සංජීවනී රූපසිංහ:
“අම්මේ බබලා හම්බෙන්නේ කොහොමද” යැයි පුංචි දරුවා මවගෙන් අසන්නේ කුඩාම කාලයේය. එතරම් කුඩා කාලයේදී එය කියා දීමට අපහසු වුවත් ටිකක් දරුවා ලොකු වෙද්දී ඇයට හෝ ඔහුට ඒ ගැන කියා දිය යුතුය. එය අභියෝගාත්මක කාර්යයක් වන බව නිසැකය. පාසලේදී පවා ප්‍රජනනනය පාඩම අතහැර යන්නට ගුරුවරු වැඩි නැඹුරුවක් දක්වයි.
ලිංගිකත්වය ගූඪත්වයක සඟවා තබනු වෙනුවට විවෘත හා අනෙකාගේ අයිතීන්ට ගරු කරන සමාජයක් කරා මාරු වීමට නම් අප මේ පිළිබඳ විවෘත අදහස් හුවමාරු කර ගත යුතුය.
ලංකාව තුළ ලිංගිකත්වය කියා දීමට විශේෂයෙන් පැවිදි පාර්ශවය විරුද්ධය. එය මිථ්‍යාවේ ගැලී ඇති සමාජයක් තවදුරටත් මිථ්‍යාවට තල්ලු කිරීමකි. සාෆි නම් වෛද්‍යවරයෙකු ගැහැණුන් වඳ කළා යැයි කී පමණින් පිළි ගන්නටත් වඳ කොත්තු වඳ බ්‍රෙසියර් ගැන කතා විශ්වාස කරන්නටත් සමාජය පෙළඹෙන්නේ මිථ්‍යාව රජ කරන සමාජයක් වීම නිසාය.

වරක් වයස අවුරුදු දහතුනේදී දූෂණයට ලක් ව ගැබ් ගත් දැරියක් මට කීවේ ඇය දරුවන් ලැබෙන්නේ කොහෙන්දැයි දැන නොසිටින බවයි.
බර්ට්‍රන්ඩ් රසල් වරක් පැවසුවේ විවාහ වූ යුවලවල්වලින් සැලකිය යුතු පිරිසක් ලිංගික කාර්යය කිරීමට දැන නොසිටි බවයි.

ලිංගිකත්වය ගැන, ශරීරය ගැන විශේෂයෙන් දැරියන් දැනුවත් කළ යුතුය. ඇයගේ ශරීරය ඇගේ බවත් එය අපහරණය කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් ඇය දැන ගත යුතුය. පාසලේ ගුරුවරුන්ට හෝ මාමාට බාප්පාට හෝ බස් රථයේ තමා ළඟ වාඩි වී සිටින පිරිමියෙකුට තමාගේ ශරීරයේ කිසිම අවයවයක් ස්පර්ශ කිරීමට අයිතියක් නොමැති බව ඇය දැන සිටිය යුතුය.
ගැබ් ගන්නේ කෙසේද, ගැබ් ගැනීමෙන් ආරක්ෂා වන්නේ කෙසේද යැයි ඇය දැන ගත යුතුය. සමාජ රෝග යනු මොනවාද ඒවා මාරාන්තික වන ආකාරය මෙන්ම ඒවා බෝවන ආකාරයත් සමාජ රෝග වලක්වා ගන්නේ කෙසේද යන්නත් ඇය දැන සිටිය යුතුය.
එසේම ලිංගික කාර්යයේදී ගැහැණුන්ගේ අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ පිරිමි දරුවා දැනුවත් කළ යුතුය. වයස අවුරුදු දහසයට අඩු දැරියක් නම් ඇය කැමැත්තෙන් ලිංගික කාර්යයේ යෙදුනද එය දූෂණයක් ලෙස අර්ථකථනය කර ඇති බව පිරිමි කුඩා කාලයේ සිටම දැන සිටිය යුතු නීතිමය කරුණකි.
සෑම ලිංගික කාර්යයේදී ගැහැණයගේ කැමැත්ත අනිවාර්ය අංගයකි. ස්ත්‍රියගේ කැමැත්ත නැතිව කිසිම ආකාරයකින් ලිංගික ක්‍රියාවක් සිදු විය නොහැකිය. එසේ සිදු වනවා නම් එය දූෂණයකි.
මෑතකදී පිරිමි ළමුන් කිහිප දෙනෙකු ගැහැණු ළමයෙකු සමූහ දූෂණයට ලක් කළ පුවතක් අසන්නට ලැබිණි. නිවරදි ලිංගික අධ්‍යාපනයක් පැවතියේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අපට වළකාගත හැකිව තිබුණි. ලිංගික සදාචාරය දරුවාට ඉගැන්විය යුතුය.
ලිංගික අධ්‍යාපනය ගැහැණු දරුවාට මෙන්ම පිරිමි දරුවාටත් පොදුය.

සංජීවනී රූපසිංහ –Sanjeewani Rupasinghe
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.
තරුණි
ඡායාරූප අන්තර්ජාලය සහ Meta AI ඇසුරිනි.





