මගේ නයිට්ස්ටෑන්ඩි(Nightstand) එක උඩ සදාකාලිකවම පොත් දෙකක් තියෙනවා

මඟේ නයිට්ස්ටෑන්ඩ් එක උඩ සදාකාලිවම පොත් දෙකක් තියෙනවා. සදාකාලිකවම කියන්නේ ඉන් එකක්, Jared Diamond ගේ “Guns, Germs and Steel”, දැන් මාස කීපයක් පුරා එතැන. මොකද මම ඕක කියවන්න ගන්නවා, මඟක් කියෙව්වහම ආයිම කියවීම මඟෑරෙනවා මගෙ මොකක් හරි වැඩක් යෙදිලා. පොත හරිම ඉන්ටරෙස්ටින්ග් නිසා ආයේත් කියවන්න පටන් ගනිද්දි නතර කරපු තැනින් පටන් ගන්න මට ලෝභ හිතෙනවා. ඉතින් මම ආයිම මුල ඉඳන් කියවනවා. ආයෙත් මඟ නවතිනවා. ඕක මාස ගාණක් පුරා නයිට්ස්ටෑන්ඩ් එක උඩ තියෙන්නේ එහෙමයි.

අවුරුදු ගාණක් පුරා එතැන තියෙන අනික් පොත තමයි Marcus Aurelius ගේ “Meditations”. ඒක නම් මම හැමදෑම කියවනවා. විශේෂයෙන් මගෙ හිත අවුල් උන වෙලේට මම කියවන මගේ මෝටිවේශනල් ගයිඩ් එක ඒ පොත තමයි.
I’m not a Stoic per se. Per se නෙමේ, කොහොමත් මම ස්ටොයික් කෙනෙක් නෙමේ. ඒ කොහොම උනත්, මට ස්ටොයික් කෙනෙක් වෙන්න බැරි උනත්, විශේෂයෙන් හිත් තැවුලකින් ඉන්න වෙලේට, “මෙඩිටේශන්ස්” පොතෙන් රැන්ඩම්ලි පෙරළෙන පිටුවක් කියෙව්වහම, ඒ සිතුවිලි මාව සිතීම වෙත යොමු කළාම, හිතට ලොකු සහනයක් දැනෙනවා. මේ වගේ විස්ඩම් එකක් ලෝකේ තිබුණ බව දැනගැනීම, මේ වගේ දැක්මකින් ජීවිතය ගැන හිතන්න පුළුවන් කියලා දැනගැනීම, මේ තරම් ලස්සන අරුතකින් ජීවිතය දෙස බලන දාර්ශනික චින්තන තිබුණ බව සහ මිනිසුන් උන්නු බව දැනගැනීම…ඒකම හිතට සතුටක්, පහන් හැඟීමක් ගෙනෙනවා.

ප්ලේටෝ එයාගේ “The Republic” පොතේ කියනවා, එක්කෝ දාර්ශනිකයෝ පාලකයෝ වෙන්න ඕනේ, නැත්තම් පාලකයෝ දාර්ශනිකයෝ වෙන්න ඕනේ කියලා. මං හිතන විදියට “දාර්ශනිකයෙක්” කියන අරුතෙන් ගත්තහම, ප්ලේටෝ කියන මේ philosopher ruler ගේ ප්‍රත්‍යක්ෂය තමයි “මෙඩිටේශන්ස්” ලියුව මාර්කස් ඔරේලියස් අධිරාජයා.

මේ පොත පරිවර්තනය කරන්න මගෙ හිතේ අදහසක් තිබුණා. ඒත් වෙනින් පරිවර්තන ඒ මැද්දට ආව නිසා මෙතෙක් ඒක උනේ නෑ. ඊයේ මම ලාංකීය සාහිත්‍යය ගැන විශාල පරිචයක් තියෙන මගේ හිතවත් වැඩිහිටි සහෝදරයන් දෙන්නෙක්ගෙන් ඇහුවම මේ පොත මෙතෙක් පරිවර්තනය වෙලා නැතිබව එයාලා කියුවා.

වර්ථමානයේ ලංකාව තුළ සම්භාව්‍ය සාහිත්‍ය පරිවර්තනය වෙන්නේ ඉතාම සුළුවෙන් කියලා මම හිතනවා. අපේ පාඨකයන්ට විවෘත නොවුණ ප්‍රඥාවක්, නවකථා විතරක් නෙමේ ඓතිහාසික, දාර්ශනික, නාට්‍යය, පද්‍යය, ජර්නල්ස්, නොයෙක් විෂය මූලික, එරොටිකා වගේ නොයෙක් ජෝන්‍ර නියෝජනය වෙන සම්භාව්‍යය සාහිත්‍යයක් තියෙනවා. කලා කෘතියක් ක්ලැසික් එකක් වීමේ නිර්ණායකයක් වෙන්නේ නැවත නැවත රස විඳින්නට හැකිවීමේ ගුණය ඊට තිබීම. ඒ කියන්නේ ඒවා timeless, ඒ වගේම ඒවා විශ්වීයයි. ඕනෙම කාලයක, ඕනෙම දේශයක ජීවත් වෙන පුද්ගලයෙක්ට ඒ කලා කෘති applicable වෙනවා.

මේ, ශිෂ්ඨාචාර ගොඩ නැඟුව, පරම්පරා ගණනාවක මිනිස් චින්තනය හැඩ ගැස්සූ, නැවත නැවත භාවිතයට ගත හැකි, රසවිඳිය හැකි ප්‍රඥාවක්, සාහිත්‍යක්. නමුත් වාණිජමය පැත්තෙන් ගත්තහම වැඩි ජනප්‍රියත්වයක් නැති මේ පොත් පළ කිරීම සහ පරිවර්තනය කිරීම පිළිබඳව ප්‍රකාශකයින්ටත්, පරිවර්තකයින්ටත් යම් මැළිකමක් දැනීම සාදාරණ ඇති.

“මෙඩිටේශන්ස්” පොතේ එන විස්ඩම් එක, ජීවන දැක්ම, ආත්ම දමනය කිරීමේ කලාව, සිංහල භාෂාවෙන් කියවන පාඨකයන් අතරට යනවා නම් මම ආසයි. හැකි උනොත් මේ අවුරුද්ද තුළ පොත පරිවර්තනය කිරීමේ අදහසක් මට තියෙනවා. කොපිරයිට්ස් ගැන තර්ක විතර්ක සිදුවෙන අතරේ, පරිවර්තනය විය යුතු, මිණිකැට වගේ එවැනි පොත් බොහෝමයක් තාමත් ඉතිරිවෙලා තියෙනවා.

More From Author

ඊශ්‍රායල් මිනිස් ජාවාරම්  මාෆියාවේ වින්ඳිතයින්වූ ලාංකීක ශ්‍රමිකයින්

ගෙයි ගිනි පිටතට නොදෙමුද?

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348