පුරුෂාධිපත්‍යය පද්ධතියකි

ඉන්දියානු බමුණු දහමක් වූ මනුස්මෘතිය අනුව ගැහැණිය කුඩා කාලයේ සිය පියා යටතේ ද තරුණ වියේදී සිය සැමියා යටතේ ද මහලු වියේ දී සිය පුතුන් යටතේ ද සිටිය යුතුය.
ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන්නේ මෙම බමුණු දහමය. ගැහැණිය මෙසේ යටතේ තැබිම පුරුෂාධිපත්‍යයයි. කිසිවෙකුගේ ආධිපත්‍යය යටතේ විසීම යනු එම පුද්ගලයාගේ බලයට නතුව වාසය කිරීමට සිදු වීමයි. සෑම දේම අනෙකාගේ කැමැත්තට අනුව සිදු කිරීමට සිදු වීම හිංසනයකි. මෙය කිසිවිටක සරල නැත.

දරුවන් සම්බන්ධ තීරණවලදී පියා මෙන්ම මව ද තීරණයට සහභාගී වනවා ද?

මට මෙහිදී මතක් වන්නේ මනමේ නාට්‍යයි. මනමේ කුමරිය විවාහ කර දීමේදී දිසාපාමොක් ආචාර්යවරයා කැමැත්ත විමසන්නේ මනමේ කුමරුගෙන් පමණි. කුමරා විවාහ කර ගන්න කැමති දැයි කුමරියගෙන් විමසනවාද? නැත. කුමරියගේ මවගෙන් විමසනවාද? නැත. පුරුෂාධිපත්‍යය නම් මෙයයි.

කුඩා වයස්වලදී දැරියන් දෙමාපිය කැමැත්තට විවාහ කර දෙන අවස්ථා කොතරම්ද? ඇය එයට කැමති ද? විශේෂයෙන් ලංකාවේ මුස්ලිම් පවුල්වල මෙම චාරිත්‍රය පවතී. කුඩා දැරියක් වැඩිමහ ලු පුරුෂයකු සමඟ ඇගේ කැමැත්තකින් තොරව විවාහ කරදී ඇගේ ජීවිතයම අපායක් කරන්නට ඇගේ පියා කටයුතු කරන්නේ එසේය.
අධ්‍යාපනයේදී සිය දියණියගේ කැමැත්තට ඉඩ දිය යුතුය. විවාහයේදී සිය දියණියට එයට කැමති දැයි විමසිය යුතුය. දියණිය කැමති විවාහයකට ඉඩ දිය යුතුය. එහි දුක් හෝ සැප ඇගේය. තමා අකමැති විවාහවල සිරවී කොයිතරම් ගැහැණු ළමුන් දුක් විඳිනවාද?
නිවසක තීරණ ගැනීමේදී බිරිඳගේ තීරණයට ඉඩ දිය යුතුය. ඇගේ තීරණය විමසන සැමියන් කොයිතරම් අඩුද?
සැමියාගේ කැමැත්තට අනුව ඇඳුම් ඇඳිය යුතුය.කොණ්ඩය වැවිය යුතුය. ඔහුගේ කැමැත්තට අනුව පමණක් ගමන් බිමන් යා යුතුය. ඔහුගේ කැමැත්ත ඇත්නම් පමණක් ඉගෙන ගත යුතුය. රැකියා කළ යුතුය. මේ සියල්ල පුරුෂාධිපත්‍යයි.

ගැහැණියගේ කොන්ඩය කපනවාද වවනවාදැයි ඇයට තීරණය කිරීමේ අයිතිය ඇත. ඇය විවාාහ වනවා ද නැද්ද යන්න ඇයට තීරණය කළ හැකිය. ඇය හදන දරුවන් ගණන ඇයට තීරණය කළ හැකිය. ඇතැම් අවස්ථාවල ළඟ ළඟ ඉපදෙන දරුවන් ස්ත්‍රියකට කොයි තරම් පීඩාවක් ද? දරුවන් අතර පරතරය තබා ගැනීමට ඇයට අයිතියක් ඇත.
දරුවන් හදනවාද නැද්ද යන්න තීරණය කිරීමට ද ඇයට අයිතියක් ඇත. දරුවන් ගැන කසාද බැඳපු දා සිට අසන්නේ පිට මිනිසුන්ය. මෙය ගැහැණියකට මහත් වදයකි. අනෙකාගේ පෞද්ගලිකත්වයට එබෙන්න එපා. දරුවන් හදන නොහදන එක ඒ දෙදෙනාගේ වැඩකි.
පුරුෂාධිපත්‍යයෙන් තොරව සිය කැමැත්තට අනුව ඉගෙන ගැනීමට, රැකියා කිරීමට, අවශ්‍ය ලෙස තම ශරීරය තබා ගැනීමට, තමා කැමති ඇඳුමක් ඇඳීමට ස්ත්‍රියට ඇති අයිතියට අප ගරු කළ යුතුය.
පිරිමියාගෙන් නිදහස ඉල්ලියය යුතු නැත. මන්ද යත් පිරිමියා නිදහස ප්‍රදානය කරන පුද්ගලයා නොවේ. ඔබට ස්වභාවයෙන්ම නිදහස ඇත. එම නිදහස නැති නොකර සිටීම යනු පුරුෂාධිපත්‍යයේ යදම් බිඳ හෙළීමයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.    

තරුණි පුවත්පත  

More From Author

ප්‍රවීණ සාහිත්‍යවේදී විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’ කෘතිය, මහනුවර KCC පොත් සල්පිලේදී

ඒක ටිකක් පරණ ආදර කතාවක්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348