පාරිභෝගික තෘප්තිය

ගමේ එළවලු ටිකක් ගෙදර ගෙනියන්න හිතාගෙන පියුමි වසුන්දරා එක්ක පොලට යන්න ලෑස්ති වුනේ.
එක පාරක් අනුරාධපුරේ ආපු වෙලාවක පොල වටේ පොඩි රවුමක් ගියාම තමා පියුමි දැක්කේ ජීවිතේට දැකලවත් නැති එළවලු වර්ග.
නුවර යන අතරමග දඹුල්ල කිට්ටුවෙන් පාර දිගට තියෙන එලවලු කඩ වලින් එලවලු ගන්න පුලුවන් කම තිබුණ වුනත් පොඩි වෙනසකටත් එක්ක පියුමි වසුන්දරා එක්ක පොලට යන්න සූදානම් වුනේ.

නන්දාවතී ටත් ගෙදරට ඕන කරන කලමනා ටික ගන්න ඕන වුනෙන් ඇයත් ඒ ගමනට එකතු වුනා.

කටට නිවනක් නැති නන්දා, ගමන පටන් ගත්ත වෙලාවේ ඉදලම තොරතෝංචියක් නොමැතිවම කියවන්න පටන් ගත්තා. ඒ අතරේ සුමානෙට සෑහෙන්න රුපියල් දාහකට එලවලු ගන්න හැටිත් කිව්වා. එක එලවලු පිඟානක් රුපියල් සීය ගානේ පිඟන් දහයක් ගත්තම සුමානෙකට ඕනෑවටත් වැඩියි කියලා නන්දා කියනකොට, පියුමි ට මතක් වුනේ නුවර මාර්කට් එකේ එලියේ ගොඩක් අච්චරයි, 3# මෙච්චරයි කියලා විකුණන එළවලු ගොඩවල්. පියුමි දැකලා තිබුනේ පරණ වුන එළවලු සාමාන්‍ය මිලට වඩා ටිකක් අඩුවට විකුණන තැන්.

අපොයි, එහෙම ඒවා නම් ගන්න හොද නෑ කියලා හිතාගෙනම පියුමියි, වසුන්දරායි නන්දාවතී එක්ක අනුරාධපුර පොල භූමියට ඇතුල් වුණා.

නුවරට වඩා විශාල භූමි භාගයක විසිරී පැවතුන පොල එක බැල්මට හසු කර ගන්න පියුමි ට බැරි වුණා.

පොලට ඇතුල් වෙලා පොඩ්ඩක් වටපිට බැලුවාම පියුමි දැක්ක, අර කිව්ව එළවලු පිඟන් වගේම, එලවලු කිරලා විකුණන තැනුත් තියෙන බව. ටිකක් ඉදිරියට ඇවිදගෙන ගිය පියුමි දැක්කේ අලුත්ම අලුත් එලවලු පිඟන් වලට පුරවලා විකුනන්න තියෙන හැටි. ඕනෑම එලවලුවක් පිගානක් රුපියල් සීයයි. නුවර මාර්කට් එකේදී ගන්න කැරට් බෝංචි, ගෝවා, ලීක්ස් වෙනුවට, කැකිරි, තිබ්බට එලබටු, හරි සුවඳට තියෙන අසමෝදගං කොල හැම එකකින්ම පිඟාන ගානේ ගත්තා පියුමි. එලවලු ඔක්කොගෙම නම් ලිව්වේ නෑ තමා. ඒ වුණාට ගමේ එලවලු ගොඩාක් පියුමි ගත්තා. ගෙදර ඉන්නේ තූන් දෙනෙක් වුනාට එලවලු මලු දෙකයි නුවර ගෙනියන්න.

කොල පාටට අලුත්වට දිලිසෙන ලා බණ්ඩක්කා ගොඩක් තියාගෙන විකුනන අම්මා කෙනෙක්ගෙන් පියුමි බණ්ඩක්කා පිගානක් ගත්තා. “මේවා අලුත් ඒවා නේද” කියලා ඇහුවම, “අනේ ඔව් නෝනා ඊයේ හවහ කොටුවෙන් කඩාපුවා” කියලා වෙළෙන්දිය කිව්වා. අතරමැදි තැරැව්කරුවන් නැති නිසා ශුද්ධ ලාභයක් වෙළෙන්දිය ලබනවා ඇති. ඒ නිසාම ඉතා වැඩි මිලට නැතිව, පාරිභෝගිකයාටද දැරිය හැකි මිලකට එලවලු විකිනෙන බව පියුමිට තේරුම් ගියා. වියලි කලාපයේ වැවෙන එලවලු අපේ ගමේ කඩේට එද්දී, කී දෙනෙක් අත මාරු වෙනවද; ඒ තරමට එලවලුවේ මිල ඉහල යනවා.

අලුත්ම අලුත් එලවලු පලතුරු වැඩි ආයාසයක් නොගෙන, වැඩි වෙලාවක් ගත නොකර ගෙනාපු තරම විකුණාගෙන මේ කුඩා ගොවීන් ඇත්තටම කරන්නේ මහඟු සේවයක්. අතරමැදි ගැනුම් කරුවන් අතට තම භව භෝග විකුණනවාට වඩා වැඩි ලාභයක් මේ ගොවීන් ලැබුවත්, මහාපරිමානව වගා කරන ගොවීන් අතරමැදි ගැනුම් කරුවන්ට තම නිශ්පාදන විකුනා ලබන්නේ සොච්චමක්. වැඩි ලාභය ඒකාන්තයෙන්ම අතරමැදියා ලබනවා. පාරිභෝගිකයා අතට පත්වන විට එහි මිල දැරිය නොහැකි තරම් වන්නේ ඒ නිසාමයි.

ඒ කරුණු කෙසේ වෙතත්, වගාව ලෙහෙසි පහසු කර්මාන්තයක් වෙන්නේත් නෑ. අව් කාෂ්ටකයට අදුරු වුන, සිහින් කේඩෑරි සිරුරු ඒ බවට සාක්ෂි සපයනවා.

අපි එන දිගටත් නන්දා ගේ කියවිල්ල ඉවර වෙලා තිබුනේ නෑ.
මේ අනුරාධපුරයේ ජීවත් වෙන කිසි කෙනෙක් බඩ ගින්නේ ඉන්න ඕනේ නෑ නෝනා ” කියලා නන්දා කියද්දී ඒක නම් සත්‍යක් කියලා පියුමිටත් හිතුනා.

More From Author

ශක්තිකගේ මූලික අයිතිවාසිකම් නඩුව යළි කැඳවීම මේ මස 27 දින

පෙළක් ප්‍රේම දුඛාන්ත…..

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348