The Professor and the Mad Man මහාචාර්යතුමා සහ උමතු මිනිසා

මහැදුරා සහ පිස්සා. එහෙම කියන්නත් පුළුවන්. මේ දවස්වල ඉංග්‍රීසි ගැන කතාබහක් යන අතරේ බලන්න වටින චිත්‍රපටයක්. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය චිත්‍රණය කෙරෙන මෙහි James Murray නමැති මහාචාර්යවරයා සහ මිනීමැරුමකට වරදකරුවෙකුව සිරකුරුවෙකු වන W. C. Minor කේන්ද්‍රකරගෙන කතාව ගොඩනැගෙනව.

මයිනර් වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වුණත් ඔහු එක්තරා අවාසනාවන්ත මිනීමැරුම් සිද්ධියකට පැටලී සිරගත වෙනව. ඒ පිලිබඳ දැඩි කම්පනය නිසාම මානසික රෝගියෙකු බවට පත්ව වසර විස්සකට වැඩි කාලයක් සිරගතව සිටින ඔහු බන්ධනාගරය පුරා ඉතා ගෞරවසම්පන්න පුද්ගලයෙක් සේ කාගෙත් බහුමානයට පත් වෙනව. බන්ධනාගාරයේ පැරනිම සාමාජිකයා තමයි ඔහු. දැඩි මානසික පීඩනයක සිටින මයිනර්ගෙ ජීවිතයෙ සාරය වෙන්නෙ ඔහුට ඔක්ස්ෆ්ඩ් ඩික්ෂනරිය සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියට දායක වෙන්නට ලැබීම.

ඔහු සිර කුටිය තුළට වී දිවා රෑ වෙහෙසෙමින් පොත් සියදහස් ගණනක් කියවමින් එක් එක් වචනය වෙනුවෙන් අර්ථ සම්පාදනය කරනව. එක් වචනයක් වෙනුවෙන් පොත් සිය ගණනක් කියවමින් සංවාද කරමින් ඒවා පිළිබද අර්කථන ලියන මහාචාර්ය මුරේගේත් උමතු මයිනර්ගේත් සිනමා දර්ශන බලන්න වටින ඒවා. ශබ්දකෝෂයේ වැඩ අතර ලිපි හුවමාරු කරගන්නා ඔවුන් කාලයත් සමග දයාර්ද්‍ර මිතුරන් බවට පත් වුණත් මයිනර්ගේ සිරකාර බව හෝ උමතුව තවමත් මුරේට රහසක්ව තිබුණා.

ඔහු හුදෙක් ශබ්දකෝෂයේ උදවුකරුවෙකු පමණක් ලෙස මුරේ දැන සිටියා. මහාචාර්යවරයා සහ මිනීමරු-උන්මන්තකයා අතර ඔක්සර්ෆර්ඩ් ඩික්ෂනරියට අර්ථ සම්පාදනයේ ආඛ්‍යානය සම්මත සංස්කෘතික ධූරාවලිය පිළිබඳ කිළිපොළන රූපකයක්. ඔව් මේ මහා මනුස්ස ශබ්දකෝෂය මහාචාර්යවරු තරමටම මිනීමරු-උන්මන්තක-සිරකාර නාමධාරී කාගේත් අසමසම මහන්සියෙහි ඵලයක්. මෙවැනි දැවැන්ත ශබ්දකෝෂයක් නිර්මාණයේ දැවැන්ත ව්‍යාපෘතියක පැනෙන සම්භාව්‍ය දර්ශන මෙන්ම මහාචාර්යවරයා සහ පිස්සු මිනිසෙකු අතර රූප ඡේදනය වන සිනමාත්මකය අතරේ මම වඩාත් කැමති උමතු සිරකරුවා සහ එලීසා අතර ලියලන ප්‍රේමයේ දර්ශනවලට.

එලීසා කියන්නෙ මයිනර් අතින් මියගිය තරුණයාගේ බිරිඳ. දරුවන් පස්හයදෙනෙකුගේ මවක් වන මේ ඉතා රූමත් තරුණිය සිරගෙදර පැමිණ මයිනර්ට සාප කරමින් ඇගේ ද්වේෂය නිතර පළ කරනව. දැඩි කෝපයකින් සිරගෙදර පැමිණියත් මයිනර්ගේ මුහුණු හෝ දකින්නට එලීසා රිසි නෑ. ඇය පසු වෙන්නෙ ඔහු හා දැඩි වෛරයකින්. කාලයත් සමග මේ උමතු මිනීමරු මිනිසා සහ තරුණ වැන්දඹුව අතර ගොඩනැගෙන වෛරය සහ ආදරය අතර සම්බන්ධය ඉතාම සංකීර්ණ එකක්.

පසු කාලයෙක ඇය මයිනර්ට කියවන්නට අවශ්‍ය පොත් පවා ගෙන එනව. තමාගේ ආදරවන්තයා මරාදැමූ මේ පිස්සු මිනිසා සමග ඇය අවසානයේදී ප්‍රේමයෙන් වෙළෙනව. ඔහුව වැළඳගන්නව. ඩික්ෂනරියේ පළමු සංස්කරණයේ වැඩ අවසන් වන කාලය වන විට මයිනර්ගේ උමතුව උග්‍ර අතට හැරෙනව. මහාචාර්ය මුරේ ප්‍රථම වරට ඔහුව හමු වී තමාගේ ශබ්දකෝෂ සගයා උමතු සිරකරුවෙකු බව ප්‍රථම වරට දැක-දැනගන්නා දර්ශනය සංවේදාත්මක සම්භාව්‍ය රූපයක්. ටිකදිනකින්ම කිසිදු මනුස්සයෙකු හමු වෙන්නට බැරි තරමේ උමතු ප්‍රචණ්ඩක හැසිරීමක් පෙන්වමින් මයිනර් අසාධ්‍ය වෙනව. දැඩි ලෙස රොගාතුර මයිනර් බලන්නට එලීසා නිතර බන්ධනාගාරයට පැමිණියත් ඇයට බන්ධනාගාර පාලනයෙන් ඉඩක් ලැබෙන්නෙ නෑ. ඇය එක්වරක් හෝ තම ප්‍රේමණීය මිනිසා දැකගන්නට එලීසා වැළපෙන ආකාරය මනුෂ්‍ය හෘදයක විස්මය පිළිබඳ ප්‍රකාශනයක්. මේ අමුතු සම්බන්ධය මනුෂ්‍යයාදරයේ උභතෝකෝකෝටිකය ගැන කියාපාන්නක්.

මහාචාර්ය මුරේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ සංස්කාරකවරුන්ගේ නම් අතරට මයිනර්ගේ නම ඇතුළත් කරන්නට කෙතෙක් උත්සාහ කළත් රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකුගේ නම ශබ්දකෝෂයට ඇතුළත් කරන්නට අවසර ලැබෙන්නෙ නෑ. මේ සිදුවීම සියවසකට වැඩි කාලයක් තිස්සේ සැඟවුණු කතාවක් බව සඳහන්. පසු කලෙක මෙහි කතාව The Professor and the Mad Man නමින් පළ වුණා. මෙම චිත්‍රපටය නිර්මාණය කොට ඇත්තේ එම කෘතිය පාදක කරගෙන. චිත්‍රපටය බැලුවට පස්සෙ ඒ පිළිබද විස්මයෙන් ඇළළුණ මම පොතත් හොයාගෙන කියෙව්වා. බලන්නම වටින චිත්‍රපටයක් වගේම කියවන්නම වටින පොතක්.

The Professor and the Madman

  • A Tale of Murder, Insanity, and the Making of the Oxford English Dictionary.

More From Author

මාලිනී සහ චන්ද්‍රිකා

ධනංජය කරුණාරත්න සහ ලංකාවේ ඇවන්ගාඩ් නිමේෂය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348