සමර් ලව් එකක් වගේ උන ඒ ආදරේ පැවතුණ මාස කීපයේ මගෙ ෆෝන් එකේ රිං ටෝන් එක වෙලා තිබුණේ මෙටැලිකා බෑන්ඩ් එකේ “Nothing else matters.”
ඒකට හේතුව උනේ ඒ පරණ ආදර කතාවේ පෙම්වතා මෙටල් බෑන්ඩ් එකක ප්ලේ කරපු එක. කොණ්ඩේ වවලා, ටැටූස් ගහලා, අරුංගල් දාලා ටිපිකල් රොක්ස්ටාර් කෙනෙක්ගේ පෙනුමට හිටපු එයා මට මුලින්ම හමු උනේ ෆ්‍රෙන්ච් ක්ලාස් එකේ ලයිබ්‍රරි එකේදි.

ඇත්තටම අපි ආදරේ කරන්න පටන් ගත්තේ කොහොමද, අපි කතා කළේ මොනාද කියලා මට දැන් මතකයක් නැහැ. මම එයා වෙතට ඇදිලා ගියේ ඇයිද කියලවත් මං දන්නෑ. ඒ එයාගෙ පෙනුමද, එයාගේ ටැලන්ට් එකද…මම හිතන්නේ සේරටම වැඩියෙන් ඒ, ඒ කාලේ මම උමතුවෙන් හඹාගෙන ගිය නිදහස එයා තුළින් මම දැක්ක නිසා වෙන්නැති.
මට වඩා අවුරුද්දක් විතරක් වැඩිමල් උනත් එයා ජීවත් උනේ එයාට ඕනි විදියට. එයාගෙම ලෝකෙක. එයා වෙනින් කිසි දෙයක්, වෙනින් කිසිම කෙනෙක් තැකුවේ නෑ. එයාගෙ මුළු ජීවිතේම වෙලා තිබුනේ රොක් මියුසික්. මගෙත් එක්ක කතා කර කර හිටපු වෙලාවලත් එයා වැඩියෙන්ම කළේ ගිටාර් එක ටියුන් කර කර සිංදු හම් කරපු එක.

මම කවදාවත් එයාට පිස්සුවකින් ආදරේ කළේ නෑ. එයත් නෑ. අපි අතරේ ආදරේටත් වඩා තිබුණේ එකිනෙකා කෙරෙහි දැනුන සුවපහසු බවක්. යාළුකමක්. ගැටුම් නැති සාමකාමී කලාපයක්. හැබැයි ඒ එක්කම අපි අතරේ ඇති තරම් හාදුත් තිබුණා.
ටික කාලෙකට පස්සෙ අපි ඈත් උනා. මම යුනිවර්සිටි ගියා. එයා දිගටම මියුසික් කළා. දවසක් හදිසියේ එයා මට කෝල් කරලා එයාගෙ අම්මා ලඟට, ඔස්ට්‍රියාවට යන බවක් කීවා.
ඊට සෑහෙන කාලේකට පස්සේ, දැන් මගෙ ආදරවන්තයා, ලඟදි දවසක එයාගෙ සෝශල් මීඩියා එකවුන්ට් එකක තිබුන දෙයක් මට පෙන්නමින් උන්නා. උඩ පහළ යද්දි එයාගේ ෆීඩ් එකේ මතු උන හුරු පුරුදු නමක් ලඟ මගෙ ඇස් නතර උනා. ඒ එයා!
ඒ කාලේ වගේම කොණ්ඩේ දිගට වවාගෙන, උඩු කය නිරුවත්ව, ඇස් අඩවන් කරගෙන, කාමුක ඉරියව්වකින් මයික් එකේ වෙළිලා සිංදු කියන එයාගේ පින්තූරේ. දෙනෝදාහක යුරෝපීය ඕඩියන්ස් එකක් ඉස්සරහා. එයාට කොයිතරම් සතුටු ඇතිද!
“මේ ඔයා පර්සනලි දන්න යාළුවෙක්ද?” කියලා ඒ වෙලාවේ මම ආදරවන්තයගෙන් ඇහුවා. “ඔව්, මම යන්තම් දැනන් හිටියා. අපි ඉස්කෝලේ යන කාලේ ඉවෙන්ට්ස් වලදි නිතර හම්බ උන එකෙක්” කියලා එයා කීවා. මගෙ දැන් ආදරවන්තයත් ඉස්කෝලේ යන කාලේ ඉඳන් මියුසික් කළා. එයා හුඟක්ම බර පොප් පැත්තට. පොප්, රොක් මොනා උනත් අපරාදේ කියන්න බෑ මගෙ පෙම්වතුන් වැඩි හරියක් එක්කෝ ගායකයෝ නැත්තම් වාදකයෝ.
කොහොම උනත්, ලෝකේ හරිම පුංචියි. අනික ගහට ගහක් සෝශල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල මුණ ගැහෙනවලු. ඉතින් මම එයාට මගේ ඒ පුංචි ආදර කතාව කීවා. එයා හිනා වෙවී අහගෙන උන්නා. අපි එකතු වෙලා පරණ ආදරවන්තයාගෙ පින්තුර බැලුවා. හැම එකේම එයා සිංදු කියනවා.
එයා එයාගේ හීනේ ජීවත් වෙන්න අරන්. මම මගේ හීනේ ජීවත් වෙමින්. අපි කොහොම හමු උනත්, කොහොම වෙන් උනත්, කොහොම ආදරේ කළත්, අනිතිමේ අපි හැමෝම ජීවත් වෙන්නේ තමන්ට ඕනි ජීවිතේ…
ඊට පස්සෙ මම ආදරවන්තයාගේ අතට ගිටාර් එක දුන්නා. “අපි ඒ පුංචි ආදර කතාවට ට්‍රිබියුට් එකක් ප්ලේ කරමු. Sweetheart, ඔයා Nothing else matters කියන්න…”
“Forever trusting who we are
And nothing else matters…”

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon





