ධනංජය කරුණාරත්න සහ ලංකාවේ ඇවන්ගාඩ් නිමේෂය

ධනංජයගේ නාට්‍ය බිහිවෙන්නේ ශ්‍රී ලංකාවේ නිශ්චිත ඓතිහාසික මොහොතක. 88-89 වලදාපු මිනිස් ශරීර ඇටකටු විදිහට මතුවුණු, උතුරු නැගෙනහිර මිනිස් ජීවිත වල වටිනාකම බිංදුවට වැටුණු, කොයිවෙලේ හෝ බෝම්බයක් පිපිරෙයි කියන අවිනිශ්තභාවයෙන් කොළඹ නගරය වෙලුණු යුගයක ධනංජයගෙ නාට්‍යය තුළින් මිනිස් පැවැත්ම සහ මිනිස්සු හදාගත් ආයතන ගැන ප්‍රශ්න කරන්න ගන්න පටන් ගන්නවා. මේ කාලේ තමයි හදගම ටෙලිවිෂන් එකට ඩෙනිම් ඇදගෙන ගමේ හේන්කොටන දීප්තිව හදුන්වලා දෙන්නෙ. පියල් කාරියවසම් විසින් හැරල්ඩ් පින්ටර්ගේ කොන්ත්‍රාත්තුව වේදිකාවට ගේන්නෙ. රාජිත දිසානායක විසින් හංසයින්ටත් මං ආසයි, මට වෙඩිතියන්නෙ නැද්ද වගේ නාට්‍ය බිහිවෙන්නෙ.

ප්‍රියන්ත සිරිකුමාර මරණය සහ කන්‍යාවිය නිර්මාණය කරන්නෙ. ඉතින් මේ යුගය ලංකාවේ කලාවේ ඇවන්ගාඩ් නිමේෂය කියලා හදුන්වන්න පුළුවන්. රාජ්‍ය විසින් ජීවත් විය යුත්තේ කවුද? මිය යායුත්තේ කවුද කියලා තීරණය කරන මොහොතක ( necropolitics ) මේ කලා කෘති බොහොමයක් සමාජය විසින් ගොඩනගාගත්ත දෘෂ්ටිවාදී ආයතන ප්‍රශ්න කරන්න ගත්තා.

ඉතින් ධනංජයගෙ නාට්‍යයක් බලන්න ජෝන් ද සිල්වා එකට ගියාම අපිට හමුවෙන්නෙ , “මේ ශිෂ්ටාචාරය මේ විදිහට පවත්වගෙන යන්න ඕනෙද?” කියලා ප්‍රශ්න කරන ගැහැණු. “මගේම ආගමක් හදාගන්න තරම් පව් කරලා තියෙනවා” කියලා කෑගහලා අඩන පිරිමි. “සාලිය අශෝකමාලා ආදර කතා තුළ තියෙන උස මිටි දේශපාලනය” ගැන විවේචනය කරන ප්‍රේමවන්තයො. ධනංජය කොහේ හරි කියලා තිබ්බ විදිහට කෙටි නාට්‍ය කියන්නෙ වෙඩිල්ලක්. හැබැයි ධනංජයගෙ නාට්‍ය වල තියෙන්නෙ වෙඩිල්ලක සද්දෙ විතරක් නෙමෙයි. ඒ කියන්නෙ ධනංජය හුදෙක් වේදිකාව තුළ නාට්‍යමය මොහොතක් විතරක් හදලා නවතින්නෙ නැහැ. අපිව කම්පනයට පත්කරන දේශපාලන සාකච්ඡාවකට මුල පුරනවා. ඒ කියන්නෙ ප්‍රේක්ෂකයාව තුවාල කරලා දානවා.

කොළඹ ලුම්බිණියෙ තිබ්බ ධනංජයගෙ ලාස්ට් බස් එකේ කතාවක් බලන්න ගිය දවස මට තාම මතකයි. අමුතු පහේ හැට් එකක් දාගත්තු කෙට්ටු තරුණයෙක් ( සෞම්‍ය ලියනගේ) අපිට මුලින්ම චුයින්ගම් බෙදුවා. ඊට පස්සෙ ගෝල්ඩ් ලීප් එකක් පත්තු කරගෙන කොකාකෝලා එකක් බිබී ස්ටේජ් එකට නැග්ගා. අන්තිමට මම හපමින් හිටපු චුයින්ගම් එකේ රස දිරවාගන්නා බැරි විදිහෙ කතාවක් කරලා පෙන්නුවා.

ලංකාවේ වේදිකාව තුළ පිළිගත්ත සම්ප්‍රදායන් ඔක්කොම කණපිට හරවමින් සෞම්‍ය විසින් කළ ඒ අතිවිශ්ෂිට රංගනය මට අනුව ආකෘතිය අතිනුත්, අන්තර්ගතය අතිනුත් ඇවන්ගාඩ් මොහොතක්. මොකද ඒ රංගය තුළ වේදිකාව යනු කුමක්ද? රංගනය යනු කුමක්ද? පසුතලය යනු කුමක්ද? කියන ප්‍රශ්න නැවත වතාවක් අපිට අහන්න සලස්සනවා. අවසානයේ ප්‍රේක්ෂකයා යනු කවුද? විතරක් නෙමෙයි අපිට අපේ ඊනියා සුචරිතවාදී ජීවිතය පවා ප්‍රශ්න කරන තැනකට රංගය ගෙන යනවා.

ධනංජයගෙ නාට්‍ය තව අවුරුදු ගණනාවක් නැවත නැවතත් පෙන්වනවා නම් හොදයි. මොකද මේ නාට්‍ය ශ්‍රී ලංකාවේ සුවිශේෂී දේශපාලන මොහොතක් වගේම ලංකාවේ වේදිකාවේ ස්වර්ණමය යුගයක් ගැන සාක්ෂි දරනවා.

(1)Photograph – The International Dada Fair of 1920, the climax of Berlin Dada. The central symbol of the Fair was an effigy of a German officer with the head of a pig that hung from the ceiling. Museum of Modern Art, NYC.

More From Author

The Professor and the Mad Man මහාචාර්යතුමා සහ උමතු මිනිසා

අහසට දමා ගැසූ කවි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348