ගමනේ ගිම් නිවූ එදා

වටිනාකම ගිනිය නොහැකි මුත්, මානසික නිදහස උපරිමයෙන් සපිරි දවසක් ඒක.

පෙරදා සවස හිතේ කැලඹිලි සහගත කතාබහ කෙලවර වුනේම මහා පසුතැවිල්ලක්, දුකක් කණගාටුවක් හිතේ ඉතිරි කරලා.

නමුත්, ලැබුණ හා පවතින තත්වය මත අපි දෙදෙනාටම කල හැකි යමක් ඇත්නම් ඒ ඉටුකර ජීවිතය සැහැල්ලුවෙන්ම ගෙන ජීවත් වෙමුයි පැවසුවේ මම මයි.

නිරන්තරව මනස වෙහෙස වන වනපොත් කිරීම නිසාම එක් අවස්ථාවක දී ඔලුව ‘කරවී’ කලයුතු නොයුතු දේ තෝරා බේරා ගැනීමට නොහැකි අවස්ථාවක දී, ඍණාත්මක සිතිවිලි වලින් ඔලුව පිරී යන බව මට පැවසුවේ ද ඔහුම බැවින් මේ අසීරු අවස්ථාවේ ඔහුගේ හිත සිසිල් කිරීමට විශාල පරිශ්‍රමයක් දැරීමට මට සිදු නොවීය. එහෙත් ඒ මගේ දරුවාය. ඔහුට රිදෙන ඕනෑම දෙයක් නිසා ඊට සිය ගුණයක් වැඩියෙන් මට රිදුම් සදන්නේමය. “අම්මා, හදවතින් නෙවෙයි මට මේ වෙලාවේ මොලෙන් උත්තරයක් දෙන්න” කියලා කියන්න ඔහු පුරුදු වෙලා ඉන්නේ ඒ බව දන්න නිසාම වෙන්න ඕන.

හිත බර කරගෙන නින්දට ගිය මම, උදේම අවදිව කරන සියලු සුබ පැතුම් අවසන, අද දවස සඳහා නිවාඩුවක් අයදුම් කර නිවසේ රැඳී සිටීම සුදුසු නොවේදැයි දස අතේ සිතමින් සිටින විට, බතලේගොඩ ගමන පිළිබඳව දැනගන්නට ලැබූයෙන්, “අනේ මාත් එන්නද”, ඇසූ සැනින් යමු යි පැවසූයෙන් විනාඩි හතලිහකට පසු, ගමනට සූදානම් වුනෙමි. ඒ තරම් ඉක්මණට ගමනක් යාමට සූදානම් වූ පළමු අවස්ථාව ඒ වන්නට ඇත. ඔසරියක් ඇසීම සුදුසු වූයෙන්, එය තෝරාගෙන, මැද හදාගැනීමට සඳහා යම් කිසි කාලයක් අවශ්‍ය මය. ඕනෑකම ඇත්නම් කල නොහැකි දෙයක් ඇත්ද?

හිතේ බරෙන් නිදහස් වීමට ඉන්නා පරිසරයෙන් මදකට වෙනස් ව යාම ඉතාම හොද ප්‍රතිකර්මයකි’යි , අත්දැකීමෙන්ම දනිමි.

කුරුණෑගල ප්‍රදේශය කොහොමටත් අධික රස්නයකින් යුක්ත නමුත්, පේරාදෙණියේ පැවති, සෞම්‍ය, සීසිල් කාලගුණික තත්වය, අපි බතලේගොඩ ට ළඟාවන විටත් එසේම පැවතිණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ඛතලේගොඩ පිහිටි, වී පර්යේෂණ හා සංවර්ධන ස්ථානයේ පැවැත්වීමට නියමිත වී වගා ක්ෂේත්‍ර දිනය ට අදාල උත්සව පීඨිකාව නිමවා තිබූයේ ද පැසුණු ගොයම් යායකට මායිම්ව, එළිමහනකය.

කුඹුරු යාය සිසාරා හමා එන මද පවන ගතේ දාහයට මෙන්ම සිතේ දාහයටද පවන් සැලීය.

උදෑසන සිටම, හිරු වලාකුළු අතර සැඟව ගොස්ය.

අලුත් සහලින් සකස් කරන ලද රසම රස කිරිබත් කෑල්ල බඩගින්න නිවීය. ඉඟුරු තේ කෝප්පය ඉතාම රසවත්ය, ප්‍රණීත ය. හිත ගත දෙකම පිරී ගොස්, සිතේ ලතැවුල් සහගත බව මැකී ගොස් දවසේ ඉතිරිය නෙතින් විඳින්නට, නොතින් අපේක්ෂාවකින් සැදී පැහැදුනෙමි.

කුඩා නමුත්, අර්ථ වත් කතා කිහිපයකින් නිමා වූ සමාරම්භක උත්සවය අවසන, මගපෙන්වන්නෙක් සමඟ ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ විය. උසස් පෙල විෂය ධාරාව තුල එවකට තිබූ උද්භිද විද්‍යාව මගේ ප්‍රියතම විෂය වූ බැවින්ද මන්දා, ගහකොළ ගැන ඉගෙනීමට, කියවීමට, දෑසින් දැකීමට මට ඇත්තේ දැඩි කැමැත්තකි. දෙමුහුන් වී , දම්පාට සහල්, විද්‍යාත්මක නව සොයාගැනීම්, පර්යේෂණ ක්ෂේත්‍රය තුල ප්‍රදර්ශනය විය. ප්‍රදර්ශන කුටි නරඹා අවසන,.. පැසුණු වී කරල් නැවී තියෙන කුඹුරු අතරින් නියරවල් දිගේ , සුළගේ පහස විඳිමින් ඇවිද ගිය දෙහෝරාවක කාලය සියලු මනස්තාප මකා දැමීය.

වී වගාවට නවීන තාක්ෂණය යොදාගන්නා ආකාරය, නවීන මෙවලම් භාවිතා කරන ආකාරය, ක්ෂේත්‍රය තුල නිරූපනය කර පෙන්වීය.

සහලින් කරන නව නිෂ්පාදන, ප්‍රදර්ශනය කර තිබූ අතර, ඒවායේ රස බැලීමටද අවස්ථාව උදා විය. ඉතාම ප්‍රණීත හා පෝෂ්‍යදායී එම ආහාර, වෙළඳපොල වෙත නිෂ්පාදනය කර බෙදාහැරීම තුලින් රටේ ආර්ථික සංවර්ධනයට දායක වීමට මහගු අවස්ථාවක් තිබෙන බවද නිරීක්ෂණය කලෙමි.

දහවල් වන විට දැඩි නොවන නමුත් හමේ පාට වෙනස් වන තරමට හිරු රශ්මිය දැනෙන්නට වු අතර, ඒ දාහය නිවා ගැනීම සඳහා අතර මගදී ලැබුණ වෑවර ගෙඩිය මහාර්ඝ වස්තුවක් ලෙස දැනුණ බව කිව යුතුය.

මුලු දවසක් පුරා, වෙල් යායවල් සිසාරා හමා ගිය සුළඟේ පහස විදිමින් ගත කල කාලය ගැන හිතේ ඇති කලේ සතුටකි.

දෑසේ තවරාගෙන රැගෙන ආ නොහැකි බැවින් මගේ ජංගමයේ මතක ගබඩාව තුල, රූපරාමු අතර ඒ මතක ගබඩා කර ගතිමි.

බොහෝ කැලඹිලි සහගත දවසකට පසු දවසේ අවසන , වෙනදා සුපුරුදු මම නමැති ජීවියා ජීවත්ව සිටින බව මගේ හිතට ම ඒත්තු ගැන්වීමට මටම හැකිවිය.

More From Author

1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙයවූ ප්‍රචණ්ඩත්වයක්

අයිස්ක්‍රීම්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348