අයිස්ක්‍රීම්

ඉර මුදුණටම විත් තිබිණ. ඉහින් කනින් දහඩිය බේරුණිද මම ඉක්මනින් ගමන් ගතිමි . සෙනසුරාදා දවසක් බැවින් වරුවෙන් රාජකාරි නිමවා නිවස බලා යන කාර්යාල සේවකයන්ගෙන් නගරය ජනාකීර්ණව තිබුණි . දේවක මට හමුවෙන්නට එන්නට කියා තිබුණේ අරලිය ගහ යටටය . හැමදාමත් ඔහු එන තෙක් මා මග බලා සිටින්නේ එතනය . මා පමණක් නොව කළුතර අවට වාසීන් කිසිවෙකු මුණ ගැසෙන්නට අරලිය ගස් සෙවණේ බලා හිදීම සුපුරුදු දසුනකි. කළුතර නගරයේ කෙළවරක නගර සභා ගොඩනැගිල්ල ඉදිරියේ පිහිටි අරලිය ගස් කිහිපයකින් සෙවණ වූ පදික වේදිකාව තරමක් ඉඩ කඩ ඇති ස්ථානයකි.

පරණ පොත් විකුණා ජීවිතය ගැට ගසා ගන්නා සීයා කෙනෙකු හා කැඩුණු සපත්තු මසා එදා වේල හරිහම්බ කරගන්නා අබ්බගාත සපතේරුවෙකු හැරුණු විට මෙම ස්ථානය නගරයේ අනෙකුත් පදික වේදිකා මෙන් වෙළදුන්ගෙන් බහුල නොවීය. දේවක එනවා යැයි කීවේ එකටය . එනිසාම මම ඊට මිනිත්තු කිහිපයකට කළින් පැමිණියද කවදාවත්ම ඔහු කි වෙලාවට මා මුණ ගැසීමට පැමිණ නැති බව දැනසිටි මම පැය බාගයක් ඔහුගේ ප්‍රමාදය සැලකිල්ලට නොගත්තෙමි. ඉදිරියේ ප්‍රතාපවත්ව නැගී සිටි ඔරලෝසු කුළුණේ වේලාව දෙකට ආසන්න වෙමින් තිබුණි. මම ගමන් මල්ල අවුස්සා ජංගම දුරකතනය අතට ගතිමි . කිහිපවරක් මා ඔහු ඇමතුවද දුරකතනයෙන් කිසිදු ප්‍රතිචාරක් ලැබුණේ නැත. ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබුණද ආපිට හැරී යන්නටද මසිත කැමති නොවීය. මේ මා ඔහු හමුවන්නේ බොහෝ කලකට පසුවය . අද හමුවීමට නොහැකි වුවහොත් යලි මට ඔහු හමුවීමට මාසයක් පමණ බලා සිටීමට සිදුවනු ඇත.

” නෙතූ හදිසි වැඩක් සෙට් වුණා . මම එන්න තව පැයක්වත් යාවී . සොරි කලින් කෝල් එකක් නොදුන්නට . ඔයා ඕෆ් වුණාද? මම එනකම් එහෙනම් ඔයා ෂොපින් කරන්නකො .. මම හරියටම තුන වෙද්දී එනව .

” දේවකගේ හඩ දුරකතනයෙන් ගලා ආවේ කලබල සහගතවය .
” ඔයා යන්නෑ නේද නෙතූ . ප්ලීස් තව පැයක් ඉන්න මම එනව . ” මගේ නිහඬ බව දැනී ඔහු යලි කීවේය . මම දිගු සුසුමක් හෙළීමි. ඔහු මුණ නොගැසී යන්නට මටද ඇවසි නොවේ . ඔහු එනතෙක් මට මෙතන සිටගෙන සිටින්නට නොහැක . දැනටමත් මම පැයකට වඩා සිටගෙන සිටියෙමි . සාප්පු සවාරියක් යෑමට තරම් මුදලක්ද මා සතුව නැත. පඩි ලැබෙන්නටද තවත් දින දහයක් පමණ තිබේ . බෝධියට යන්නට සිත කීවද ඇද සිටි තද පැහැති සාරිය එයට සුදුසු නොවේ . අවසානයේ නගර සභා ගොඩනැගිල්ලට තරමක් ආසන්නයේ වූ උද්‍යානයට ගොස් ඔහු එනතෙක් සිටින්නට මම සිතා ගතිමි .

මහජන උද්‍යානය එතරම් විශාල එකක් නොවේ. ළමයින් සඳහා එක් පසකුත් අනෙක් පස වැඩිහිටියන් සඳහාත් වෙන් කර තිබූ එම භූමිය එතරම් පිළිවෙලකට සකස්කර තිබු ස්ථානයක් නොවීය . වැඩිහිටියන් සදහා වූ කොටසේ රැදුණේ පාසල් හෝ පෞද්ගලික පන්ති යනවායැයි කියා නිවසින් පැමිණි ළාබාල පෙම්වතුන්‍ ය . ඔහුන්ගේ හැසිරීම නම් මා තුළ ඉපදුවේ කලකීරීමක් බැවින් මම ළමා උද්‍යානයට ගොස් එහි ඉඩ ඇති තැනක වූ ලී බංකුවක ඉදගතිමි . සැලකිය යුතු තරමේ ළමුන් පිරිසක් උද්‍යානයේ විනෝද වෙමින් සිටියෝය . කුඩා ළමුන්ගේ හැසිරීම වෙහෙසකර මනසට සැහැල්ලුවක් එක් කළ නිසාවෙන් මම සතුටු වීමි . අම්මා කියනා පරිදි නිසි වයසට විවහා වූයේනම් මේ වයසේ ළමයින් මට සිටින්නට තිබුණි . වයස් විසි හතක් වීද තවමත් මම අවිවාහකය . දේවකට අවශ්‍ය වූයේ ඔහුගේ සියළු හීන සපුරාගෙන විවාහ විමටය . දෙමහල්නිවසක් , නවීන පන්නයේ මෝටර් රථයක්.. ඔහු දිව රෑ නොබලා වෙහෙසෙන්නේ ඒ හින සැබෑ කරගන්නටය .

“නෙතූ කවදහරි මැරි කරලා කාගෙ හරි කුලී කාර් එකක මට ඔයාව එක්ක යන්න ඕන නෑ. ටිකක් ඉවසන්න ගෙදර වැඩ ඉවර කරපු ගමන් මම වාහනයක් ගන්නව . ඊට පස්සෙ ඇවිත් ඔයාගෙ අම්මලව හම්බවෙන්නම් .. ” දේවකගේ වදන් වෙලාවකට මා කෝපයෙන් පුරවාලයි . අම්මලා ගෙනෙන හැම යෝජනාවකටම අකමැත්ත ප්‍රකාශ කරමින් සිටිනවා හැර මට කරන්නට දෙයක් ඔහු ඉතුරුකර නැත. ඔහුගේ සිහින වලින් අවතැන්ව ඇත්තේ මාය .

කුඩා උන් දෙසා බලා සිටියදී මියැදුනු සිහින මසිතට පිවිසෙයි . පුංචි උන්ගේ ලෝකය කොතරම් ලස්සනද ? ඔහුන්ගේ සිත් කොතරම් නිර්මලද ? සැහැල්ලුද ? හැමදාමත් දරුවෙකු සේ ඉන්නට තිබුණා නම් කෙතරම් අගනේද ? මම සිතුවෙමි . මගේ සිතුවිලි නතර වූයේ මා ඉදිරියේ වු ඔන්චිල්ලාවක් පදිමින් සිටි කුඩා දැරියක් දකිද්දීය . ඇයට යාන්තම් වයස අවුරුදු පහක් හෝ හයක් වන්නට ඇත. ඇද සිටි රතු මල් ගවුමට ඇය ඉතා ලස්සනය . කොණ්ඩය උඩට කර පෝනි දෙකක් බැද තිබුණි.

ඔන්චිල්ලාවේ ඔහේ පැද්දෙමින් සිටි ඇගේ ඇස් රැදුණේ මා ළගය . ඇය මෙහි පැමිණියේ කා සමගින්ද? කිසිවකු ඇය අසල සිටියේ නැත. මම ඇයට මද සිනාවක් පෑමි . ඇයද පෙරලා සිනා සුණාය . මම ඉඳ සිටි තැනින් නැගිට ඇය අසලට ගියෙමි .

” කෝ දූගෙ අම්මා ?
” අම්මා මාව දාල ගියා ආන්ටි?”
” දාල ගියා ? කොහේටද ? ”

” එයා දැන් ඒවි .. ” බෙල්ල උස්සා පාර දෙස බලමින් දැරිය කීවාය .

පුදුම අම්මල …! මේ පොඩි එකෙක් තනියම දාල කොහෙ ගිහින්ද ? මට සිතුණි. කුඩා දැරිවිය ගාණක්වත් නැතිව ඔන්චිල්ලාව පදී . අයිස් ක්‍රීම් විකුණමින් අප අසලට පැමිණි වෙළෙන්දෙකුගේ නළා හඩින් මගේ සිතුවිල්ලට බාධා විය .

” අයිස්ක්‍රීම් ….! අනේ මටත් ඕන .. ” දැරිය තෙපළුවේ ආශාබරිත හඬින්ය . පව් පුංච් කෙල්ල ..! ඇයට හිණහුණු මම අයිස් ක්‍රීම් දෙකක් මිලදී ගතිමි .

” දෙකක්ද එකක්ද නෝනා ? ” වෙළෙන්දා විශ්මය පිරි හඬින්ඇසුවේය .

” ඔව් දෙකක් තමා … ” මම ඔහු දෙස නොපහන් බැල්මක් හෙළීමි . ඔහු හිතා සිටින්නේ වැඩිහිටියන්ට අයිස්ක්‍රීම් අකැප යැයි කියාද ? කුඩා දැරිවිය අසලට ගිය මම ඇයට එකක් පෑමි . මා මිලදී ගත්තේ චොකලට් හා වැනිලා අයිස්ක්‍රීම් දෙකකි . තෝරා ගන්නේ කුමක්දැයි සිතමින් දැරිය මොහොතක් කල්පනා කළාය .

” ඔයාට දෙකම ඕනද ? ” මම හිනහී ඇගෙන් ඇසීමි .

” එතකොට ආන්ටිට නෑනෙ ? ”
” කමක් නෑ .. ආ ඔයා ගන්න . ” මම අයිස් ක්‍රීම් දෙකම ඇයට පෑමි . දැරියගේ මුහුණ සතුටින් පිරුණි. ඈ අයිස් ක්‍රීම් දෙකම උදුරා ගත්තීය . නාද වුණ දුරකතන ඇමතුමට පිළිතුරු දීමට මම ගමන් මල්ලේ වූ දුරකතනය සෙවීමි .

” ඔයා කොහෙද නෙතු .. මම ආවා . ” ඒ දේවකය .

” මම පාක් එකේ ..දේවක ඉන්න තැනක් නැති නිසා මෙතනට ආව . ” මම කීමි .

” හරි මම එන්නම් ඔතනට . ” දේවක දුරකතනය තැබුවේය . මම වටපිට බැලීමි . කුඩා දැරිවිය පේන්නට නැත. කොහේ ගියාද මේ ටිකට ? මම වික්ෂිප්ත වීමි . සමහර විට ඇගේ මව පැමිණියා වන්නට ඇත. සුසුමක් හෙළූ මම දැරිවියගේ මව දකිනු රිසියෙන් පිටව යන දොරටුව දෙස බැලීමි . මෙතරම් ඉක්මනට ඔහුන්ට පිටව යන්නට නොහැක. එහෙත් කිසිවෙකු ගේට්ටුවෙන් පිටව යනවා නම් මා දුටුවේ නැත. සුළඟින් සෙලවුණු ඔන්චිල්ලාව දෙස මොහොතකට බැලූ මම ආපිට හැරෙන්නට හැදුවා පමණි. වැලි පොළොවේ ඇද තිබූ හිනා මුහුණක් සමග තෑන්ක් යූ ආන්ටී ලෙස ඉංග්‍රිසි අකුරින් ලියවී තිබූ සටහනක් මම දුටිමි . පිස්සු කෙල්ලෙක් ! සමහර විට මම ෆෝන් එකේ හිටිය නිසා අම්ම දැකල දුවල යන්න කලින් ලියල යන්නැති .

” මොනවද කල්පනා කරන්නෙ නෙතූ ? ” දේවක ඇවිදින්‍ ය . ඔහු හිනහෙමින් මා දෙස බලා සිටි.

” යමු .. ” ඔහු මා අතින් අල්ලා ගත්තේය . කතරට වැහි පොද වැස්සක් වැටුණි. මගේ විස්සෝපගත සිතුවිලි දියව යමින් තිබුණි …
ඒ සෙනසුරාදාට පසු ජීවිතය බොහෝ වෙනස්ව ගියේය. ගෙදරින් ගෙනෙන විවාහ යෝජනාවකට කැමති වන්නයැයි අම්මාගේ ඉල්ලීම පවා කෙමෙන් තර්ජනයක් බවට පත් වෙමින් තිබුණි.

” ඔයා කාත් එක්ක හරි සම්බන්ධයක් තියනව නම් හංගනෙ නැතිව කියන්න පොඩ්ඩි.. අපිට ගැලපෙන එකක් නම් අපි හොයල බලල කරල දෙන්නම් . උඹ නිසා මට නිදහසෙ ඇස් දෙකවත් පියාගන්න හම්බවෙන් නැතිවෙයි … ” ඒ අම්මාය.

” මෙයා නිසා අපි මිනිස්සුන්ගෙන් බැනුම් අහන්ව අම්මා … මිනිස්සු කියන්නෙ අපි මෙයා ගැන හොයල බලන් නෑ කියල. නංගිව ගෙදරට නාකි වෙනකන් අපි බලන් ඉන්නව කියල . අර සමරනායක අංකල්ගෙ පුතා ගැන ආපූ යෝජනාවටවත් මෙයාට කැමති වෙන්න කියන්න අම්මා.. මොනවද ඒ මිනිස්සුන්ට අඩු? ” ඒ අයියාගේ චෝදනාවයි.

” මේ නංගි තමුසෙට හොදටම විශ්වාසද ඔය දේවකව? මම නම් හිතන්නෙ මිනිහා කරන්නෙ බොරුවක්. ඇයි දෙයියනේ ගෙයකුත් හදල ඉවරයි නම් කසාදයක් කරගන්න බැරි මොකද ? හරි කසාදෙ පරක්කු කළා කියමු… ඇයි ඇවිත් අම්මලව හම්බ වෙන්න බැරි..? නිකන් රැවටෙන්නැතිව ඔය අයියා ගෙනාපු යෝජනාවට කැමති වෙනව ඌට බම්බු ගහ ගන්න කියල. නැත්නම් ඉතින් මට දේවක ගැන ගෙදරට කියන්න වෙයි තමුසෙ කොච්චර එපා කිව්වාත් ..නැත්නම් මෙතන මම නරක ගෑනි වෙයි ඕව හංගල .. ” ඒ අක්කාය. මම දේවක ගැන කියා තිබුණෙ ඇයට පමණි .

” ඔයා කියන විදිහට මේ දේවල් කරන්න බෑ නෙතූ .. ගෙදර උඩ තට්ටුව යාන්තන් හදල ඉවර වුණා විතරයි. චුට්ටක් ඉවසන්න . මම ළගදිම වාහනයක් ගන්නව. ඊට පස්සෙ ඇවිත් ඔයාගෙ අම්මවයි අයියවයි හම්බ වෙන්නම් .. ඔයාට මාව විශ්වාස නැතිනම් ඔයා කැමති තීරණයක් ගන්න නෙතූ .. මම ටාගට් එකකට වැඩකරන කෙනෙක් … ඔයා නිසා මට ආපස්සට හැරෙන්න බෑ..” ඒ දේවකය.

ඔහුන් සියලු දෙනා එකතුවී මගේ ප්‍රේමය දුර්වල කරමින් සිටියෝය .. අම්මා කෑම කෑම පවා වර්ජනය කර බුම්මාගෙන සිටියාය. අවසානයේ මා තීරණයකට පැමිණියෙමි . ඒ අයියා ගෙන ආ යෝජනවට කැමති වී දේවකව අමතක කිරීමය. ඒ සෙනසුරාදා මා දේවකට මා හමුවීමට එන්නට කීවේ සදහටම ඔහුට සමුදෙන්නටය . සිතන්නට ලෙහෙසි වීද කරන්නට අමාරු ඒ තීරණය මා බාගෙට මරා දමා තිබුණා සරිය . එහෙත් ඔහු කෙරෙහි වූ ප්‍රේමය මසිත මගේ අම්මා ගැන වූ සෙනෙහසට නොපැරදෙන බැවින් මා ඔහුගෙන් සමුගන්නට සිතට දිරි ගතිමි. ” නෙතූ මම විනාඩි පහෙන් ඔතන .. ” මා ඔහු මුණගැසෙන්නට එන්නේ අවසාන වතාවට බව නොදැන ඔහු දුරකතනයෙන් දොඩන්නේ සැහැල්ලුවෙනි. මම සුසුමක් හෙළීමි.

” මම පාක් එකේ ඉන්නව දේවක . ඔයා ඇවිත් මට කෝල් කරන්න . ” ඔහුගේ මිනිත්තු පහ සමහර විට පැයක් පමණ දීර්ඝ වන බව දන්නා මම මිමිණීමි.

ළමා උද්‍යානය වෙනදා තරම්ම කලබලකාරීයි . පොඩිත්තන් කෙළි දෙළෙන් එහෙ මෙහෙ දිව යයි. හරියටම සති හතකට කලියෙන් දවසක දේවක එනතුරු මෙහි රැදී සිටි දිනය මට සිහිවිය . එදා ඔහු හමුවීමට මට වූ නොයිවසිල්ල අද නැත.. ඇත්තේ විස්සෝපයක් පමණි.

දැනටමත් කඳුළු අනවසරයෙන්ම නෙතු අගට ඇවිදින් ය . මම එදා ඉදගත් කොන්ක්‍රීට් බංකුවෙන්ම ඉද ගතිමි. හිස් දෑසින් ඉදිරියේ වූ ඔන්චිල්ලාව දෙස බලා සිටියෙමි . එදා මට මුණගැසුණු දැරිවිය අනවසරයෙන්ම සිතට ආවේය . සුළඟට ඔහේ සෙලවෙන ඔන්චිල්ලාව දෙස මම බලා සිටියෙමි . ඇගේ සිනා හඬ සිතේ දෝංකාර දුන්නේය.

පුංචි උන්ගේ ලෝකය තරම් වැඩිහිටියන්ගේ ලෝකය සුන්දර නොවන්නේ ඇයිද ? අනේ මේ පොඩිත්තන් විදින හිතේ සැහැල්ලුව මටත් තිබුණා නම් .. හිටි හැටියේම උද්‍යානය කලබලකාරී වී තිබිණ. පොඩිත්තන් සියලු දෙනා කලබලයෙන් එක් දිශාවකට දුව යමින් සියියෝය . ඒ කලබලය කුමක්දැයි බලන්නට මම හිස උස්සා බැලුවෙමි. පොඩිත්තන්ගේ සිනා හඩත් කිචි බිචියත් දැන් හොඳටම වැඩිය . උද්‍යානයේ කෙළවරක මැදිවියේ යුවලක් අයිස් ක්‍රීම් හා තෑගි ඔහුන්ට බෙදමින් සිටී. තෑගී හා අයිස්ක්‍රීම් දෝතට ගත් පොඩිත්තන්ගේ මුහුණු සතුටි දිදුළයි . ඒ සතුටු මුහුණු දකිද්දී මගේ හිතේ වූ විස්සෝපයද මට මොහොතකට අමතකව ගියේය.

ළමයින්ට පමණක් නොව ඔවුහු අම්මලාට හ අවට සිටි සියලු දෙනාටම අයිස් ක්‍රීම් බෙදමින් සිටියෝය . අයිස් ක්‍රීම් බෙදමින් ඔවුහු මා අසලටද පැමුණියෝය.

” තව තුනයි ඉතුරු .. රේනු ඔයා මේ තුනත් කාට හරි බෙදන්න .. මම ගිහින් කඩේට මේ බොක්ස් දෙක දීල එන්නම් .. ” මැදිවියේ පිරිමියා කාන්තාවට කීවේය . හිස සැලූ ඇය ඉතිරිව තිබුණ අයිස් ක්‍රීම් තුන එක අතකට ගත්තාය . මා අසලට හිමින් ඇවිද ආ ඇය එකක් මට දිගුකළාය.

” ගන්න නංගි ..”

” එපා අක්කා .. පොඩ්ඩෙකුට දෙන්න .. ”

” හැමෝටම බෙදල ඉවරයි නංගි .. ඔයා විතරයි ඉතුරු … ” හිනහුණු කාන්තාව මා අසලින් ඉඳ ගත්තාය .

” ඇයට ස්තූති කළ මා අයිස් ක්‍රීමය අතට ගතිමි.

” මෙයා මෙයා මගෙ අයිස් ක්‍රීම් එක උදුර ගත්තා ආන්ටි .. ” වයස හයක පමණ පුතෙකු තවත් පුතෙකු තල්ලු කරමින් කෑ ගැසුවේය.

” නෑ මන් ගත්තෙ නෑ .. ” අනෙක් පුතු හඩමින් කීවේය . ඔහුන්ට හිනහුණු කාන්තාව නැගිට ගොස් ඉතුරු අයිස් ක්‍රීම් දෙක ඒ දරුවන් දෙදෙනාට බෙදා දුන්නාය . සතුටින් හිනහුණු පොඩිත්තෝ අත්වැල් බැද ඈතට දුව ගියේ සතුටිනි . සුසුමක් හෙළූ කාන්තාව යලි මා අසල හිද ගත්තාය . මම ඇය හා හිනහීමි .

” අදට මගේ දුව නැතිවෙලා අවුරුදු හතක් නංගි .. ” සුසුමක් හෙළූ ඈ කියද්දී සීතල අයිස් ක්‍රීමය ගිණියම්ව මගේ උගුර පිළිස්සුවේය .. ඇගේ ඇස් අග නොවැටි කදුළකි.

” මො මොනව වෙ ලාද එයා නැතිවුණේ අක්කා ? ” ඒ ප්‍රශ්නය මුවගට ආවාට පිටකිරීම ගැන පසුතැවීමක් මසිත හටගත්තේ ඇගේ වතේ වූ දුක දැකය ..

” හරියටම මේ වගේ දවසක .. එතකොට මට පුතා හම්බවෙන්නත් ළගයි .. දුවගෙ පෙරැත්ත නිසාමයි පාක් එකට ආවේ .. එයාට අයිස් ක්‍රීම් කන්න ඕන වුණා .. මම එකක් අරන් දුන්නා .. ඒක කාල තව එකක් ඉල්ලුව .. එදා මගේ ඇගට හුගක් අමාරුයි නංගි .. ඉතින් දුව අයිස් ක්‍රීම් ඉල්ලල පෙරැත්ත කරද්දි මම එයා අතට සල්ලි දීල කිව්වා අයිස් ක්‍රීම් එකක් අරන් එන්න කියල. ඒ මනුස්සය පාර අයිනෙ බයිසිකලේ තියන් අයිස් ක්‍රීම් විකුණ විකුණ හිටියෙ .. අවාසනාවට දුව එතනට යද්දී ඒ මනුස්සය බයිසිකලේ අරන් පාරේ එහා පැත්තට පැන්නා නංගි .. දුව අනේ එයාට තේරුමක් තිබ්බෙ නෑ එයත් අයිස් ක්‍රීම් ගන්න අර මනුස්සය පස්සෙ පාර පැන්න .. එත කොට ආපු කාර් එක… මට එතනට යන්න වෙලාවක් තිබුණේ නෑ නංගි මගේ දරුවා …” ඇය හඩනට පටන් ගත්තාය . අයිස් ක්‍රීම් උගුරේ සිරවුණා බදු දැවිල්ලකින් මගේ උගුර සිරව තිබුණි ..

බොහෝ වෙලාවක් යන තුරු ඇය හැඩුවාය. ඉන් පසු සිය ගමන් මල්ල අවුස්සා යමක් ගෙන මට දිගු කළාය ..

” මේ ඉන්නෙ මගේ දුව නංගි ..” මම ඡායාරූපය අතට ගතිමි .. මොහොතකට මගේ හුස්ම හිරව ගියේය .. එහි සිටියේ මට සති කිහිපයකට කලින් මුණගැසුණු අර දැරිවියය .. දෙපා සීතලව මම ගල් ගැසී සිටියෙමි..

” අපි යමුද රේණු .. ” කාන්තාවගේ සැමියා ඇය එක්ක යන්නට පැමිණ තිබුණි. සාරි පොටින් කදුළු පිසගත් ඇය නැගී සිටියාය .

” අපි ගිහින් එන්නම් නංගි …” ඇය මට කීවාය . මම නිහඬම ඇයට ඡායාරූපය පෑමි . ඇය ඇගේ සැමියා සමඟ පිටව ගියේ මා උද්‍යානයේ තනි කරමිනි .. මට ඉදිරියෙන් වූ ඔන්චිල්ලාව සෙලවෙමින් තිබිණ. සුළඟක් නම් වූයේ නැත. සෙලවෙමින් තිබුණේද යුගල ඔන්චිල්ලාවේ එක් පසෙක වූ ඔන්චිල්ලාව පමණි . දාඩියෙන් ගත තෙත්ව තිබුණි . මම ඉඳ සිටි තැනින් නැගිට්ටෙමි . අහම්බෙන් පොළොව මත ඇදුණ සටහනක් මා භීතියෙන් මුසපත් කළේය. එහි තිබුණේ අඩන මුහුණකි. ඊට යටින් මෙසේ ලියාතිබිණ ..

මට මගේ අම්මා ඉස්සරහට එන්න බෑ ආන්ටි ..එයා මාව මෙහෙම දැක්කොත් ගොඩක් දුක් වේවී ..ඒකයි මම අර ළමයගෙ අයිස්ක්‍රීම් එක උදුරල ගත්තේ .. මට ආයේ ඒ අම්මා ළගට යන්න විදිහක් නෑ .. ඒත් ඔයා කැමති නම් මම ඔයා ළගට එන්නද?

මට ක්ලාන්ත වන්නට ඇත..

” නෙතූ ..” දේවක විත් මා අල්ලා ගත් බව යාන්තමට මතකයේ විය .යලි මා පියවි සිහියට එළඹි විට මා වටා නොදන්නා මුහුණු බොහොමයක් තිබිණ ..

” ඒ ආන්ටිට මොකද වෙලා තියෙන්නෙ අම්මා ? ” පොඩිත්තෙකු සිය මවගෙන් ඇසුවේය . දේවකගේ ඇස් අගද කඳුළුය .

” අපි යමු නෙතූ .. සොරි මම ටිකක් පරක්කු වුණා.. ආයෙ කවදාවත් මම පරක්කු වෙන්නෑ නෙතූ ..” දේවක මා වත්තන් කර නැගිට්ටවමින් කීවේය ..

ඔහුට කියන්නට ආ සියල්ල සිතට පිවිසියේය .. දේවක මා වත්තන් කරගෙන ඉදිරියට ඇදුණි. ඔහු නැවතුණේ උද්‍යානයෙන් පිටත නවතා තිබූ නවීන පන්නයේ මෝටර් රථයක් අසලය .

” මම මගේ දෙවනි හීනෙත් හැබෑ කරගත්තා නෙතූ .. දැන් ඉතිරි වෙලා තියෙන්නෙ මගේ ඊළඟ හීනේ .. ඒ ඔයා .. මම හෙට එන්නම් ඔයාගෙ අම්ම එක්ක කතා කරන්න .. එයාගෙ දුවව මට දෙනවද කියල අහන්න ..” දේවක මට නගින්නට මෝටර් රථයේ දොර විවර කරමින් කීවේය . කාරයට නැගුණු මම යලි හැරී බැලීමි . රතු ගවුම ඇදගත් දැරිය මට අත වනමින් උද්‍යානයේ කොණක සිටියාය ..

( නම් හා සිදුවීම්ත මඃක්කල්පිතයි)

ඡායාරූප අන්තර්ජාලය සහ Meta Ai.

More From Author

ගමනේ ගිම් නිවූ එදා

බස් නැවතුමකදී හමු වූ හිටපු ස්වීඩන් අගමැති ඉන්ග්වර් කාල්සන් (Ingvar Carlsson)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348