මහේෂි බී. වීරකෝන්:
“ඇකිලීස් පෙට්‍රෝක්ලස්ගේ පෙම්වතා කියන කාරණේ ප්‍රසිද්ධ උනාට, පෙට්‍රෝක්ලස්ට කවුරුත් නොදන්න පෙම්වතියකුත් උන්නා. පෙට්‍රෝක්ලස්ගේ ආදාහනෙන් පස්සේ ඉතිරි උන අළු එයා අරගෙන ආවා ට්‍රෝයි වලින් සෑහෙන දුර ඈතක තියෙන එයා ඉපදුණු ගම් පළාතට. පස්සේ කාලෙක එයා ඒ අළු වළදැම්ම මිටියාවතේ කළු රෝස මල් පිපුණා.

සොබාවිකව කළු රෝස මල් පිපෙන ලෝකේ එකම තැන. තුර්කියේ හල්ෆෙටි. ඒ ප්‍රදේශයේ එහෙම කළු රෝස මල් පිපෙන්නේ ඒ පසේ තියෙන සුවිශේෂී සංයුතියක් නිසා. එතකොට ඒ කාලේ ට්‍රෝයි නගරය වර්තමානයේ තුර්කියේ හිසාලික්.”

අපි ඉන්නේ ඉලියඩ් කතාවේ එන චරිත ගැන හිතෙන හිතෙන හැටියට අතුරු කතා ගොතමින්. සියළු රොමෑන්තික වියහැකියාවන් ගණනය කරමින්.
“ලෝකේ ඕනිම නගරයක් හොඳයි, ලස්සනයි, ට්‍රැවල් කරනකල්. But once you start living in them, then it’s a different story” හල්ෆෙටි ප්‍රදේශයේ පිපෙන කළු රෝස මල් වගේ ලොරෙන්සෝගේ ලස්සන කොණ්ඩෙත් කලු පාටින් දිලිහෙනවා. මං හිතන විදියට පිරිමියෙක්ගේ ලස්සන 30% සම්පූර්ණයි එයාට ලස්සන කොණ්ඩයක් තියේ නම්.
“Just imagine, you thought of coming to Rome in August, in August after all…” අපි වාඩි වෙලා හිටපු රෙස්ට්‍රෝන්ට් එක මගේ හිතට තදින් වදින විදියේ මතක තියෙන අවන්හලක් නෙමෙයි. ඒ තුළ මගේ හිතේ කා වැදෙන තරමට වැදගත් එකම දේ ලෝරෙන්සෝ විතරයි.
“ඔව්, ඒත්…මට ඕනි උනා ගිනි ගහන ග්‍රීෂ්මේ රෝමන් ෆෝරම් එකෙ ඇවිදින්න. ඇයි මන්දා…”
“You and your Romans..”
ලෝරෙන්සෝ, ජෙරනියම් මලක් වගේ තියෙන එයාගේ ලස්සන ඔළුව මං වෙතට බරකරනවා. එයා ලඟින් එන වර්සාචේ ඊරෝස් ෆ්ලේම් සුවඳ සැඩ ඉතාලියානු මද්දහන සිහිල් කරගෙන මගේ දෙකොපුල් මතින් හමා යනවා: මැන්ඩරින්, ලෙමන්, රෝස්මෙරී, සීඩර්…

“By the way, are you happily married?” ඒ සාමාන්‍යෙන් මම ආදරේ කරන්න යන හෝ ආදරේ කරන හැම විවාහක පිරිමියෙකුගෙන්ම වගේ මම අහන ප්‍රශ්නයක්.
“Comme ci comme ca…We manage.“
එයා කියන්නේ ඇස් වලින් මාව මඟාරිමින්. එයාගේ බැල්ම එහෙම එහෙ මෙහෙ දුවන්නේ කියනදේ ගැන එයාට විශ්වාසයක් නැති උනාම බව මං දන්නවා. “ඇරත්… හැපිලි මැරීඩ් කියලා කියන්න පුලුවන් කිසිම කෙනෙක් ගැන මම දන්නෑ.”
“මං?”
“ඔයා ඒක ඇතුලට ගන්න බෑ. You’re an exception.”
මධ්යධරණී අහස කහ පාටයි. ඒ අහසේ හතර කොණින්ම ඇස් නිලංකාර කරගෙන හිරු උනු වෙලා වැගිරෙනවා වගෙයි. ඒ කාලෙ මේ ගිනියමේ මිනිස්සු මේවායේ වැඩ කරේ කොහොමද? මේ සා සුවිසල් ගොඩනැඟිලි හැදුවෙ කොහොමද? පිස්සු හැදෙන්න ඇති!
“ඇත්තටම, ඒ කොහොමද?” ආයෙමත් ලොරෙන්සෝ අහන්නේ මගේ අත දිගේ සීරුවට ඇඟිලි තුඩු අරන් යන ගමන්.
“ඔයා ඒක කරන්න ඕනි. මං හිතන්නේ. ආදරේ “කරන්න” ඕනි. ගොඩනඟන්න ඕනි. හැම දවසකම, හැම විදියටම. වචනයෙන්, ක්‍රියාවෙන්, බැල්මෙන්, හාදුවලින්, ඉඟිබිඟිවලින්, පුංචි පුංචි ලව් නෝට්ස් වලින්… හරියට නගරයක් වගේ. ඔයා ඒ තුළ තියෙන අහුමුළු තේරුම් ගන්න ඕනි, ඒවාට ආදරේ කරන්න ඕනි. ඔයා මැදිහත් නොවී ඒකට ඔහේ යන්න දුන්නොත්, ඒක ගරා වැටිලා, ජරාවාස වෙලා යයි. හරියට අතෑරලා දාපු නගරයක් වගේ. ඔයා ඒ තුළ ජීවත් වීමේ සතුට හොයා ගන්න ඕනි. හරියට නගරයක් තුළ ජීවත් වෙද්දි වගේ ලෝරෙන්සෝ.
ඇත්තටම මේ ගිනියමේ මං රෝමේට ආවේ මේකයි. මට ඕනි උනා සපත්තු නොදාපු මගේ නිරුවත් දෙපා මේ පරණ පාරක පැතලි ගල් තට්ටුව උඩ තියලා බලන්න…”

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon
OnThisDay





