හිත්තටියගේ සමන්ත:
මානව කේන්ද්‍රීය නොවන (Non-Anthropocentric) රාමුවක් තුළ සාමූහික ක්‍රියාකාරිත්වය සහ සමාජ පරිවර්තනයන්
පන්ති අරගලය විශ්ලේෂණය කිරීම, සාමූහික ක්‍රියාකාරිත්වය සඳහාවූ කැඳවීම සහ සමාජ පරිවර්තනයන් හඹායාම යන මාක්ස්වාදී චින්තනයේ මූලික මූලධර්ම, ඉතිහාසය සහ දේශපාලනය පිළිබඳ අපගේ අවබෝධය ගැඹුරින් හැඩගස්වා ඇත. සාම්ප්‍රදායිකව, මෙම රාමුව දැඩි ලෙස මානව කේන්ද්‍රීය ( Anthropocentric ) වන අතර, එම විශ්ලේෂණයේ කේන්ද්‍රයේ මිනිසුන් සහ ඔවුන්ගේ සමාජ-ආර්ථික සබඳතා තබා ඇත. කෙසේ වෙතත්, උත්සන්න වන පාරිසරික අර්බුදය සහ සියලුම ජීවී පද්ධතිවල සංකීර්ණ අන්තර් සම්බන්ධතාව පිළිබඳ වැඩිවන පිළිගැනීම, මේ ගැන විවේචනාත්මක නැවත ඇගයීමක අවශ්‍යතාව මතු කරයි. මානව කේන්ද්‍රීය නොවන රාමුවක් තුළ, සාමූහික ක්‍රියාකාරිත්වය සහ සමාජ පරිවර්තනය පිළිබඳ මාක්ස්වාදී සංකල්ප නැවත සිතා බැලිය හැකිද ?
මෙම ප්‍රශ්නය ගවේෂණය කිරීම සමකාලීන නව චින්තනයක් සඳහා ආකර්ශනීය හා තීරණාත්මක මාවතක් විවෘත කරනු ඇත. මානව කේන්ද්‍රීය නොවන දෘෂ්ටියක්, සම්භාව්‍ය මාක්ස්වාදය තුළ ඇති සහජ මානව විශිෂ්ටත්වය අභියෝගයට ලක් කරන අතර, බල ගතිකතාවයන් සහ විමුක්ති ව්‍යාපෘති පිළිබඳ අපගේ අවබෝධය තුළ මිනිස් නොවන ලෝකයේ සතුන්, ශාක, පරිසර පද්ධති සහ ග්‍රහලෝකය පවා ඇතුළත් නියෝජිතායතනයන් සහ අවශ්‍යතා ගැන සලකා බැලීමට අපව පොළඹවයි.
මානව කේන්ද්‍රීය නොවන මාක්ස්වාදයක් පන්ති විශ්ලේෂණය අත් නොහරින නමුත්, එය පුළුල් පාරිසරික සහ විශේෂිත රාමුවක් තුළ ස්ථානගත කරයි. මානව / ස්වභාවික බයිනරිය බිඳ දැමීමෙන්, මාක්ස්වාදයට 21 වන සියවසේ අර්බුදවලට වඩා හොඳින් ආමන්ත්‍රණය කළ හැකි අතර, පශ්චාත්-ධනවාදී පමණක් නොව පශ්චාත්-මානව කේන්ද්‍රීය කොමියුනිස්ට්වාදයක් පිළිබඳවද දැක්මක් ඉදිරිපත් කරයි. ඉඟිය නම්, වටිනාකම් තවදුරටත් මිනිසුන්ගෙන් හෝ සොබාදහමෙන් උපුටා නොගන්නා නමුත්, ඒ දෙකෙහිම ගතික සහ නිෂ්පාදනයෙන් සමෘද්ධිමත් වන ලෝකයකි !
මා කලින් සඳහන් කල කාරනය තරමක් න්‍යායාත්මක පැත්තට බර තබා සලකා බලමු. මෙය කලින් යෝජනා කල තර්කය තවදුරටත් විදහා දැක්වීමට යොදාගත් සරල උදාහරණයක් පමනක් බවත්, මෙවැනි කෙටි සටහනකින් මෙය කිරීමට යාමේදී බොහෝ වැරදි සිදුවිය හැකි බවත් කරුණාකර සලකන්න. නොඑසේව මා එහි යෝජනා කල දෙය, ඉතා සංකීර්ණ සාමූහික ශ්‍රමයක් වැය කලයුතු බරපතළ කාරනයක්වේ.
මේ සාකච්ඡාවේදී ( මාක්ස්වාදය මානව කේන්ද්‍රීය නොවන මානයකින් විග්‍රහ කර ගැනීම ), ග්‍රැහැම් හාමන්ගේ ( Graham Harmon ) Object-Oriented Ontology – OOO සංකල්පය භාවිතයෙන් අපගේ තර්කය ශක්තිමත් කිරීමට සලකා බලමු.
පුලුල්ව ගත්විට සමපේක්ෂ භෞතිකවාදියකු ( Speculative Realists) වන ග්‍රැහැම් හාමන්ගේ OOO සංකල්පය, මාක්ස්වාදය මානව කේන්ද්‍රීය නොවන ආකාරයකින් නැවත අර්ථකථනය කිරීමට ප්‍රබල දාර්ශනික පදනමක් සපයයි. ඉතාම සරලව ගතහොත් හාර්මන්ගේ OOO මගින් මූලික පදනමක් ලෙස අදහස් කරන්නේ, වස්තූන් විවිධ ස්වරූපවලින් යථාර්ථයේ මූලික සංඝටක වන අතර, ඒවා මිනිස් සංජානනයෙන් හෝ අන්තර්ක්‍රියාවෙන් ස්වාධීනව පවතින බවයි.

මෙම මූලික මූලධර්මය මානව කේන්ද්‍රීයත්වය සෘජුවම අභියෝගයට ලක් කරන අතර, මානවයින්ගෙන් ඔබ්බට ගිය කාරකත්වය සහ අන්තර් සම්බන්ධතා අවබෝධ කර ගැනීම සඳහා නව මාවත් විවෘත කරයි. දැන් OOO මගින් අපගේ තර්කය ශක්තිමත් කරන ආකාරය මෙසේය. හාර්මන්ගේ OOO මගින් මිනිසුන් අසංඛ්‍යාත වස්තූන් අතරින් එක් වස්තුවක් පමණක් බව තර්ක කිරීමෙන්, සාම්ප්‍රදායික මාක්ස්වාදයේ අන්තර්ගත මානව කේන්ද්‍රීය පක්ෂග්‍රාහීත්වය සෘජුවම අඩපණ කරයි. එය මිනිස් කේන්ද්‍රීය සමාජ සබඳතාවලින් ඔබ්බට ගොස්, සියලුම වස්තූන් ( මානව සහ මානව නොවන, සජීවී සහ අජීවී ) අන්තර්ක්‍රියා කරන ආකාරය සහ එකිනෙකාට බලපාන ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් වෙත අවධානය යොමු කරයි.
මෙය ප්‍රාථමික මාක්ස්වාදී විග්‍රහයක අඩංගුවන මානව-මානව සූරාකෑමෙන් ඔබ්බට ගොස්, මානව නොවන වස්තූන් කෙරෙහි ඇති බලපෑම සහ සූරාකෑමද ඇතුළත් වන බල ගතිකත්වය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් සඳහා ඉඩ සලසයි. මානව නොවන වස්තූන් සඳහා කාරකත්වය ලබාදීම යන්නේදී හාර්මන්ගේ OOO තුළ, වස්තූන් හුදෙක් මිනිස් ක්‍රියාවන්ගේ උදාසීන ප්‍රතිග්‍රාහකයන් හෝ සූරාකෑමට ලක්විය යුතු සම්පත් නොවේ. ඒ වෙනුවට, ඒවාට තමන්ගේම withdrawn* ( වෙන් කෙරුනු ) යථාර්ථයක් ඇති අතර, අනෙකුත් වස්තූන් සමග අන්තර්ක්‍රියා හරහා කාරකත්වය ක්‍රියාත්මක කරයි. මෙයින් අදහස් කරන්නේ පරිසර පද්ධති, දේශගුණික පද්ධති, විශේෂිත විශේෂයන්, සහ භූ විද්‍යාත්මක සැකැස්ම පවා මානව ක්‍රියාකාරකම් සඳහා පසුබිම් පමණක් නොව, තමන්ගේම ආවේණික ගුණාංග සහ හේතුකාරක බලයන් සහිත සක්‍රීය සහභාගිවන්නන් බවයි. මානව කේන්ද්‍රීය නොවන මාක්ස්වාදයක් සඳහා, මෙයින් අදහස් කරන්නේ, ආර්ථික සබඳතා සහ සමාජ අරගල හැඩගැස්වීමේදී, පරිසරයේ ද්‍රව්‍යමය කාරකත්වය හඳුනා ගැනීමයි.
උදාහරණයක් ලෙස:

පරිසර පද්ධතියක විනාශය මානව වර්ගයාට සිදුවන හානියක් පමණක් නොවේ, එය තමන්ගේම අභ්‍යන්තර සබඳතා සහ ධාරිතාවන් සහිත “වස්තුවක” ගැඹුරු පරිවර්තනයකි.

හිත්තටියගේ සමන්ත-Hiththatiyage Samantha
- හාර්මන් Withdrawn යන්නට ගෙන දෙන අර්ථයේ , නිවැරදි සිංහල පරිවර්තනයක් සොයා ගැනීමට නොහැකි විය. කරුණාකර ඔබේ යෝජනාවන් ලබා දෙන්න.
- Graham Harman (born May 9, 1968) is an American philosopher . He is Distinguished Professor of Philosophy at the Southern California Institute of Architecture in Los Angeles.
His work on the metaphysics of objects led to the development of object-oriented ontology. He is a central figure in the speculative realism trend in contemporary philosophy. [ Wikipedia ]






One thought on “මිනිසාගෙන් ඔබ්බට ගිය මාක්ස්වාදී භාවිතයක් ගැන නැවත සිතා බැලීමක් (පළමු කොටස)”