අහසට දමා ගැසූ කවි

“වැඩියෙන් විකිණෙන පොතකට වඩා සමාජය වැඩියෙන් රිදවිය හැකි පොත වඩාත් අනඟියි.” නිලංක ඇලෙක්සැන්ඩර්ගේ අලුත්ම කෙටි කතා සංග්‍රහය අහසට දමා ගැසු කවි කෘතියේ ඔහු එලෙසින් පවසයි. තම දේශපාලන දෘෂ්ටිය සාහිත්‍ය නිර්මාණ තුළින් සමාජය වෙතට ගෙන එන්නෙකු වන නිලංක ඇලෙක්සැන්ඩර් විසින් මීට පෙර රචිත කෘතිද මෙරට ඉතිහාසයේ නිෂ්චිත දේශපාලන සහ සමාජයීය හැරවුම් ලක්ෂ පිළිබදව ගැඹුරින් විමසා බැලූ කෘතින් ලෙසින් පාඨක අවධානය ලබාගෙන තිබෙයි.

නිලංක ඇලෙක්සැන්ඩර්

“දැන් එතකොට ඔයා මට කියන්නේ ජන සංහාරයක් සිද්ධවුන භූමියක බොහොම අමාරුවෙන් සාමයේ මල් පිපීගෙන එන මේ වගේ මොහොතක මේ කටුක ඇත්තක් එළියට ඇදලා අරගෙන ඒ සාමය නැති කරලා දාන්න කියලද? බෑ මට ඒක කොහොමටවත් කරන්න බෑ. වෙඩි තියලා හරි, කපලා කොටලා හරි, පණ පිටින් වළදාලා හරි ඔහෙලා දැන් මැරිලා ඉවරයි. ඒ මැරුණු ආත්ම වලට යුක්තිය ඉෂ්ට කරන්න ගිහින් මේ පීවත් වෙලා ඉන්න ලක්ෂ ගානක මිනිස්සුන්ව නැවත වතාවක් භේද කරන වීදියේ යුක්තියක් මට මගේ වාර්තාවෙන් කොහොමටවත් දෙන්න මට බෑ.”

මහාචාර්ය පණ්ඩුකගේ ස්ථිර සාර අදහස් හමුවේ කේඩෑරි කාන්තාව ඈතින් ඈතට ගොස් ක්‍රමයෙන් බොඳව ගියාය. ඇයගේ මැකී යාම ගැන ඔහු කෙරෙහි හට ගත්තේ තරමක සැනසීමකි. ඇය ඇති වූයේත් තම සිත තුළම ය. දැන් ඇය නැති වී යන්නෙත් තම සිත තුළින්මය. ඒ කෙසේ වෙතත් ඇය මැකී යන ඒ අවසන් මොහොතේ ඇගේ රැළි ගැසුණු මුහුනේ ඇස් කුහර තුළ ගිළි ගිය ඒ වේදනාබර කස්සළු පෙනුම මහාචාර්ය පණ්ඩුකට අමතක කර දැමීම ලෙහෙසි පහසු කරුණක් නොවීය. එසැණින් ඔහුගේ සිත ප්‍රමුදිත කරවන ඒ මේ ගලිතික සුරූපිනිය ඔහු ඉදිරියේ පෙනී සිටින්නට වුවාය.

” ඇයි මට එන්න කිව්වේ. ”
” මාව සතුටු කරවන්න.”
” මං හිතුවේ පර්යේෂණ වාර්තාවෙන් පස්සේ මහාචාර්යතුමා සතුටින් කියලා.”
“හිතට බොරු කරපු කිසිම කෙනෙකුට සතුටක් කියලා දෙයක් ලැබෙන්නේ නෑ.”
” ඉතිං ඇයි හිතට බොරු කලේ මහාචාර්යතුමාට තිබුනානේ ඒ අහිංසක මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ටවෙන විදියට වැඩ කරන්න. ”
” ඒකට මගේ හිත ඇතුළේ හිටපු මහා කලු සිංහයා ඉඩ දුන්නේ නෑ.”
අහසට දමා ගැසූ කවි – (පිටුව-56-57)

මිනිස් චිත්තාභ්‍යන්තරයේ හට ගනු ලබන ආදරය, විරහව, පලිගැනීම සහ විඳවිම් යන අතීශය සංකීර්ණ මනෝභාවයන් තවදුරටත් පුද්ගල බද්ධවම පවතින්නක් නොව ඒවා භාහිර සමාජ හේතූ සාධක සමගද මුසුව පවතින්නක් බවට පසක් කරවන ආකාරයේ කතාංගයන්ගෙන් සමන්විත අහසට දමා ගැසූ කවි කෙටිකතා සංග්‍රහය මෙරට ඉතිහාසයේ අරගල, රාජ්‍ය මර්ධන, පශ්චාත් යුධමය කාල පාරාසයන් පිළිබදව වර්තමාන සමාජය තුළ දැනුවත්භාවයක් ඇති කරවන්නා වු කෘතියකි.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොළඹ හැන්දෑව සංස්කෘතික කතිකාව ලෙසින් 2025 ජූලි මස 23 වන බදාදා දින සවස 02 සිට කොළඹ 12 වේල්ල වීදිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි (පරණ කච්චේරිය ගොඩනැගිල්ලේදි) මෙම කෘතිය පිළිබද විද්වත් කතිකාවක් සංවිධානය කර තිබේ. එදින කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන සහ පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් අහසට දමා ගැසූ ක කෘතිය පිළිබද ප්‍රධාන දෙසුම් පැවත්වීමටද නියමිතයි.

More From Author

ධනංජය කරුණාරත්න සහ ලංකාවේ ඇවන්ගාඩ් නිමේෂය

කොන්දේසි විරහිතව යටත් වීම හෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීම’ යනාකාරයෙන් තර්ජනය කිරීමෙන් ආරම්භ වූ ඉරානයට එරෙහිව අවි අමෝරා ගත් ඇමරිකාවේ යුද්ධය, ‘ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට’ පොරොන්දු වීමෙන් අවසන් කළේ කෙසේද? (3 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348