාෆ් රජතුමාය . යුරෝපා සංගමයේ තුන්වන විශාලතම රටවන ස්වීඩනයෙහි ප්‍රමාණය වර්ග කි.මී.450,295කි.

King Carl Gustaf

1986 – 1991 සහ 1994 – 1996 අග්‍රාමාතය ධූරය දරන්නට පෙර ඉන්ගිවර්  1982 – 1886 දක්වා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අසුන හෙබ වූයේය. 1986 දී එවක අග්‍රාමාත්‍යය ඌලෝෆ් පල් මේ(Olof Palme) ඝාතනයට ලක්වීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ පැවති ඡන්දයකින් හේ ආග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ. ඔහුට පක්ෂව ඡන්ද 178ක්ද, විපක්ෂ ඡන්ද (00) දෙකක්ද ලෙස ලබා ගනිමිනි .රටේ ජනතාව මෙන්ම පාර්ලිමේන්තුවද ඔහු වෙත තැබූ විශ්වාසය වෙනුවෙන් සාධාරණය ඉටු කරමින් යුරෝපාකරය තුළ පමණක් නොව, සමස්ත ලෝකය තුළම සංවර්ධිත රාජ්‍යයක් ලෙස ස්වීඩනය ඔසවා තබන්නට කාල් සොන් රජයේ ආර්ථික ප්‍රතිපත්තියත්, සමාජ දැක්මත්, විරුද්ධ පක්ෂිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවත් මහත්සේ දායක වී ඇත්තේය.

1986දි එලෙස කාල් සෝන් රජය ගොඩනැගෙන  ස්වීඩනයේ අයවැය හිඟය ක්‍රෝණ බිලියන අනුවක් විය. කාල්සන් රජය එම හිඟය පියවූයේ
. ඉහළ ආදායම් ලබන්නන් මත බදු පැනවීමෙන්, ණය පොලී වැඩි කිරීමෙන් ,වැය පක්‍ෂය අඩු කිරීමෙන් සහ වෙනත් රටවලට කළ ආධාර කපා හැරීමෙනි. ආරම්භයේදී එම තත්ත්වය ජනතාව අතර කිසියම් නොසන්සුන් තත්ත්වයක් ඇති කළ ද, පසුව එය ක්‍රෝණ බිලියන සිය ගණනක අතිරික්තයක් බවට පත්වී තිබිණි. එම අතිරික්තය ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කරන්නට කාල්සන් රජය වහා පියවර ගත්තේය.

ස්වීඩනයේ එවක පැවති විරැකියා ප්‍රශ්නය විසඳන්නටත් ,රට පුරා පාසල් ,ළදරු සුරැකුම් මධ්‍යස්ථාන සහ වැඩිහිටි නිවාස ඉදිකරන්නටත් එම අතිරික්තය වැය කෙරුනි. ඉන්ගවර් කාල්සන් දෙවන වතාවටත් තම අග්‍රාමාත්‍යවරයා ලෙස ඡන්දයෙන් තෝරාපත් කරන්නට ජනතාව පෙළඹුණේ ඔහු කෙරෙහි ගොඩනැගී තිබූ එම විශ්වාසය, ආදරය සහ ගෞරවය ඔස්සේය. අග්‍රාමාත්‍ය ධුරය හැරුණු විට අධ්‍යාපන අමාත්‍යය 1969 – 1973, නිවාස කටයුතු අමාත්‍යය ,1973 – 1976 , පාරිසරික කටයුතු පිලිබද අමාත්‍යංය1985 – 1986 යන තනතුරුද සංවිධානාත්මක ලෙස මනාව මෙහෙය වූ ඉන්ග්වර්  වසර දහයක්ම 1986 -1996 ස්වීඩන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ  (Sweden Social Democratic Party)  නායකත්වය දැරුවේය. ඒ අනුව, 1991 – 1994 කාලය තුළ ස්වීඩන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකයා වූයේද ඉන්ග්ර්වය.

ඉන්ග්වර් කාලසන්
Ingvar Carlsson

1995 ජනවාරි මාසය පළමුවෙනිදා ස්වීඩනයට යුරෝපා සංගමවෙහි සාමාජිකත්වය ලබාගන්නට කටයුතු කළේද කාල්සොන් රජයයි.
දීර්ඝ කාලයක් එකම සේවා ස්ථානයක හිඳීමෙන් නීරස ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන් එබඳු දැක්මක් යටතේ 1996 වර්ෂයේදී ඉන්ග්වර් කාලසන් පක්ෂ නායකත්වයෙන් මෙන්ම ,අග්‍රාමාත්‍ය දුරයෙන්ද ඉල්ලා අස්වු⁣යේ ජනතාව එපා කියද්දීය.& එහෙත්, ඔහුට ස්වකීය මාතෘ භූමිය මෙන්ම ,සෙසු ලෝකය වෙනුවෙන්ද දරන්නට බොහෝ දෑ තිබුණි. 2001 “ගොතේන් බර්ග්’ කැරැල්ල සම්බන්ධ විමර්ශන කමිටුවේද ,1994 රුවන්ඩා ජන සංහාරයට අදාළව එක්සත් ජාතීන්ගේ ක්‍රියා කරාකමි විමර්ශන කමිටුවෙහි සහ බර්ග්මාන් පදනම හි ද සභාපති ධූරය දරනු ලැබුවේ ඉන්ග්වරු කාලසන් විසිනි. 1995  වසරේදී ජාත්‍යන්තර සංවර්ධන සහ ආරක්ෂාව ගෝලීකරණය මත පදනම් වූ ගෝලීය පාලනය සම්බන්ධ කොමිසමේහි සම සභාපතිත්වය  පැවරී තිබු⁣නේ ශ්‍රීදත් රාම්ෆාල්ට සහ ඉන්ග්වර් කාලසන්ටය.

මම ඉපදුනේ දුප්පත් පවුලක .ඒ, 1934 නොවැම්බර් 9 වැනිදා බෝරුස් ප්‍රදේශයේ කෝපි කම්හලක සේවකය වූ මගේ තාත්තා ! ඌ ලෝෆ් කාල්සන්, මට අවුරුදු 12 දී පියා කම්හලේදීම මියගියා. ඉන්පසු මාගේ අම්මා ඊඩා කාල්සන් මටත් මගේ සහෝදරයන් දෙන්නාටත් උගන්වන්නට ලොකු වෙහෙසක් දැරුවා. ඇය ඇඳුම් කර්මාන්ත ශාලවක සේවයට එක්වුණා. වයස අවුරුදු 14 දී මගේ ඉදිරියට නෙරා තිබූ දත් සකස් කරන්නට මුදල් හොයාගන්නට අම්මා රැකියාවට අමතරව වෙළඳ ආයතනයක තරප්පු පේළි පිරිසිදු කළ හැකි තවමත් මතකයි.

බොරෝස් නගරයේදී කුඩා ඉන්ග්වර් කාල්සන් ඔහුගේ දෙමාපියන් සහ සහෝදරයා සමඟ.

පසුකාලීනව මම අධ්‍යාපන ඇමති ධූරය දරද්දී පාසල් දරුවන්ගේ දීමනා ක්‍රෝණ 400-485 දක්වා ඉහළ නංවන්නට කටයුතු කළා. අග්‍රාමාත්‍ය තනතුරු දරන කාලයේදී පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනයා 50%ක් දක්වාඉහළ නංවන්නටත් මට හැකිවුනා. මගේ රට මා වෙනුවෙන් ලබාදුන් අධ්‍යාපනය වෙනුවෙන් වගේම, මගේ අම්මා මා වෙනුවෙන් වින්ද දුක් කන්දරාව වෙනුවෙනුත් සාධාරණයක් ඉෂ්ට කරන්න මට ඉන් අවස්ථාව ලැබුණා. ඉන්ග්වර්  එසේ පැවසුවේ ඉතා හැඟුම්බරය. ඒ හැරුණුවිට කාන්තාවකට ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියැලීමේ අයිතිය ලබා දෙන්නටද, වයස අවුරුදු දහ අටෙන් පහළ දරුවන්ට නොමිල⁣යේ  දන්ත සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්නට ද කටයුතු කොට ඇත්තේ කාල්සන් අග්‍රාමාත්‍යවරයාය.

“අවුරුදු පහළොවේදී මගේ පළමු රැකියාව වුණේ වෙළඳසැලක් වෙනුවෙන් බයිසිකලයකින් ගෙවල්වලට චීස්, බටර්  සහ රස කැවිලි බෙදා හැරීම. ඒ කාලයේ බොහෝ විට දුප්පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතරමග නතර වුනා .නමුත්,මමත් මගේ සහෝදරයන් දෙදෙනාත් කෙසේ හෝ දිගටම අධ්‍යයාපන කටයුතු පවත්වාගෙන ගියා.”
උත්සාහය අත් නොහැරී ඉන්ග්වර් පසුව ස්වීඩනයේ ඛමාබා විශ්වවිද්‍යාලයෙන් දර්ශනවේදී ගෞරව උපාධිය හිමි කරගත් අතර, ඇමෙරිකාවේ  Northwest විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව ගෞරව උපාධිය ලබා ගත්තේය.

Northwestern University
Lund University

ඛමබා විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ සිසුවෙකු ලෙස සිටියදී ඉන්ග්වර්හට ස්වීඩන් පාර්ලිමේන්තුව සමීප වන්නේ අසිරිමත් ආකාරයටය. එවක ස් වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයාව සිටි තාගෙ එර්ලන්ඩ සාකච්ඡාව සඳහා ඛමබා විශ්ව විද්‍යාලට ගිය අවස්ථාවක එහි සමාජවාදී ශිෂ්‍ය සංගමවෙහි සභාපති තනතුරේ සිටි තරුණ ඉන්ගවර්ද එයට සහභාගි වී සිටියේය .ඔහුගේ හැකියාවන් සහ දක්ෂතාවන් දුටු අග්‍රාමාත්‍යවරයාය  සිය ලේකම් වූ ඌලෝෆ් පල් මේ සමඟ සාකච්ඡා කොට ඔහු තම සේවා කටයුතු වලට සම්බන්ධ කර ගත්තේය. අග්‍රාමාත්‍යවරයාය ගේ කතා පිටපත් සකසන්නට, ලියුම් වලට පිළිතුරු සපයන්නට, පක්ෂ නායකයන් හා දෙපාර්තමේන්තු නිළධාරින් මුණ ගැසෙන්නට ,ගමන් බිමන් සංවිධානය කරන්නට සහ තවත් කොතෙකුත් භාරදූර වැඩ කටයුතු එහිදි ඔහු වෙත පැවරුනණි,

ඉතා කඩවසම්, තරුණ ඉන්ග්වර්ට ස්වීඩනයේ ඉහළ ව්‍යාපාරික පවුලකට අයත්, පුස්තකාල පරිපාලනය හදාරමින් සිටි ඉන්ග්‍රීඩ් නම් සුන්දර තරුණිය  මුණගැසෙන්නේ ද විශ්වවිද්‍යාලයේදීය. ඉන්ග්වර්ගේ දස්කම් මෙන්ම, අසීමිත ධෛර්යයද හැඳිනගන්නා ඉන්ග්‍රීඩ්  නොපැකිලිව ඔහුට සමීප වූවාය. ඉන්ග්වර්- ඉන්ග්‍රීඩ් යුවලට දියණිවරු දෙදෙනෙක් සිටිති. වැඩිමහල් දියණිය ඉන්ජෙලා කාල්සන් සිය පියාණන්ගේ ප්‍රියතම වනෝදාංශයක් වන ක්‍රිඩා අංශයට ද බාලදියණිය වන පියා කාල්සන්  දේශපාලන ක්ෂෙත්‍රයට ද යොමු වීසිටිති.

ඉන්ග්වර් කාල්සන් සහ ඔහුගේ බිරිඳ ඉන්ග්‍රිඩ්
Ingvar Carlsson and his wife Ingrid
ඉන්ජෙලා කාල්සන් – පියා කාල්සන්
Ingela Carlsson – Pia Carlsson

ඛමබා විශ්වවිද්‍යාලය 2024 වර්ෂයේ දී එම විශ්වවිද්‍යාලයේ පළමුවෙනි ගෞරවනීය සාමාජිකයා වශයෙන් ඉන්ග්වර්  කාලසන් නාමය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ, ඔහු වෙත උපරිම ගෞරවය පිරි නමමිනි.

“පුංචි කාලේ ඉඳලම හතු නෙළන්න මම හරි ආසයි. ඒ මම කැමතිම විනෝදාංශයක් අගමැතිව ඉඳිද්දිත් මම හතු නෙළන්න  කැලේට ගියා. හතු නෙළද්දිත් ආරක්ෂක බටයො  ඉන්න එක මට නම් මහා කරදරයක් වගේ දැනුණා. නිදහස මහත්සේ අගයන ඉන්ග්වර් පවසයි. වනාන්තර සහ ගල් පර්වත බහුල ස්වීඩනයේ උස්ව අතු විහිදා සරුවට වැඩුණු ෆයින්,බර්ච්,ඇස්ෆන් සහ ඕක් ගස් සහිත වනාන්තරවල නිදහසේ බොහෝ දුර ඇවිද යෑමත්, පාපන්දු සහ හිම ක්‍රිඩා වනෝදාංශ අතර වේ.

ඒ හැරුණුවිට අග්‍රාමාත්‍ය තනතුරින් විශ්‍රාම ගැනීමෙන් පසුව ලේඛන කලාවට ද පිවිසී ඉන්ග්වර්  මේ වන විට සිය ජීවිත කතාව ඇතුළු ග්‍රන්ථ කිහිපයක්ම මද්‍රණද්වාරයෙන් එළිදක්වා ඇත.

මම දැන් රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෙක්. ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් විශ්‍රාම වැටුපක් මට ලැබෙනවා. රජයේ වාහන, නිවාස, නවාතැන්, ආරක්ෂක භටයන් ඒ කිසිවක් අවශ්‍ය නැහැ. අපේ රටේ එහෙම ක්‍රමවේදයක් ඇත්තෙත් නැහැ. ඉන්ග්වර් පැවසුවේ ඉතා සැහැල්ලුවනි.

ජාත්‍යන්තර  දේශපාලනය තුළ දී තමාට මුණගැසුණු හොදම මිතුරා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයායව සිටි රජිව් ගාන්ධි බව ද, රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් සඳහා ප්‍රථම වතාවට පැමිණි ආසියාතික රට ලංකාව බව ද ඔහු පැවසුවේ මහත් සතුටිනි. 1963 වසරෙ දී, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිව සිටිය දී ඔහු ලංකාවට පැමිණ තිබුණේ තරුණ කටයුතු පිළිබඳව කොළඹ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වන්නටය.

ලංකාව බොහොම සුන්දර රටක්. ලෝකයේ පළමු වන අග්‍රාමාත්‍යවරිය බිහිවුණු රට ලංකාව. ඔහු කීවේ අතීතය සිහිපත් කරමිනි.

සෙයිලාන් කාලේ ඉඳලම ලංකාව යැපුණේ විදේශ මුදල්වලින්. සම්පත්වලින් පිරුණු රටක් වුණත්, තවමත් යැපෙන්නේ විදේශ  ආධාරවලින්. රටක දියුණුවට අවංක නායකත්වය වගේම ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය අංගයක්. මම උපදිනකොට මගේ රට දුප්පත් රටක්. බොහෝ දෙනා ඇමරිකාවට සංක්‍රමණය වුණා. මේ රටේ දියුණුවට 
නායකයන් වගේම රටේ ජනතාවත් ඇප කැප වෙලා අවංකව සේවය කළා. අද අපි වෙනත් රටවලටත් ආධාර සපයනවා”. ඉන්වර් එසේද කීවේය.

“රටේ නායකයා පළමු වෙන්ම ජනතාවට අවංක විය යුතුයි. ඒ වගේම, නායකයෙක් හැම විටම අන් අයට ආදර්ශවත් විය යුතුමයි. රටක දේශපාලනයට ආගමක් සම්බන්ධ කර ගැනීම නොකළ යුතු දෙයක්. එය ලෝකය පුරා පවතින මේ ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වෙන්නට බලපෑ එක් ප්‍රධාන හේතුවක් හැටියට මා දකිනවා”.

වත්මන් ලෝකයේ අර්බුදකාරී තත්ත්වය ඔහු දකින්නේ එලෙසිනි. එදා බස් නැවතුම් පොලේදී මුණගැසුණු ස්වීඩනයේ හිටපු අග්‍රාමාත්‍ය ඉන්ග්වර් කාල්සන්  සමග මේ අපූරු කතාබහට මට ඉඩ  සලසා දුන්නේ මගේ සහෘද  ලේඛිකාවක් වන  ස්වීඩන් වාසි ප්‍රියංවඳා බන්දු වර්ධනය. ඉන්ග්වර් කාල්සන්  හට දිවා ආහාර සඳහා ඇය කළ ආරාධනාව ඔහු පිළිගත්තේ ඉතා ලෙන්ගතුය.

“ඉන්ග්වර්, මොනවද හදල තියන්න ඔන?

ප්‍රියංවදා ඇසුවාය.

කැමති දෙයක් ප්‍රියා. මම දහවල් එකට එන්නම්” ඔහු පොරොන්දු  වූයේය. අල්සයිම රෝගයෙන් පෙලෙන ඔහුගේ ආදරණීය බිරිඳ ප්‍රදේශයේ පොදු වැඩිහිටි නිවාසයක වසන අතර ඉන්ග්වර්  කුඩා තට්ටු නිවාසයක  උයා පිහා ගනිමින්, නිවසේ සියලු වැඩ කටයුතු තමා විසින්ම කරගනිමින් ජීවත් වේ. සිය කාරය තමාම පදවාගේන ආ අනු හැවිරිදි ඉන්ග්වර් මගේ යෙහෙළියගේ ගේ දොරකඩ පෙනී සිටියේ මිනිත්තුවකුදු එහා මෙහා නොකොට හරියටම එකටය. ඉතා ප්‍රීතියෙන් විහිළු තහලු කරමින් ඔහු අප හා හෝරා දෙකක් පමණ ගත කළේ මහත් සැහැල්ලුවකිනි.

සුනෙලා විජේසිංහ සහ ප්‍රියංවදා බන්දුවර්ධන හිටපු අගමැති සමග. Sunela Wijesinha and Priyanwada Banduwaradana with the former Prime Minister.

ඔහු වඩාත් කැමති කහ පැහැති හතු විශේෂයක් (Yellow Kantharalle) සමග අලුත් අර්තාපල් ඇතුළු රසවත් ආහාර වේල අවසන් වූයේ ඔහුගේ ප්‍රියතම රස කැවිලි විශේෂය වන බ්ලූබෙරි කේක් වලිනි. හතු සහ බ්ලූ බැරි ප්‍රියන් වදා විසින් කැලෑවකින් නෙලාගෙන එනු ලැබූ ඒවාය.

“මම දැන් රාජ සේවය විශ්‍රාමිකයෙක් විතරයි. නමුත් මගේ රට මට බොහෝ දේ ලබා දුන්නා. ඒ වෙනුවෙන් මම තවම කැපවී වැඩ කරනවා. ඔහු තවමත් තම පක්ෂයේ වැඩ කටයුතුවලදී කාරශූර ලෙස දායක වන අතර අවැසි වන විටක රාජ්‍යතන්ත්‍රයේහි කටයුතු සඳහා ද උපරිම වශයෙන් සිය සහයෝගය පිරිනමයි. ස්වීඩනයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට  අදටත් ඉන්ග්වර්   නැතුවම බැරි පුද්ගලයෙකි. පක්ෂයේ වැදගත් යමක් සිදුවන්නේ කොතැනකද ඉන්ග්වර්  අනිවාර්යයෙන්ම  එතනය. ඔහු සමග ඇසුරු කර කෙටි කාලය තුළ  ඔහුගේ අපූරු ජීවන තොරතුරුවලින් මා උකහා ගත්තේ, ඉන්ග්වර් කාල්සන්  ගේ චරිතය අප රටේ දේශපාලනයක්ද ආදර්ශයට ගත හැකි සහ ගත යුතු චරිතයක් බවයි. එසේ වුවහොත්, සම්පත්වලින් පිරි අපේ මේ පුංචි ශ්‍රී ලංකාව සීවීඩනය සේම දියුණුවට පත්වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

දිවයින

More From Author

අයිස්ක්‍රීම්

ලැන්ග්ස්ටන් හියුස්ගේ හීනෙ වගේ, මගේ සුසුමි වල පැටලේනවා

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348