ගෙයි ගිනි පිටතට නොදෙමුද?

ගෙයි ගිනි පිටතට නොදෙන්නැයි අවවාද කළේ විශාකාට ඇගේ පියාය. එහෙත් විශාකාගේ සැමියාට ගෙය ගිනි නොතබන්නැයි විවාහයට පෙර ඔහුගේ පියා අවවාද කළ බවක් අප අසා නැත.
මෙම පසුගාමී මතය පැමිණෙන්නෙන් ගැහැණිය සියලු දුක් ඉවසා දරා ගත යුතුය යන කුරිරු සමාජ ධර්මතාවන් සමඟය. බුදුදහමේ කීවද පෙළ පොත්වල කීව ද ගුරුවරයා කීවද කිසිවක් අප පිළි ගත යුතු නැත.

නිවසේ සිදුවන හිංසනයන්ට විරුද්ධ වීමට ගැහැණියට අයිතිය ඇත. මේ පිළිබඳ ලෝකයේ ද ලංකාවේ ද නීති ඇත. ගෘහස්ත හිංසන පනත එවැන්නකි.
මෙම හිංසනයන් කායික මානසික මෙන්ම වාචික විය හැකිය. සැමියා බිරිඳට අතින් පයින් පහර දෙනවා විය හැකිය. එසේ පහර දෙන්නට ඔහුට අයිතියක් නැත.

අපේ රටේ බොහෝ ගැහැණු හිතන්නේ “ගැහැවේ පිට කෙනෙක් ද තමන්ගේ මිනිහානේ” කියාය. ගැහැණියක් යනු පිරිමියෙකුගේ දේපළක් නොවේ. බූදලයක් ද නොවේ. වැඩකාරියක් හෝ වහලියක් ද නොවේ. ඇයට ඇයගේ ස්ව අනන්‍යතාවයක් ඇත. හිංසාවෙන් තොරව වාසය කිරීමේ අයිතියක් ඇත.
සිය බිරිඳට සැමියා අතින් පයින් පහර දෙන්නේ ඇයි? නිවසේ මූලිකයා තමාය යන අදහසිනි. අනිත් සියලු දෙනා තමාගේ බලයට යටත්ය. ඒ නිසා තම යටත් වැසියන්ට පහර දීමට තමාට අයිතියක් ඇත යන අදහසිනි. නමුත් එය එසේ නොවේ. නිවසක අධිපතිත්වයක් නොපැවතිය යුතුය. තීරණ ගැනීම දෙදෙනො කතා කර කළ යුතුය. වැඩ බෙදා ගත යුතුය.
ඇතැම් විට බිරිඳ තීරණ ගැනීමට උත්සාහ කිරීමේදී සැමියන් වාචිකව හිංසා කරයි. “තමුසේ දන්න මඟලක් නැහැ. කට පියන් ඉන්නවා” යනුවෙනි. නැතහොත් පරුෂ වචනයෙන් බැන වදී. මේ සියල්ල ගැහැණිය මුලු ගන්වා තබන සමාජ ආකල්පයන්ය. ඇයට හරි හමන් අධ්‍යාපනයක් ඇත්නම් කිසි දා නිවසක ඇය අගෞරවයට පාත්‍ර නොවනු ඇත. ඔබ ඔබේ දියණියට හොඳින් ඉගැන්විය යුත්තේ එහෙයිනි.
එසේම පවුලක සැමියා විසින් ගැහැණියට මානසිකව වද හිංසා දෙන අවස්ථා ඕනෑ තරම් ඇත. ඇය කොහේ ගියත් ඇය සැක කරයි. පිරිමියෙක් සමඟ කතා කළත් සැක කරයි. සමාජ අවස්ථා නොදදී අරියි. නිවසට කොටු කරයි. මේ සියල්ල ගැහැණණියගේ ප්‍රශ්න නොව ගැහැණිය සිර කරන්නට උත්සාහ කරන සමාජ ආකල්පයන්ය. එවැනි ආකල්ප දරන පිරිමියෙකු සමඟ ජීවත් වීම හිර ගෙදරක ජීවත් වීමකි.
එසේම ඇතැම් සැමියන් විසින් සිය බිරිඳට ලිංගිකව හිංසා කරයි. ඇයට අපහසු දවස්වල පවා බලෙන් ලිංගිකව එකතු වෙන්නට උත්සාහ කරයි. ⁣මේගැන තවදුරටත් මා පසුව ලියන්නම්.

කායික, මානසික, වාචික, ලිංගික හිංසනයක් ඔබට නිවසේ සිදු වෙනවා නම් එයට විරුද්ධ වීමට අයිතිය ඔබට ඇත. සදාකාලිකව ගෙයි ගිනි පිටට නොදෙමින් දුක් විඳිය යුතු නැත. සැමියාට මෙය අවබෝධ කර දෙන්නට ඔබ අපහසු වන්නේ නම් ඒ සඳහා වෙනත් ආයතන මැදිහත් කර ගනිමින් සියලු ආකාරයේ හිංසනයන්ගෙන් තොරව ගෘහස්තයේ විසීමේ අයිතියත් හිමිකමක් ස්ත්‍රියක් සතු වේ.   

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.    

තරුණි පුවත්පත   

More From Author

මගේ නයිට්ස්ටෑන්ඩි(Nightstand) එක උඩ සදාකාලිකවම පොත් දෙකක් තියෙනවා

ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිදුවෙමින් පවතින විනාශකාරී සිදුවීම් තේරුම් ගැනීමට පැට්‍රික් කොක්බර්න්ගේ ලිපියකින් සරලව තේරුම් ගැනීමට උත්සහ දරමු

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348