කොන්දේසි විරහිතව යටත් වීම හෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීම’ යනාකාරයෙන් තර්ජනය කිරීමෙන් ආරම්භ වූ ඉරානයට එරෙහිව අවි අමෝරා ගත් ඇමරිකාවේ යුද්ධය, ‘ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට’ පොරොන්දු වීමෙන් අවසන් කළේ කෙසේද? (3 කොටස)

ඉතා වැදගත් කරුණක් නම්, තීරණාත්මක ජාත්‍යන්තර නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය ගත් තීරණය, මැද පෙරදිග සහ යුරෝපයේ අනෙකුත් රටවල් අතර කනස්සල්ලට හේතු වී තිබේ. ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ඉරානයට සිදු වූ පුළුල් හානිය නොතකා, රටේ මිසයිල සහ ඩ්‍රෝන නිෂ්පාදනයට කිසිදු බලපෑමක් සිදු නොවීය. ඊශ්‍රායලයට ඉරානයේ ආරක්ෂක වළලු විනිවිද යාමට නොහැකි වූ අතර, එහි හමුදා යටිතල පහසුකම්වල ශක්තිය බොහෝ දුරට නොවෙනස්ව පැවති බව පෙනෙන්නට තිබුණි.

මෙම සන්දර්භය තුළ, එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාරයක් දියත් කළහොත්, ඉරානය නිසැකවම ඇමරිකානු ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රතිචාර දක්වන බව පැහැදිලිය. සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත්ව, එක්සත් ජනපදයේ මිත්‍ර පාක්ෂිකයින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලපෑම් කිරීමට පටන් ගත්හ.

ලොව විශාලතම ණයගැති රාජ්‍යය ලෙස දැනට ඩොලර් ට්‍රිලියන 37 ක ණය බරකට මුහුණ දී සිටින එක්සත් ජනපදයට තවත් දීර්ඝ යුද්ධයක් පවත්වා ගැනීම අසීරුය. එබැවින්, ට්‍රම්ප්ගේ මුල් සැලැස්ම වූයේ ඉරානය දුර්වල කිරීම සහ ඉරානයේ පරමාණුක ව්‍යාපෘතිය අත්හැරීම සඳහා ඊශ්‍රායලය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට බල කිරීමයි. මෙය අරමුණු කරගත් දැඩි කෙටි කාලීන ප්‍රහාරයක් දියත් කිරීමයි. කෙසේ වෙතත්, ඉරානයේ ෆාටා මිසයිල ප්‍රහාරය එම උපාය මාර්ගය පිළිබද නැවත සිතා බැලීමකට ඇමරිකාවට බල කළේය.

ඇමරිකා එක්සත් ජනපදය අවසානයේ දී එහි මූලික සැලැස්ම ආපසු හැරවීමට තීරණය කළ අතර, ඒ වෙනුවට අඩු ගැටුම්කාරී ප්‍රවේශයක් තෝරා ගත්තේය – සැලැස්ම B. මෙයට රහසිගත සාකච්ඡා වල නිරත වීම සහ එකිනෙකාට දරුණු හානියක් වළක්වා ගනිමින්, අන්‍යෝන්‍ය ජයග්‍රහණයේ ප්‍රතිරූපයක් ප්‍රක්ෂේපණය කරමින්, ප්‍රදර්ශනාත්මක ප්‍රහාර සිදු කිරීමට පෙර අවබෝධයකට පැමිණීම ඇතුළත් විය.

යුද්ධවලදී, සුපිරි බලවතුන්ට අනිවාර්යයෙන්ම හදිසි අවස්ථා වලින් පිටවීමේ සැලැස්මක් ඇත. සටන් උග්‍ර වන අතරතුර, ඔවුන් තිරය පිටුපස නුවණැති සාකච්ඡා වල නිරත වන අතර, එය Backchannel පසු දොර රාජ්‍ය තාන්ත්‍රිකභාවය ලෙස හැඳින්වේ.

මෙයට ප්‍රධාන උදාහරණයක් වන්නේ 1978 දී ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර සාමය සඳහා රාමුවක් ස්ථාපිත කරන ලද කැම්ප් ඩේවිඩ් සාම ගිවිසුම් ය. මෙම ගිවිසුම් ඊශ්‍රායලය, ඊජිප්තුව සහ එක්සත් ජනපදය සම්බන්ධ වූ විචක්ෂණශීලී සාකච්ඡා මගින් පහසු කරන ලදී.

ඉරාන-කොන්ට්‍රා අපකීර්තිය තවත් කැපී පෙනෙන උදාහරණයක් ලෙස හදුනා ගත හැකිය.  මෙම අපකීර්තිය මතු වූයේ 1981 සහ 1986 අතර කාලය තුළ එක්සත් ජනපදය ඉරානයට රහසිගතව අවි අලෙවි කළ බවත්, එම රටට පනවා තිබූ අවි තහනම උල්ලංඝනය කළ බවත් හෙළි වූ විටය. උත්ප්‍රාසාත්මක ලෙස, මෙය සිදු වූයේ ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ යුද්ධය සඳහා තම මිත්‍ර රාජ්‍යය වන ඉරාකයට අවි සපයන අතරතුරය. මෙම අවි අලෙවියෙන් ලැබුණු ආදායම යොදා ගත්තේ කොන්ට්‍රාස් සංවිධානයේ පෝෂණය සඳහාය.  කොන්ට්‍රාස්  සංවිධානය සටන්කාමී කණ්ඩායමක් වන අතර ඔවුහු ඉරාන උපකාර ලත් හිස්බුල්ලා සංවිධානය විසින් ලෙබනනයේ රඳවාගෙන සිටි ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් හත් දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා නිකරගුවාවේ සැන්ඩිනිස්ටාවරුන්ට එරෙහිව සටන් කරන ලද එක්සත් ජනපද සහාය ලත් කණ්ඩායමකි.

2015 දී, ඉරානය එක්සත් ජනපදය සමඟ රහසිගත පසුගාමී සාකච්ඡා වලින් පසුව, ඒකාබද්ධ විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්ම (JCPOA) න්‍යෂ්ටික ගිවිසුමට එළඹුණි.

මෑත කාලීන ඊශ්‍රායල-ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර, ප්‍රසිද්ධියේ මෙන්ම තිරය පිටුපස ද සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි. යුද්ධය එහි භයානකම අවධිය දක්වා වර්ධනය වන විට, සැලකිය යුතු අැමරිකානු හමුදා කඳවුරක් සහ අණදෙන නිලධාරියෙකු සිටින කටාර්, තම අවශ්‍යතා අවදානමට ලක්ව ඇති බව හඳුනාගෙන මැදිහත් වීමට ක්‍රියාශීලී පියවර ගත්තේය. මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපදය තම සහභාගීත්වය ඉල්ලා සිටි බව කටාර් පසුව හෙළි කළේය.

2025 ජුනි 22 වන දින එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික පර්යේෂණ පහසුකම් තුනක් වන ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් වෙත බර උමං බිඳීමේ බෝම්බ ප්‍රහාර එල්ල කළ විට නාටකාකාර තත්වයක් වර්ධනය විය. ඉරානය ප්‍රහාරයට මැදිහත් නොවීය. විශ්වාසදායක තුවාල වාර්තා නොමැති අතර සැලකිය යුතු හානියක් සිදු නොවූ බව පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත්, ට්‍රම්ප් ට්වීට් කළේ තමා තම ඉලක්කය කරා ළඟා වී ඇති බවත් ඉරානයට තවදුරටත් න්‍යෂ්ටික බෝම්බයක් සංවර්ධනය කිරීමට නොහැකි වනු ඇති බවත්ය. පළිගැනීමක් ලෙස, ඉරානය 2025 ජුනි 23 වන දින කටාර්හි ඇමරිකානු කඳවුරකට මිසයිල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ඉදිරියේදී සිදුවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව කටාරයට සහ එක්සත් ජනපදය යන දෙපාර්ශවයටම කලින් දැනුම් දෙන ලදී. එක්සත් ජනපදය කියා සිටියේ තමන් සාර්ථකව මිසයිල වළක්වා විනාශ කළ බවයි. මේ අතර, ඉරානය කියා සිටියේ තම ප්‍රහාරයෙන් කඳවුරට සැලකිය යුතු හානියක් සිදු වූ බවයි, නමුත් මෙම ප්‍රකාශයට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් සපයා නැත.

ඊට පසු දින, 2025 ජුනි 24 වන දින, ට්‍රම්ප් ට්විටර් හරහා නිවේදනය කළේ සටන් කරන දෙපාර්ශවයේම ඉල්ලීම පරිදි ඉරානය සහ ඊශ්‍රායලය අතර ක්ෂණික සටන් විරාමයක් දැන් ක්‍රියාත්මක වන බවයි. ගැටුමෙන් පක්ෂ තුනම ජයග්‍රහණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළ අතර ඉරානය නැවත ශ්‍රේෂ්ඨ රටක් බවට පත් කිරීමට ප්‍රතිඥා දුන්නේය. කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ ඉරානය යන දෙකම සටන් විරාමයක් ඉල්ලා සිටි බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළහ. කෙසේ වෙතත්, නොගැලපෙන ප්‍රකාශ සඳහා ප්‍රසිද්ධ ට්‍රම්ප්, ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම්වලින් කලබල නොවූ බවක් පෙනෙන්නට තිබුණි.

සටන් කරන දෙපාර්ශ්වයම සටන් විරාමයට එකඟ වීම වඩාත්ම වැදගත් දෙයයි. එය හේතුවක් නිසා සිදු විය. එහි යකඩ ගෝලාකාරය, මොසාඩ්, දියුණු තාක්‍ෂණය, හමුදා වික්‍රමාන්විතයන් සහ එක්සත් ජනපද සහාය මත යැපෙන ඊශ්‍රායලය සැලකිය යුතු පසුබෑමකට මුහුණ දී තිබේ. අනපේක්ෂිත පාඩු විඳදරාගැනීමෙන් පසු අනාගත ආරක්ෂාව සඳහා එහි මූලික උපාය මාර්ගය නැවත නැවත සිතා බැලීමට බල කෙරුනි. අනෙක් අතට, ඉරානය තම පුළුල් ගුවන් අවකාශය ආරක්ෂා කර ගැනීමේදී අභියෝගවලට මුහුණ දුන් අතර, එහි උත්තරීතර නායක කොමේනි, මොසාඩ් ප්‍රහාර එල්ල විය හැකි බවට ඇති බිය නිසා සැඟවී සිටීමට යොමු විය. දෙපාර්ශ්වයටම ඔවුන්ගේ ඊළඟ පියවර ගැන මෙනෙහි කිරීමට කාලය අවශ්‍ය වූ අතර, එ් නිසා දෙපාර්ශ්වයටම අකමැත්තෙන් හෝ සටන් විරාමයක් පිළිගැනීමට සිදු විය.

එක්සත් ජනපදය සහ එහි බටහිර සහචරයින්ට ද සටන් විරාමයක් අවශ්‍ය විය. මේ අතර, ඉරානය දිග්ගැස්සුනු යුද්ධයකට සූදානම් වෙමින් සිටි අතර, ප්‍රවේශමෙන් සැලසුම් කර ඇති පරිදි තම පාලිත ප්‍රහාර ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කළේය. යුද්ධයේ මුල් දිනවල මොසාඩ් විසින් සිදු කරන ලද හදිසි ප්‍රහාරවලින් මුලදී දරුණු පාඩු වලට මුහුණ දුන්නද, ඉරානය ඉක්මනින් තත්වය පාලනය කර ගනිමින්, එහි නැතිවූ නායකයින් ප්‍රතිස්ථාපනය කරමින් සහ එහි ඩ්‍රෝන යානා සහ මිසයිලවල ආරක්ෂාව සහතික කළේය.

යුද්ධය දිගටම පැවතුනහොත්, චීනය, රුසියාව සහ උතුරු කොරියාව ඉරානයට ක්‍රියාකාරී සහයෝගයක් ලබා දීමට ඉඩ තිබේ. මෙම නැගී එන සුපිරි බලවතුන් පිළිගන්නේ ඉරානය මෙම යුද්ධයෙන් පරාජයට පත් වුවහොත්, විකල්ප ගෝලීය පිළිවෙලක් ලෙස BRICS ස්ථාපිත කිරීමේ ඔවුන්ගේ උත්සාහයන් දැඩි ලෙස අඩපණ වන බවයි. තවද, ගෝලීය හැඟීම් ඊශ්‍රායලයේ මිලිටරිවාදී ක්‍රියාමාර්ගවලට එරෙහිව වැඩි වැඩියෙන් වෙනස් වී ඇත. විශේෂයෙන්, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ යුදෙව් ප්‍රජාවන් පවා ගාසා තීරයේ ඊශ්‍රායලයේ සිදුවන දේ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නම් කරමින් ඒ්වා නතර කරන ලෙස ඉල්ලා වීදි බැස ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යන දෙකම වඩ වඩාත් හුදකලා විය.

සටන්කාමී නෙතන්යාහු විසින් එක්සත් ජනපදය යුද්ධයට ඇද ගැනීමට උත්සාහ කරන බවට බොහෝ ඇමරිකානු සෙනෙට් සභිකයින් කනස්සල්ල පළ කළහ. රැන්ඩ් පෝල් වැනි පුද්ගලයින් නෙතන්යාහු එක්සත් ජනපදයේ ජනාධිපති දැයි ප්‍රශ්න කළහ. වාර්ෂික අයවැය හිඟය පියවා ගැනීම සඳහා වන අඛණ්ඩ අයවැය සීමාවන් සැලකිල්ලට ගෙන, විශේෂයෙන් වත්මන් පරිසරය තුළ, දිග්ගැස්සුනු මිලිටරි මැදිහත්වීමකට කැපවීමට එක්සත් ජනපදය සූදානම් නැත.

එක්සත් ජනපදය යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට තවත් වැදගත් හේතුවක් තිබුණි. ඒනම් යුක්රේන-රුසියානු යුධ පිටියේ වේගයෙන් වෙනස් වන ගතිකතාවයන් මෙයට බලපා ලදී.‍ ගෝලීය අවධානය ඉරාන ඊශ්‍රායල් යුද්ධය වෙත යොමු වූ දින 12 තුළ යුක්රේනයේ ස්ථානය ක්‍රමයෙන් දුර්වල විය. රුසියාව යුක්රේනය තුළ සැලකිය යුතු දියුණුවක් භයානක වේගයකින් අත්පත් කර ගත්තේය. මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, යුක්රේනය රුසියාවට යටත් වීමේ අවදානමක් ඇති වූ අතර, රටේ දුර්ලභ ඛනිජ සහ පුළුල් කෘෂිකාර්මික ඉඩම් කෙරෙහි ඇති උනන්දුව නිසාවෙන් යුද්ධය සඳහා මිලිටරි හා මූල්‍ය සම්පත් ආයෝජනය කළ එක්සත් ජනපදය, ගැටුමේදී එහි සැලකිය යුතු ආයෝජනවල විභව පාඩුව හඳුනා ගැනීමට පෙළඹුණි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර දින 12 ක ගැටුම ගෝලීය පිළිවෙල කඩාකප්පල් කිරීමට පටන් ගත් බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. සටන් විරාමයක් ප්‍රකාශ කිරීමට කඩිමුඩියේ ගත් තීරණය ට්‍රම්ප්ගේ පසුකාලීන ක්‍රියාමාර්ගවලින් තවදුරටත් පැහැදිලිව පෙන්නුම් කෙරේ.

(මෙම සිංහල පරිවර්තනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් සහ එක්සත් රාජධානියේ හල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන සංජීවනී රූපසිංහ දුන් අනගි සහායට ස්තූතිය)

පෙර කොටස් :

ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.

More From Author

අහසට දමා ගැසූ කවි

සේපාලිකා මල් ගහ යට!

One thought on “කොන්දේසි විරහිතව යටත් වීම හෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීම’ යනාකාරයෙන් තර්ජනය කිරීමෙන් ආරම්භ වූ ඉරානයට එරෙහිව අවි අමෝරා ගත් ඇමරිකාවේ යුද්ධය, ‘ඉරානය නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට’ පොරොන්දු වීමෙන් අවසන් කළේ කෙසේද? (3 කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348